වස්‌ දොස්‌ නිවාරණයි සව් සෙත් උදා කරයි නිවැරදි සෙත් කවියට උපදෙස්‌ කිහිපයක්‌

1910
වස්‌ දොස්‌
වස්‌ දොස්‌

[ratings]

කවිය අවියක්‌ වැන්නැයි යනුවෙනුදු සඳහන් කර තිබේ. විරිත සිංහල කවියේ ආත්මයයි. ඒ අනුව බලන විට දුරාතීතයේ සිටම ප්‍රබල සන්නිවේදන මාර්ගයක්‌ද වී තිබෙනු පැහැදිලිය. කවිය අවියක්‌ නම් සෙත් හා වස්‌ කවි ප්‍රබල අවියකි. අවියෙන් හොඳ වැඩ මෙන්ම නරකද සිදු වේ. දෙපැත්ත කැපෙන අවියක්‌ යෑයි හැඟී ගියද වරදක්‌ නොවේ. සඳස ගුරු කොට ගනු ලබන සෙත් කවියට පාදක වන මූලික කරුණු කීපයක්‌ මෙහි සඳහන් කිරීම මෙම ලිපියේ අරමුණයි.

කවියෙන් පල ලැබීමට අදහස්‌ කරන්නාගේ ජන්ම නැකත, නාමය ප්‍රධාන වේ. එසේම කවි රචකයාගේ ජන්ම නැකතද යෝග්‍ය දිනයකදී රචනය වන කවියට බලවත් වේ. මේ සුවිශේෂී ශාස්‌ත්‍රීය අංගයකි. ජන්ම නැකත පමණක්‌ නොව, උපත ලැබූ දිනය, වෙලාව නොදන්නා අයද සිටිති. එවිට සෙත් කවි ලිවිය නොහැකිද යන ගැටලුවක්‌ ඇති වේ. හොඳ සෙත් කවි රචකයා හොඳ ජ්‍යෙdaතිෂ්‍යවේදියකුද වන්නේ යෑයි සඳහන් කර තිබෙන්නේද මෙවැනි අවශ්‍යතාවයන් සම්බන්ධයෙනි. ගැටලුවකට පත්වූ බැවින් සෙත් කවි ලිවිය නොහැකි යෑයි ආපසු හරවා යෑවිය යුතු නැත. ජන්ම පත්‍රය නැති විට පැමිණි වෙලාව අනුව තත්කාල කේන්ද්‍රයක්‌ සැකසීමෙන්ද කාර්යයට අදාළ දේ මෙන්ම පැමිණි තැනැත්තා පිළිබඳවද යම් ප්‍රමාණයක හැඳිනීමක්‌ ලබාගත හැකියි. මෙම ශාස්‌ත්‍රීය විෂයයන් කීප අයුරකින් භාවිත කිරීම දක්‌වා දියුණු කරන ලද බව පෙනේ. තත්කාල ක්‍රමය, නිමිති ශාස්‌ත්‍රය, ද්වාක්‌ෂ වැනි ගණිතය ද ආශ්‍රිත ක්‍රම ආදිය අනුවද පරීක්‌ෂා කළ හැකිය. කිනම් වූ ශාස්‌ත්‍රීය කොටසක්‌ අනුව අදාළ අයගේ අවශ්‍යතාවට පිහිට සැලසිය යුතුය. ඒ අනුව සෙත් කවියට සුදුසු සියලු කොටස්‌ සම්බන්ධ කරගනු ලැබේ. එහිදී තත් කාලයේ තොරතුරු අනුව යෝග්‍ය නැකත අනුගමනය කිරීම සිදු වේ. එය සෙත් කවියේ ශක්‌තියට මෙන්ම ප්‍රතිඵලයටද බාධාවක්‌ නොවේ. මෙයින් අදහස්‌ වන්නේ ජන්ම නැකැත නොදන්නා කෙනකුට වුවද සෙත් කවියක්‌ නිර්මාණය කිරීමට සුදුසු ක්‍රමයක්‌ ඇති බවයි. එමෙන්ම දින යොදා ගැනීමේදී ප්‍රධාන ස්‌ථානය දිය යුතු කරුණක්‌ ද සඳහන් වේ.

