විඳදරා ගැනීමට බැරි නිසා මතුවන උමතුව

1122
විඳදරා

සමාජ අරගලවලට හේතුව බොහෝ විට විඳදරා ගැනීමේ ශක්‌තිය අඩුකමයි. මිනිස්‌ මනසට එක්‌ එක්‌ වේදනාවන් හෝ පරාජිත අවස්‌ථාවන් දරාගැනීමේ ශක්‌තියේ කිසියම් ප්‍රමාණයක්‌ වෙයි. එම සීමාව ඉක්‌මවා ගිය විට සිය මනස වික!ති වේ, හෙවත් විපරිතවේ. හැම මිනිසෙකු තුළම යම් ප්‍රමාණයක උමතු ගතියක්‌ සැඟවී ඇති බවත් සිග්මන් ප්‍රොයිඩ් විද්‍යාඥයා පවසන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.

කේන්ති යනවා යෑයි කතාවක්‌ සමාජයේ වෙයි. එහි අරුත මනසේ පැවැති ක්‍ෂාන්තිය පලා යාමයි. කේන්ති එනවායි කීම වැරදි වචනයකි. කේන්ති යැමත්, විඳදරා ගැනීමේ ශක්‌තිය නැතිකම නිසා මතුවන උමතු ස්‌වභාවයකි. ඒ අනුව සිග්මන් ප්‍රොයිඩ්ගේ නිගමනය නිවැරදිය. කේන්ති නොයන්නෙක්‌ නැති බැවිනි.

සිය බත් පතේ කෙස්‌ ගහක්‌ දකින සැමියා කෝපයෙන් සමහර විට බත් පත පොළොවේ ගසයි. හොද්දට ලුණු ඇඹුල් අඩු – වැඩි වුණත් එසේය. මානසික උමතු භාවය වැඩි වූ බව සාධාරණත්වය තමාගේ පැත්තට පමණක්‌ නැඹුරුව සිතීම ස්‌වභාවය වේ. එයින් ඔබ්බට පැනනැගෙන තත්ත්වය පිළිබඳව විචාරයක්‌ නැත.

විඳදරා ගැනීමේ ශක්‌තිය අඩුකම

මෙයට හොඳ නිදසුනක්‌ දැක්‌විය හැකිය. එක්‌තරා ගෙදරක දරුවන් දෙදෙනෙක්‌ වූහ. එක්‌ අයෙකු උමතු රෝග ලක්‍ෂණ සහිතය.

මේ රෝගියාව සතිපතා වෛද්‍යවරයා වෙතට රැගෙන ගියේ අනෙක්‌ සහෝදරයාය. මෙය මහත් කරදරයකැයි නිරෝගි සොහොයුරාගෙන් කියෑවුණි. මේ අපවාදය තමාට එල්ල වන්නේ අනෙක්‌ සොහොයුරා සිටින නිසායෑයි කල්පනා කළ උමතු සහෝදරයා සිය කෝපය උත්සන්න වූ විටෙක නිරෝගි සොහොයුරා පොල්ලකින් ගසා මරා දැම්මේය. එතැන සිට රෝගියාට ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයා වෙත රැගෙන යැමට කෙනෙක්‌ නැතිවිය. ඒ නිසා ඔහු වඩාත් අසරණ වීය.

උමතු මානසිකත්වයක්‌ ඇති පුද්ගලයා ප්‍රශ්නයක දෙපැත්තම දකින්නේ නැතිව තමාගේ සිතුවිල්ල නිවැරදි සේ තක්‌සේරු කරන බවක්‌ මුලින් සඳහන් කළේ එහෙයිනි.

විඳදරා ගැනීමේ ශක්‌තිය නොමැති වූ විට මනස කඩා වැටෙන බවක්‌ මුලින් සඳහන් කළේ එබැවිනි. ඒ සඳහා දැක්‌විය හැකි නිදසුන් බොහෝය.

වීරකැප්පෙටිපොළ හිස ගසා මරා දැමීමෙන් පසු මානසික තත්ත්වය කඩාවැටුණු ඔහුගේ බිරිඳ අස්‌වාභාවික හැසිරීම් සහිතව මහනුවර වීථිවල (ඇතැම් විට නිරාහාරව) ඉබාගාතේ ගමන් කළ බවක්‌ පතපොතේ සඳහන් වේ. තම සැමියා යුද බිමේදී මියගිය පුවත ඇසූ පමණින් කථා කළ නොහැකිව ගොලු බවට පත්වූ බිරිඳක ගැන විස්‌තර ඇත. විඳ දරා ගැනීමේ ශක්‌තියක්‌ නැති හැම කෙනෙක්‌ම උම්මන්තකයෙකි.

