මිනිස්‌ ඝාතන හා මාරක රිය අනතුරු වැඩි ඇයි ..?

999
රිය

රිය අනතුරු වර්ථමානයේ බහුලව දක්නට ලැබේ. ඉතා සතුටින් නිවසින් පිටවී යන පවුලේ සාමාජිකයන් යළි නිවසට එන්නේ මළ කඳන් ලෙසිනි. සතුටින් නිදි යහනට යන අය යළි අවදිවන්නේ නැත. මේ ආකාරයට අපගේ ජීවිත තුළ අපහට පිළිතුරු ලබා දිය නොහැකි බලවේග අපගේ කුසල් අකුසල් මත පෙළගැසී ඇති ශක්‌තියයි. මෙය විග්‍රහ කර ගැනීමට මිනිසාට නොහැකි බැවින් එය කර්ම විෂයට අපගේ අචින්ත්‍ය විෂයක්‌ ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. පුරාණ සෘෂිවරුන් ලෝක සත්වයාගේ ලෞකික ජීවිතයේ සැපය උදෙසා කියා දුන් චතුර්විද්‍යා විෂයන් තුළින් ඉෂ්ට සිද්ධ කළේ විග්‍රහ කර ගත නොහැකි වූ කර්ම ශක්‌තියට පිළියමක්‌ ලෙස සොබා දහමේ ශක්‌තීන් උපයෝගි කර ගනිමින් අපගේ ජීවිතවලට යම් කිසි ආරක්‍ෂාවක්‌ සලසා දීමයි. වාස්‌තු තුළින් ඉටු කෙරෙන්නේ මිනිසාගේ ලෞකික ජීවිතයේ ආරක්‍ෂාව සැලසීමයි.

මාරක රිය අනතුරු ගෙනදෙන මූලික වාස්‌තු මර්මස්‌ථාන

තමාගේ ආයුෂ තීරණය වන්නේ කර්ම ශක්‌තිය අනුව වුවද කර්ම ශක්‌තිය දුර්වල වන විට තමා අවට පවතින පඨවි , අපෝ, තේජෝ, වායෝ සහ ආකාශ යන පංච මහා භූතයන්ගේ සංචරන රටාවල අයහපත් බලපෑමද එල්ල වේ. එවිට සිදු වන විපත්වල ප්‍රතිඵල දරුණු වීමට එම දෝෂයන් උපකාර වේ. එසේම කර්ම ශක්‌තිය දුර්වල වුවද තමා වෙත එල්ල වී ඇති ඉහත ශක්‌තීන්ගේ යහපත් ප්‍රතිඵල සක්‍රීය වීම, එනම් දෝෂ රහිත වූ විට පුද්ගලයාට ලැබෙන අයහපත් ප්‍රතිඵල වල තීව්‍රතාවය අඩු කර ගැනීමේ ශක්‌තිය ලැබේ. මේ නිසා පුරාණ සෘෂිවරු දායාද කළ වාස්‌තු විද්‍යාවේ ආරක්‍ෂාව ලබාගෙන සොබා දහමට අනුව අපගේ වාසස්‌ථානය වධ , විපත්, රිය අනතුරු, නාශ, ප්‍රත්‍යාධාරි වැනි අයහපත් බලගැන්වීම්වලින් ඉවත් වී සම්පත් , මෛත්‍රී, පරම මෛත්‍රී නිවසක්‌ බවට පත් කොට මාරක විපත් වලින් ආරක්‍ෂා වෙමු. මේ සඳහා ඔබගේ ගෘහයේ පහත සඳහන් වාස්‌තු මර්මස්‌ථාන ඇත්නම් ඒවා යහපත් ලෙස සක්‍රීය කර ගැනීමට ඔබට උදව් උපකාර වීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වේ.

වහලය

ඔබගේ නිවසේ වහලයේ පහත සඳහන් දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කර ගන්න.

  1. සොහොන් පරාල

සොහොන් පරාල යනු මුදුන් ලීයක්‌ අගට පරාලයක්‌ සම්බන්ධ කිරීමයි. එවැනි පරාල ඇත්නම් ඉතා ඉක්‌මනින් එම පරාල අතර ඇති වැරදි සම්බන්ධය ඉවත් කරගන්න.

  1. කැණි මඩල

පන්සල්, පල්ලි, දේවාල සඳහා යොදා ගන්නා එම කැණිමඩල වහල සැලැස්‌ම කිසිසේත්ම නිවාස සඳහා යොදා නොගැනේ. කැණිමඩල යනු වෘත්තාකාර ලෙස හෝ අර්ධ කවාකාර ලෙස හෝ එක්‌ මුදුන් ලීයකට පරාල වද්දා තිබීමයි .

දැනටමත් ඔබගේ නිවසේ මෙසේ කැණිමඩල සහිත වහල සකස්‌ කොට ඇත්නම් එහි දෝෂය අවම කිරීම සඳහා ඔබගේ ජන්ම නැකතට ගැළපෙන දැව වර්ගය තෝරා එම දැව වර්ගය එම වහලයට එක්‌ කරන්න. එවිට අයහපත් බලපෑමේ තීව්‍රතාවය අවම කර ගත හැකිය.