පුර පක්‌ෂයම සෙත් කවි රචනයටත්, ගායනයටත් සුදුසුය. ජන්ම නැකත සහ කවිය රචනා කරන දිනයේ දී පවතින නැකත සමග පංචභූත ගුණය සස¹ බලා භූත ගුණයන් විරුද්ධ නොවන සේ යොදා ගැනීම විශේෂයෙන් පරීක්‌ෂා කළ යුතුය. අස්‌විද නැකත සිට රේවතී නැකත දක්‌වා නැකැත් විසිහත පංච භූත කොටස්‌ අනුවද වර්ග වේ. ඕනෑම පඤ්චාංග ලිතක නැකැත්, ගණ, යෝනි, වෘක්‌ෂ ආදිය සඳහන් චක්‍රයක්‌ ඇතුළත් කර තිබේ. එය ලුහුඬින් මෙසේ දැක්‌වීම ප්‍රමාණවත් යෑයි හඟිමි. අස්‌විද සිට මුවසිරස දක්‌වා නැකැත් පහ පඨවි භූතයි. ඉන්පසු අද නැකත සිට පුවසල් දක්‌වා නැකැත් හය ආපෝ භූතයි. උත්‍රසලය සිට විසා දක්‌වා නැකැත් පහ අයත් තේජෝ භූතයාටය. ඉක්‌බිතිව අනුර නැකතින් ඇරැඹී සුවණ දක්‌වා ඇති නැකැත් හය වායෝ භූතයාට අයත් වේ. අවසන් වශයෙන් දෙනට සිට රේවතී දක්‌වා ඇති නැකැත් පහ අයත් වන්නේ ආකාශ භූතයාටය. පහ, හය, පහ, හය, පහ යන රිද්ම රටාවකට අනුව සකස්‌ වී ඇති බව පෙනේ. මෙම ශාස්‌ත්‍ර විධි තුළ මෙබඳු ලක්‌ෂණ බෙහෙවින් පවතී. විශ්වයද නිර්මාණය වී පවතින්නේ සමබරතාවක්‌ අනුවය. සමබර බව ගිලිහීම නිසා විනාශය හෝ අසීරුතා මෙන්ම ගැටලු බාධකද ඇති වේ. ජීවීන්ගේ නිර්මාණය, පැවැත්ම වුවද ඊට සමානය. අජීව වස්‌තූන්ද මෙම ධර්මතාවට නතු වේ. දැන් මෙම භූත කොටස්‌ අනුව සම්බන්ධ නැකැත්ද, ඊට හිමි අක්‌ෂරද දැක්‌වූ තවත් චක්‍රයක්‌ පඤ්චාංග ලිත්හි සඳහන්ව ඇති බව පෙනේ. ප්‍රධාන වශයෙන් ස්‌වර පසද මෙම භූත ගුණ සමග සම්බන්ධ වේ. එමෙන්ම ඒ සමග පක්‌ෂීන් පස්‌දෙනකුද ඒවාට සම්බන්ධ කර තිබේ. අ, ඉ, උ, එ, ඔ යන ස්‌වර සෑම විටම බලවත්ය. ඕනෑම අක්‌ෂරයක්‌ පණ ගැන්වීමට මෙම ස්‌වර ආදේශ විය යුතුමය. නැකැත් කොටස්‌ පහ සමග භූත හෙවත් ධාතු ගුණ පහද ඊටම අයත් කර ඇත. ඉහත චක්‍රය අනුව මුල් නැකැත් පහට අයත් “අ” ස්‌වරයි. ඉන්පසු නැකැත් හය “ඉ” ස්‌වරය අයත් ය. ඉක්‌බිතිව “උ” ස්‌වරයට නැකැත් පහක්‌ද නැවත නැකැත් හයක්‌ “එ” ස්‌වරය සමගද, අවසාන නැකැත් පහ “ඔ” ස්‌වරයට ද සම්බන්ධ වේ. “අ” රාජාලි හෙවත් භේරුණ්‌ඩ පක්‌ෂියාටද, “ඉ” පිංගල හෙවත් බකමුහුණා පක්‌ෂියාටද, “උ” කාක පක්‌ෂියාටද හිමිවේ. “එ” කුක්‌කුට හෙවත් කුකුළාට අයත් වන අතර “ඔ” මයුරයාට අයත් ය. නැකත් භූත ගුණ, පක්‌ෂි, ස්‌වර යන කොටස්‌ ඒ නම් වශයෙන් හැඳින්වුවද එකම දේ හැඟවෙන අයුරු පැහැදිලිය. එනම් භූත ගුණ හෝ ධාතු ගුණම බවය. නැකැත් පරීක්‌ෂා කළ යුතු බව මුලදී සඳහන් කිරීමෙන්ද පැහැදිලි වනුයේ එකම කොටසක්‌ වෙනත් වෙනත් නම්වලින් දක්‌වා ඇති බවයි. එබැවින් භූත නැකැත්, පක්‌ෂි. ස්‌වර යනු සෑම කොටසක්‌ සමග සම්බන්ධ කළ යුතු වන්නේ විරුද්ධ නොවන අයුරිනි. පංච භූත චක්‍රය අනුව එය පැහැදිලිව මෙසේ දැක්‌වේ.

