පසුගිය නැකත කලාපයෙන් ජීවන රේඛාව පිළිබඳ විස්‌තර කළා ඔබට මතක ඇති. අද අපි විස්‌තර කරන්නේ ශීර්ෂ රේඛාව පිළිබඳවයි. ශීර්ෂ රේඛාව පටන් ගන්නේත් ජීවන රේඛාව පටන් ගන්න ප්‍රදේශයෙන්මයි. ඒ කියන්නේ මහපට ඇඟිල්ලත් දඹර ඇඟිල්ලත් අතර ඇති ප්‍රදේශයේ සිට අල්ල හරහා විහිදී එය චන්ද්‍ර මණ්‌ඩලය දෙසට නැඹුරු වෙමින් ගමන්මඟ අවසන් කරයි. මෙය මානසික රේඛාව, චිත්ත රේඛාව කියාද සමහරු හඳුන්වනවා. පුද්ගලයකුගේ මොළය, මනස හා සිත ක්‍රියා කරන ආකාරය පෙන්නුම් කරන බැවින් ඒ නම භාවිත කරන්නට ඇති. ජීවිතයේ දියුණුව හෝ බිඳවැටීම, ඥනය හා විශේෂයෙන් මොළයට සම්බන්ධ රෝගාබාධ ආදිය මෙම රේඛාවේ පිහිටීම අනුව විනිශ්චය කළ හැකිය.

මානසික හා භෞතික කොටස
ශිර්ෂ රේඛාව නිසා අත්ල කොටස් දෙකකට බෙදී යන අතර ශීර්ෂ රේඛාවේ සිට ඇඟිලි දෙසට විහිද යන ප්‍රදේශයට මානසික කොටස යනුවෙනුත්, මැණික් කටුව දෙසට විහිද යන කොටසට භෞතික කොටස යනුවෙනුත් හඳුන්වනු ලබයි. රූපසටහනේ පෙන්නුම් කරන මානසික කොටස ලෙස හඳුන්වනුයේ ශීර්ෂ රේඛාවේ උඩපැත්තයි. භෞතික කොටස යනුවෙන් හඳුන්වන්නේ ශීර්ෂ රේඛාවේ යටි පැත්තයි. ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ලිංගික හැඟීම් වැනි කරුණු රාශියක් මානසික කොටසින් දැනගත හැක. නොයෙකුත් ශාරීරික ක්‍රියාකාරකම්, ආයුෂ, සමාජයීය බලපෑම්, ධනය වැනි කරුණු රාශියක් භෞතික කොටසින් දැනගත හැක.
බාධක රේඛා
බාධක රේඛා වලින් නොකැපී සෘජුව ගැඹුරුව දික්‌ව පිහිටි ශීර්ෂ රේඛාව ප්‍රබල චිත්ත ශක්‌තියක් ඇති පුද්ගලයකු හඳුන්වා දෙයි. නොපසුබට උත්සාහයත්, අප්‍රතිහත ධෛර්යයත් උපතින්ම පිහිටන එවන් අත්ල හිමියන් මනා ශිල්ප ශාස්‌ත්‍ර අවබෝධය ඇතිකර ගන්නා අතර ඉතා සාර්ථක ලෙස ධනෝපාය මාර්ග දියුණු කරගනිති. ශීර්ෂ රේඛාව තැනින් තැන කැඩීම් බිඳීම්, දූපත් ලකුණු, දම්වැල්, කතිර, කුරුස වැනි සලකුණු ඇතිනම් එයින් පෙන්නුම් කරන්නේ මොළයට සම්බන්ධ ආබාධ ඇති බවයි. හිසරදය, පීනස, නාසයේ හා කනේ ලෙඩ රෝග වැළඳීමටත් මෙම පිහිටීම බලපානු ඇත. මෙම ලකුණු අත් දෙකේම එකම ලෙසට පිහිටියේ එම කරුණු ස්‌ථිර ලෙසම සනාථ වේ. රේඛාව පුළුල් වීම ද සිහින්වීම ද නොගැඹුරු වීම ද කෙටි වීම ද තැන් තැන්වල වක්‌වීම ද අසුබය. රේඛාව කෙට්‌ටු වූ කල නුවණ අඩුය. චිත්ත ශක්‌තිය දුර්වලය. ආයුෂ අඩුය.