ජන්ම නැකත දැව වර්ගය

  • 1 සිට 9 දක්‌වා මී /කොහොඹ
  • 10 සිට 18 දක්‌වා ගම්මාලු / පිහිඹිය
  • 19 සිට 27 දක්‌වා ගන්සූරිය/දවට / බුළු

පල දෙකක වතුර එකතු වීම

ඔබගේ වහලයේ ඇති පලවල වතුර එකට එකතු වීම නොවිය යුතු වේ. මේ යටතේ වහලය පලයක්‌ යට පලයක්‌ සිටින සේ නොවිය යුතු අතර නිවස මැදින් වතුර ගලා යැම ඉතා අයහපත්වේ. එසේම නිවසේ තනි පලය සහිත වහල ඉතා අයහපත් ගති ලක්‍ෂණ මතු කරන අතර වහලය සෑම විටම පල 2 , පල 4, පල 5 ලෙස සකස්‌ කිරීම යහපත්වේ. එසේම අනවශ්‍ය ලෙස වහලය සංකීර්ණ නොකළ යුතුය.

වහලයේ මූට්‌ටු සකස්‌ කිරීමේදී කිසිම විටක යටලීයක්‌ ගෘහ හිමියාගේ උසට වඩා අඩු උසකින් එක්‌ නොකල යුතුයි. එනම් අඩි 6 කට වඩා අඩු නොවිය යුතුය.

වර්ග අඩි ප්‍රමාණය සක්‍රීය කිරීම

රිය අකල් මරණ සිදුවන සෑම නිවසකම වර්ග අඩි ප්‍රමාණය වැරදි බලගැන්වීමක පවතින බව පැහැදිලිවේ. මේ නිසා ඔබගේ නිවසේ වර්ග අඩි ප්‍රමාණය ඔබගේ ජන්ම නැකත සමඟ ගලපා සම්පත් , මෛත්‍රී, පරම මෛත්‍රී නැකැත්වලට ගලපා ගැනීමට උනන්දු විය යුතුයි. කිසිම විටක නිවස වධ, විපත්, නාශ, ප්‍රත්‍යාධාරි හා ජන්ම වැනි නැකත්වලට අයත් නොවිය යුතුය.

රිය

මුල් ගල හා මධ්‍ය ලක්‍ෂය

ඔබගේ නිවසට ස්‌ථාපිත කරන ලද මුල්ගල කිසිම විටක පෑගීමට ලක්‌ නොවිය යුතුය. මෙසේ මුල් ගල පෑගීමට ලක්‌වෙන අවස්‌ථා උදා වන්නේ නිවසේ පසුව සිදු කරනු ලබන වෙනස්‌කම් වලින් අනතුරුවයි. සෑම විටම එම ස්‌ථානය ආරක්‍ෂා කළ යුතුයි. එසේම නිවසේ මධ්‍ය ලක්‍ෂය හෙවත් නිවසේ බ්‍රහ්ම පාදය බිත්තියකට යට වූ අවස්‌ථා වල නිවසේ බහු මරණ සහ අකල් මරණ හා රිය අනතුරු සිදු විය හැකිය. ඔබගේ නිවසේ මධ්‍ය ලක්‍ෂය සහ ඉඩමේ මධ්‍ය ලක්‍ෂය එකම ලක්‍ෂයකට ආ විට එම ස්‌ථානයට ලම්බකව වහලයේ බාල්කයක්‌, මූට්‌ටුවක්‌, කුරුපාවක්‌ යෙදී ඇත්නම් අකල් මරණ බලවත් වේ.

ද්වාර සටහන

නිවසේ මංගල ද්වාරය සහ ද්වාර සටහන එම නිවසේ ඉතා සක්‍රීය ස්‌ථානයකි. නිවසේ ප්‍රධාන ද්වාරය මංගල ද්වාරය ලෙස හඳුන්වන අතර එය නිවසේ මුඛය ලෙස හැඳින්වේ. නිවසේ දෝෂ රහිත කළ යුතු ප්‍රධාන ස්‌ථානයක්‌ ලෙස ද්වාර සටහන හැඳින්වේ. ඔබගේ නිවසේ පහත සඳහන් දිශාවල ද්වාරයන් ඇත්නම් ඒවා කෙරෙහි වැඩි අවදානයක්‌ යොමු කරන්න.