උමතු රෝගවලට සෘජුවම දායක වන ග්‍රහයා රාහුය. ලග්නයට හෝ ලග්නාධිපතිට රාහුගේ බලපෑම් වෙතොත් මානසික වශයෙන් විකෘති කල්පනාවලට යොමුවේ. තමාගේ පුළුවන්කම ගැන ඉහළින් සිතනවා. දෙවැන්නා පහත් කොට සැලැකීම, කේලම් කීම හා බොරු ආරංචි පතුරුවා හැරීම ඒ නිසා සිදුවේ. සියුම් වශයෙන් ජන්මියා ක්‍රමයෙන් පරිහානියට ලක්‌වේ. හිතවතුන් අහිමිවීම, සමාජයෙන් කොන් වීමක්‌ දක්‌නට ලැබේ. සමාජය විසින් එවැන්නන්ට ආරූඪ නම් පට බඳි. නමින් ප්‍රසිද්ධ වෙනවාට වඩා එකී විකෘති නාමයන්ගෙන් ප්‍රකට වේ. පොළඟා, සර්පයා වැනි නමින් ප්‍රකට පුද්ගලයෝ කොපමණ සමාජයේ වෙත්ද?

විඳදරා

කේන්දරයට අනුව මානසික ශක්තිය

මිනිසකුට අධික කෝපය හෝ නොරුස්‌නා බව හෙවත් උමතු ස්‌වභාවයක්‌ ඇති වීමට කරුණු කීපයක්‌ මුල්වේ. සඳුගේ අහිතකර බලපෑම තුන්දොස්‌ අතුරෙන් එකක්‌ හෝ කීපයක්‌ කෝපවීම, අදෘෂ්‍යමාන බලවේගයන්ගේ බලපෑම සහ මූලික දෝෂ ත්‍රිත්වය කැළැඹීමෙන් මෙසේ දරුණු මානසික දුර්වලතා මතුවිය හැකිය. එසේ නොරුස්‌සන සුළු හෙවත් මානසික කුපිතවීම් නිසා පළිගන්නා හැඟීම් මතුවීමට සඳු- බුධ දෙදෙනාගේත් පස්‌වැනි භාවය හෙවත් පස්‌ වැන්නාධිපතියාගේත් විශ්ලේෂණාත්මක අවධානයක්‌ යොමු කළ යුතු වේ. එයට අමතරව කුජ-ශනි-ගුරු තිදෙනා සහ කේන්ද්‍රයේ තෙවැනි භාවය ගැනත් විමසා බැලිය යුතුවේ.

සඳුට, ශනි හෝ කුජගේ පාප දෘෂ්ටියක්‌ එල්ලවී තිබීමත් පාප පීඩිත බුධ 12 වැන්නට ගොස්‌ සිටීමත් 8 අධිපති බුධ නීචව පස්‌ වැන්නේ වීමත් හා දුර්වල හෝ නීච පහ අධිපතියා පාප පීඩාවලින් තවදුරටත් පීඩාවී තිබීමත් මානසික අවුල් ස්‌වභාවයකට හේතු වේ. ඉහත සඳහන් කළ හේතු කීපයක්‌ම වෙතොත් හෙතෙම දරුණු උන්මන්තකයකු විය හැකිය. චන්ද්‍රයා පාප සංයෝගව පිහිටීමත් බුධ සිය නීච රාශියෙහි ශනි හෝ කුජ සමග සිටියදී සෙනසුරුගේ පාප දෘෂ්ටියක්‌ ලැබේ නම් ඔහුට පිවිතුරු කල්පනා නැත.

මිනිසකු හඳුනාගැනීම සඳහා – විශේෂයෙන් කෙනෙකුගේ මනස හඳුනාගැනීම සඳහා යට සඳහන් කළ ග්‍රහ පිහිටීම් ප්‍රයෝජනවත් වේ. අපට මිනිසකුගේ හෝ ස්‌ත්‍රියකගේ මානසික ස්‌වභාවය හඳුනාගත යුත්තේ එවැන්නකු සමග මිත්‍රත්වයක්‌ ගොඩනඟා ගැනීම, ඇසුරට ගැනීම, විවාහයකට සම්බන්ධවීම, හවුල් ව්‍යාපාර ගොඩනඟා ගැනීම වැනි කරුණක්‌ උදෙසාය. ඒ හා සම්බන්ධ නොවන කරුණු සඳහා පුද්ගල ස්‌වභාවයන් අපට අවශ්‍ය නැත.

We found this article from Divaina on 2014/04/13.