ශීර්ෂ රේඛාව අවසන් වන තැනට අදාළ වයසේදී මිය යා හැක. මෙහිදී ජීවන රේඛාව හා අනිකුත් රේඛා ද පරීක්‍ෂා කර බලා ආයුෂ නිශ්චය කළ යුතුය. රේඛාවේ ගැඹුර අනුව චිත්තඑකාග්‍රතාව අධික නම් නිතර වෙනස් වන තීරණයකට එළඹිය නොහැකිව තැවෙන අයෙක් වෙයි. ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයෙන් කෙලවර වීම සියුම් කල්පනා ශක්‌තියක් ඇති අයකු බව පෙන්නුම් කරයි. ශිර්ෂ රේඛාව ඇදවෙමින් විහිදගියහොත් එය දුර්වල වූ අධිෂ්ඨාන ශක්‌තියක් ඇති නිතර අදහස් වෙනස් වෙන ගතිගුණ පෙන්වයි. සෘජුව විහිද යැම ස්‌ථිර අදහස් ඇත්තකු බව ප්‍රකට වේ. තම මතයටම අනුව ක්‍රියා කිරීම ඔහුගේ ලක්‍ෂණයක් වේ.
ශීර්ෂ රේඛාව කැඩී පිහිටීම
ශිර්ෂ රේඛාවෙහි මතුවෙන ආරෝහණ රේඛාවක් (උඩ අතට යන) ගුරු මණ්‌ඩලයට විහිද යැම වාසනාවන්ත පිහිටීමකි. එවැනි පිහිටීමක් ඇති අයට රජයේ උසස් තනතුරු ලැබීමට හේතුවේ. ශීර්ෂ රේඛාව අවසානයේ ශාඛා කීපයකට බෙදී යැම ද සුබය. උත්පත්තියෙන්ම උසස් බුද්ධි බලයක් එම ලකුණු හිමි අයට උරුමයි. විවිධ නිර්මාණ කුසලතාවන් ද ඔවුන් තුළ විද්‍යමානවෙයි. යම් අයකුගේ ශීර්ෂ රේඛාව අත්දෙකේම කැඩී තිබේ නම් හෙතෙම මරණයට ලක්‌ව සිටින්නෙක් වෙයි. එක අතක පමණක් කැඩී තිබේ නම් හිසෙහි තුවාල ඇති වූ අයෙකි. රේඛාව කැඩී තිබුණ ස්‌ථානයේ හතරැස් කොටු සලකුණක් වූයේ නම් හදිසි අනතුරකට මුහුණපෑවත් මොනයම් ක්‍රමයකින් හෝ ආරක්‍ෂා වෙයි. යමෙකුගේ අත්ලේ ශිර්ෂ රේඛා දෙකක් පිහිටියේ නම් එම තැනැත්තා දෙයාකාරයක සිත් ඇත්තකු වෙයි. එක් අවස්‌ථාවක නපුරු කෙනෙකු ලෙස ද තවත් අවස්‌ථාවක කාරුණික කෙනෙක් වශයෙන් ද පෙන්නුම් කරයි.
ශීර්ෂ රේඛාව ඇද නැතිව තිබුණ තරමට පුද්ගලයා අවංක සත්‍යවාදියෙක් වෙයි. මහපට, දබරඟිලි දෙක අතර අල්ලේ කෙළවරින් ආරම්භ වන ශීර්ෂ රේඛාව ජීවන රේඛාවට එක්‌වී මඳ දුරක් ගොස් ගුරු මණ්‌ඩලය යටදී වෙන්වී නම් හෙතෙම යුක්‌තියට ගරු කරන අන්‍යයන්ගේ ආධාරයෙන් තොරව ජීවත්විය හැකි අවංක ගති ඇති බුද්ධිමත් අයෙකු වේ. ඒ වෙන්වීම ශනි මණ්‌ඩලය යටදී නම් දියුණු වීමට හේතු වන කිසිවක් ගැන සැලකීමක් නොදක්‌වන අනුවණ ක්‍රියා ඇති අලස පුද්ගලයෙක් වේ.
We found this article from Divaina on 2013/12/22.