උතුර, දකුණ, – රිපුද – (සොර සතුරු හා විපත්)

නැගෙනහිර, දකුණ – නන්ද/ස්‌ත්‍රී විනාශම් (ගෘහ හිමියාට අයහපත් ලෙස බලපායි)

උතුරු, බටහිර – නාශ – (විනාශයට පත්වේ)

උතුර, නැගෙනහිර, බටහිර – ආක්‍රාන්ධ (ශෝකය සහ මානසික අසහනය)

ඉහතින් දක්‌වන ලද ද්වාර සටහන ඉතා සක්‍රීය අයහපත් ද්වාර සටහන් ලෙස හඳුනාගෙන ඇත. මෙයින් නැගෙනහිර, දකුණ -නන්ද (ස්‌ත්‍රී විනාශම්) ද්වාර සටහන ඉතා ප්‍රබලව සක්‍රීය වේ. මෙහි අයහපත් බලපෑම සෘජුවම ගෘහ හිමියා වෙත බලපානු ලැබේ. ඔබගේ ද්වාරයන් පරීක්‍ෂා කිරීමේදී ද්වාරයන් හැරී ඇති දිශාව නොව එම ද්වාරය පිහිටා ඇති දිශා කොටස පිළිබඳව අවදානය යොමු කළ යුතුය. ද්වාර සෑම විටම ප්‍රධාන දිශා 4 ට බැලිය යුතු අතර අනු දිශා වලට ද්වාර නොවැටේ. එසේම කිසිම විටක ද්වාරයක පියන එළියේ සිට අරින විට වම් අත පැත්තට පළමුව විවෘත වන ලෙස සකස්‌ නොකළ යුතු අතර පියන් එළියට ඇරෙන ලෙස තිබෙන සෑම නිවසකම ගෘහ හිමියා නිවසේ නොරැඳේ.

රිය

ළිඳ හෙවත් කූපය

සතර මහා ධාතුන් සමඟ ඇති බැඳීම ප්‍රබලව ඇති අතර මෙම ධාතූන්ගේ සමබරතාවය දිශා ශක්‌තීන් සමඟ අනුගත විය යුතුය. මේ නිසා ආපෝ ධාතුවට අයත් ජලය අපගේ නිවස හා ගෘහයේ ජීවත් වන්නන්ට සැප සතුට මෙන්ම විනාශය හා මරණය ද කැඳවා දීමට තරම් ප්‍රබල සාධයක්‌ වේ.

ඔබගේ නිවසේ ප්‍රධාන ද්වාරය අසලට ආ විට ළිඳ වැරදි දිශාවකින් දර්ශනය වේ නම් එම ළිඳ ඔබගේ නිවසට දෝෂයක්‌ ලෙස සක්‍රීය වේ. එසේම එම ළිඳ කිසිම විටක හිතුමතේ වළක්‌ වහන්නා සේ ළිඳක්‌ වැසීම නොකළ යුතු අතර වාස්‌තු සිද්ධාන්තවලට අනුව වැසීම සිදු කළ හැකිය. ළිඳ වැසීම අවසාන පිළියම වන අතර වැරදි දිශාවේ ඇති ළිඳ මංගල ද්වාරයට ආ විට දර්ශනය නොවන ලෙස පිහිටන පරිදි බැම්මකින් හෝ ආවරණය කිරීම කළ හැකිය.

  • වැරදි දිශා – නිරිත/වයඹ /ගිනිකොන /දකුණ
  • නිවැරදි දිශා – උතුරු /ඊශාන /නැගෙනහිර / බටහිර

එසේම නිවසේ මුල්ලකට වැටෙන ලෙස ළිඳ පිහිටීම ද නිවැරදි දිශාවේ වුවද දෝෂ සහගත බව පෙන්වමි. එමෙන්ම නිවස තුළ ළිඳ කිසිසේත්ම යහපත් නොවේ. ඉහතින් දක්‌වා ඇති ආකාරයට නිවසක්‌ මාරක දෝෂවලට ලක්‌වීම පිණිස හේතු සාධක සැපයිය හැකි වාස්‌තු මර්මස්‌ථානවල දෝෂ හටගන්නා ආකාරය සංක්‍ෂිප්තව පැහැදිලි කරන ලදී. නිවසේ වාස්‌තු දෝෂ සියයට සියයක්‌ම නිවැරදි වීම අවශ්‍ය නොව්. එහෙත් ප්‍රධාන වාස්‌තු මර්මස්‌ථාන නිවැරදි විය යුතු අතර අවම වශයෙන් 65% ක්‌ වත් නිවසේ වාස්‌තු නිවැරදි විය යුතුය.

මාරක රිය අනතුරු සහ බහු ඝාතන සිදුවූ සෑම නිවසකම මෙම මූලික වාස්‌තු මර්මස්‌ථානවල දෝෂ හටගෙන තිබෙන බව සිදු කළ විමර්ශනවලින් තහවුරු වී ඇත. ඔබගේ නිවසේ ද මෙවැනි දෝෂ තිබුණ ද ඔබගේ කර්ම ශක්‌තීන්ගේ යහපත් ප්‍රතිඵල තවමත් බලවත් වීම නිසා දෝෂවල අයහපත් ප්‍රතිඵල සක්‍රීය වී නොතිබෙන්නට පුළුවන.

කර්ම ශක්‌තිය වෙනස්‌ වන කාලය හෝ වේලාව අප නොදන්නා බැවින් උතුම් සෘෂිවරු ලොවට දායාද කළ මාහැඟී වාස්‌තුවේ රැකවරණය ලබා ගෙන මාරක දෝෂ රහිතව සම්පත් නිවසක කල් ගෙවීම තුළින් ඔබටත් රටටත් යහපතක්‌ම ගෙනදේ.

We found this article from Divaina on 2014/03/02.