භූත පක්‌ෂි මිතුරු මිතුරු සතුරු සතුරු

පක්‍ෂි භූත පක්‍ෂි භූත

1.පඨවි භේරුඬ පිංගල ආපෝ කාක තේජෝ

2.ආපෝ පිංගල භේරුඬ පඨවි කුක්‌කුට වායෝ

3.තේජෝ කාක කුක්‌කුට වායෝ භේරුඬ පඨවි

4.වායෝ කුක්‌කුට කාක තේජෝ පිංගල ආපෝ

5.ආකාශ මයුර – – –

චක්‍රය තුළින් භූත කොටස්‌ අතර පවතින මිතුරු සතුරු ගුණ ස්‌වරූපය පැහැදිලි වේ. එහිදී ආකාශ භූත කොටස පමණක්‌ අන්‍ය සෑම භූත කොටසක්‌ සමගම මිතුරු බව දැක්‌වේ.

සෙත් කවියක්‌ ආරම්භයේ දීම මෙම කොටස්‌ පිළිබඳව අවධානය දැක්‌වීමට සිදුවේ. එසේම පුර – අව පක්‌ෂවලදී පක්‌ෂීන්ගේ රජ මර භේදයක්‌ද වේ. පක්‌ෂි මර දිනයකදී සෙත් කවියක්‌ සෑදීම නිෂ්ඵල ක්‍රියාවකි. මෙයද පඤ්චාංග ලිත්වල දැක්‌වේ. යමකුගේ ජන්ම නැකත, නාමාක්‌ෂරය තුළද මෙම ගුණ පවතී. එසේම භූත ගුණ පහම එම තැනැත්තා තුළ ඇත. එහෙත් වැඩි වශයෙන් බල පැවැත්වෙන භූත කොටසම ප්‍රධාන වේ. ඒ අනුව ජන්ම නැකත ප්‍රධාන කරගැනේ. භූත, පක්‌ෂි ආදිය අනුව ජන්ම, සම්පත්, විපත් ආදී නව විධ ක්‍රමයේ දී සම්පත්, ක්‌ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී යන නැකැත් අතරින් එකක්‌ම යොදා ගත යුතුමය. එය භූත ගුණයටද යෝග්‍ය නොවේ නම් සෙත් කවියට නොයෙදිය යුතුය.

පඨවි යනුවෙන් පොළොව පස යන්න හැඳින්වේ. ආපෝ යනු ජලය, වතුර, දිය යනුයි. තේජෝ ගින්න, රශ්මිය, තාපයයි. වායෝ වාතය, සුළඟ. වායුව යනුවෙන් හඳුන්වන අතර ආකාශ යනු අහස, අවකාශය, ඉඩ ඇති ස්‌ථානය යන අදහස්‌ හඟවයි.

පඨවි සහ ආපෝ ධාතු එක්‌වීම ඉතා හොඳ ගැළපීමකි. ශබ්ද වශයෙන් හෝ ස්‌වර වශයෙන් “අ” සහ “ඉ” අතර එම සම්බන්ධය පවතී. පසට ජලය මෙනි. සරුසාර බව ඇති වීමකි. යම් හෙයකින් “අ” ශබ්දයට “උ” එක්‌ වුවහොත් එතැන විනාශයකට හේතුවකි. “අ” පඨවි හෙවත් පස වන අතර “උ” ගින්න, තාපය හඟවයි. පස සහ ගින්න එක්‌වීම නිසා රත් වී නිසරු බවට පත්වේ. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් ගින්න නිවීමද පස නිසා සිදු වේ. ගිනි ඇවිළීම වැළකේ. මෙම ද්‍රව්‍ය දෙක වර්ධනයක්‌ ඇති කිරීමට ඉඩ නොවන්නේ එක්‌වීමෙනි. නොගැළපෙන ද්‍රව්‍ය හෝ ගුණ දෙකක්‌ එක්‌වීමෙන් සුබ සිද්ධියක්‌ ජනිත නොවේ. එමෙන්ම ඒ හේතුවෙන් නොගැළපෙන ශබ්ද එක්‌වීමෙන්ද අනර්ථයක්‌ හටගනී. අ, ඔ, ත, ල චක්‍රයට අනුවද, “උ”, “අ” සමග විරුද්ධය. ස්‌වර වේදයේ දී ද, අ-උ විරුද්ධයි. මේ අනුව මෙම ක්‍රමය සියලුම තැන රැඳී තිබේ. විශ්වයේ පවතින සියල්ලෙහිම මෙබඳු ගති ලක්‌ෂණ සුලබය. වෙන් වෙන්ව පවතින විට ඇති ශක්‌තීන්හි අධික බව මෙන්ම එම ශක්‌තීන් එක්‌ව අනර්ථයන් සිදුවන බවද සැමදේකම පවතී. පංච භූත චක්‍රයේ දැක්‌වෙන භූත කොටස්‌හි ස්‌වභාවයන් මගින් සෙසු භූත ගුණ එක්‌වූ විට ඇතිවන ක්‍රියාකාරිත්වයන් පැහැදිලි වේ. ඒවා එකිනෙක විස්‌තර කිරීම අනවශ්‍යය.

භූත හෙවත් ධාතු ගුණ තවත් අයුරින් සඳහන් වන්නේ නම්, ශක්‌ති සමූහයකි. සෙත් කවි කරණයේ දී අක්‌ෂර යෙදිය යුතු වන්නේ එය මුල්කර ගෙනය. ජන්ම නැකතට මෙන්ම නමට ද සීහුම් වන සේ එවැනි පරීක්‌ෂාවක්‌ කර ඉතාම සුදුසු අක්‌ෂර භාවිත කර සුබ ගණ සුබවස්‌තු සඳහන් වචන යෙදිය යුතුය. විශේෂයෙන් මුල් වචනය මේ අනුව යෙදීම අත්‍යවශ්‍යය. ස්‌වර අතර පවතින විරෝධතාව නොසැලකීමෙන් කවියෙහි වචන ගණ, යෝනි ආදිය කොතරම් සුබව ඇතත් ඉන් යහපතක්‌ සලසා ගත නොහැකිය. මුලින්ම ස්‌වර විරෝධය දුරු කළ යුතු යෑයි සඳහන් වන්නේ එබැවිනි. සෙත් කවෙහි මුල් ස්‌වරය සහ නාමයෙහි මුල් ස්‌වරයත්, ඊට පසු යෙදෙන ස්‌වරයත්, ස්‌වර වේදයෙන් තොරවිය යුතුය.

අ සහ උ ද

ආ සහ ඌ ද

ඉ සහ එ, ඒ ද

ඊ සහ ඔ, ඕ ද යන පිළිවෙළින් ස්‌වර වේධතාවය දැක්‌වේ. සෙසු ස්‌වර නිර්වේධයි.

ඉටු – අනිටු (සුබ – අසුබ) අක්‌ෂර පිළිබඳ න්‍යායයේ දී ඇතැම් ගුරු කුල අතර වෙනස්‌කම් පවතී. එසේම නාමාක්‌ෂරය අනුව සුබ අකුරක්‌ අසුබ වීමටද සුබ යෑයි සම්මත අකුරක්‌ සුබ වීමටද ඉඩ තිබේ. එබැවින් එය අදාළ අය සම්බන්ධව යොදා ගැනීමට සිදු වේ.

“සිදත් සඟරාව, කව්මිණි මාලය” වැනි කෘතීන්හිද, සංස්‌කෘත අලංකාරිත ග්‍රන්ථ ඇසුරින්ද, ඉටු-අනිටු ක්‍රමයෙහි පිළිගත් මතයක්‌ දක්‌නට නොලැබේ. සිදත් සඟරාව “ම” අක්‌ෂරයෙන් ආරම්භ කිරීමෙන් එය පැහැදිලි වේ.

“ම හද ගඳ කිළි කැර…” ආදී වශයෙනි.

සිංහල පද්‍ය වංශය පරීක්‌ෂා කරන විට පැහැදිලි වන්නේ අනුරපුර යුගයේ සිටම අකුරු දෙතිසක්‌ සමග බිංදුවද යොදා ගන්නා ලද බවකි. සෙත් කවි සම්ප්‍රදායයේ දී ද මෙම ක්‍රමයම යෙදේ. එහිදී එයින් අකුරු විසිපහක්‌ පමණක්‌ යොදාගත් අතර එය බ්‍රාහ්මණ, රාජ, වෛශ්‍ය, ශුද්‍ර යන කොටස්‌ හතරකට වර්ග කර තිබේ. ඒ අතර වංශ රහිත අක්‌ෂරද වේ.

ග, ජ, ච, ඩ, ද, ය, අං යන අක්‌ෂරයි. එහෙත් මෙම අක්‌ෂර සෙත් කවි සඳහා යෙදෙන බව අතීතයේ සිටම දක්‌නට ලැබේ. වීදාගම සහ සිදත් සඟරා ගුරු කුල අතර ඉටු අනිටු අක්‌ෂර වර්ග කිරීමේ වෙනස්‌කම් දක්‌නට ඇත. එමෙන්ම සෙත් කවි සඳහා මැනැවැයි භාවිත කරන ලද සුවිශේෂී අක්‌ෂර සමූහයක්‌ද රහස්‍ය ගුරු මුෂ්ටි ක්‍රමයන්හි සඳහන් වේ. මෙවැනි ගුරු කුල යෙදුම් කීපයක්‌ම සෙත් කවි ක්‍රමයේ දී භාවිත කරන ලද අයුරු දක්‌නට ලැබේ.

යම් හෙයකින් අසුබ අකුරකින් ආරම්භ කරන ලද වචනයක්‌ නොලියාම බැරි වූ අවස්‌ථාවකදී ඊළඟට යෙදෙන අකුරු සුබ වීමෙන්ද ඵලදායක බවට පත්වේ. මෙහිදී නාමාක්‌ෂරයේ ස්‌වභාවය අනුව එම අක්‌ෂර භාවිතයට ගත යුතුය. එතැනදීත් පංච භූත ශක්‌තිය මුල් කර ගැනීම කවියේ ශක්‌තියට හේතුවකි. වචන භාවිතය සමග අක්‌ෂර යෙදෙන අයුරු පරීක්‌ෂා කරන විට යම් වචනයක අදහසම ඇති වෙනත් වචනයක්‌ හෝ කවියක්‌ ඇති විට යෝග්‍ය වචනය යෙදීමට සිදු වේ. එවිට එම යෙදුමේ ස්‌වරය, අක්‌ෂර පංච භූත ගුණයද, ගණ, යෝනිද සුබදායකව පවතී නම් සෙත් කවියට යෝග්‍යය. ශබ්ද කෝෂය දියුqණු නම් මෙය පහසුය. එක්‌ වචනයක්‌ සඳහා සමාන වචනයක්‌ භාවිත කිරීම සුදුසුය. මෙය පර්යාය වචන නමින් හැඳින්වේ. චන්ද්‍රයා යන අදහස යෙදිය යුතු වූ විට නොයොදාම අපහසු වූ අවස්‌ථාවක්‌ ඇතැයි සිතමු. එවිට එම අදහස අයත් “සඳ” යන්න සිහි වේ. මෙය නාමාක්‌ෂරයට නැකැතට හෝ යෝනි ආදී කොටස්‌වලට හෝ ඉන් එකකට නොගැළපෙන විට, චන්ද්‍රයාට භාවිත වන වෙනත් නාමයක්‌ පිළිබඳව පරීක්‌ෂා කිරීමට සිදු වේ. නිදසුනක්‌ වශයෙන් “සඳ” යන වචනයෙහි ඇති නාග යෝනිය, ගුරුළු යෝනිය හිමියකුට විරුද්ධය. නැතහොත් එහි මුලකුර විරුද්ධ විය හැකිය. එඩ්මන්ඩ් යන නාමය ඇති විට සඳ යනු යෙදිය නොහැකි බව පැහැදිලිය. “ස” අකුරට “එ, ඩ, ය” යන අකුරු තුනම විරුද්ධ බව අ, ඹ, ත, ල චක්‍රයෙහි දැක්‌වේ. ඇතැම් විට නැකැත් සීහුම පරීක්‌ෂාවේ දී ද නොගැළපෙන බව පැහැදිලි විය හැකිය. පංච භූත චක්‍රයට අනුව “එ” වායෝ භූතය. “ස” ආපෝ භූතයි. මෙම භූත ගුණ එක්‌වීමෙන් බලයක්‌ උපදින්නේ නැත. උදාසීනයි. දෙවැනි “ද” අක්‌ෂරය පඨවි භූතයි. එම සම්බන්ධය ද උදාසීනය. කිසිදු පල උදාවක්‌ නොවේ. තවදුරටත් එහි යෝනි පරීක්‌ෂා කිරීමෙන් මෙහි නිසරු බව ප්‍රත්‍යක්‌ෂ වේ.

“එඩ්මන්ඩ් = එ-ඩ්-ම්-අ-න්-ඩ් 6 3 3 6 4 3 = එකතුව = 25 යි

25 අටෙන් බෙදූ විට 25/8 = 3 ඉතිරි 1 යි.

එහි ඉතිරි එක ගුරුළු යෝනියයි.

සඳ යන වචනයද පරීක්‌ෂා කළ යුතුය.

සඳ = ස්‌-අ-ද්-අ

3Ý6Ý6Ý6 = එකතුව 21

21 අටෙන් බෙදූ විට 21/ 8 = 2 යි. ඉතිරි 5 යි.

මෙහි ඉතිරි පහ නාග යෝනියි.

ගුරුළු යෝනිය හිමි “එඩ්මන්ඩ්” ට නාග යෝනියේ “සඳ” යන යෙදුම කීප අයුරකින්ම අයෝග්‍ය වී තිබෙනු පැහැදිලිය. මෙය නපුරුම යෙදුමකි. එක්‌ ක්‍රමයකින් වුවද නොසුදුසුමය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්ත, ගණ හිමි යෝනි පමණක්‌ නොව වචන හිමි යෝනිද, පරීක්‌ෂා කිරීම ශාස්‌ත්‍රීය ක්‍රමය බවය. ඒ අනුව “සඳ” යන යෙදුම වෙනස්‌ කර, ඒ අදහස ඇති වෙනත් යෙදුමක්‌ පරීක්‌ෂා කළ යුතුය. ඒ අනුව “එ” යන වායෝ භූත අක්‌ෂරයකින් ආරම්භ වන “තරිඳු” භූත ගුණය පමණක්‌ සුබය. දෙවැනි අක්‌ෂරයේ “රි” යන තේජෝ ගුණයද සුබයි. එහෙත් “තරිඳු” යනු “නාග” යෝනිය හැර දැමීමට සිදු වේ. “කලානි” යනුද සඳට යෙදේ එහි “ක” වායෝ භූතයි. යෝනිය ව්‍යාඝ්‍රයි. සුබ යෙදුමකි. අක්‌ෂර දෙකක්‌ම විය යුතුම නම් “ඉඳු” යනුද තේජෝ භූත “ඉ” සහ “එඩ්මන්ඩ්” නමට හිමි ගුරුළු යෝනිය ම බව පෙනේ. විශිෂ්ට යෙදුමකි. එහි දෙවැනි අක්‌ෂරය “ද” වුවද ඉන්පසු අවිරුද්ධ අක්‌ෂරයක්‌ යෙදූ විට සුදුසු බවට පත්වේ. චන්ද්‍රයාට “කලා” යනු ද ව්‍යාඝ්‍ර යෝනිය අයත් යෙදුමකි. මෙවැනි තවත් යෙදුම් ඇති බැවින් සුදුස්‌සක්‌ යෙදීමට අවධානය යොමුකර පරහිතකාමීව දයා කරුණා ගුණයෙන් ශාස්‌ත්‍රය නිවැරැදිව භාවිත කිරීම (දුෂ්කර කාර්යයක්‌ වුවද) වැඩදායකය.

We found this article from Divaina on 2012/01/06.
Also Sinhala to English Google word to word translation can be found here