විවෘත හදවතක්‌ ඇති වෘශ්චික ලග්න හිමියෝ

0
78
වෘශ්චික
වෘශ්චික

කුජ හෙවත් අඟහරුගේ බලය බලවත් වන වෘශ්චික රාශිය ජල රාශියකි. රාශි චක්‍රයේ අටවන රාශිය ලෙස ගෝනුස්‌සකුගේ රුව සංකේතවත් කරන මෙකී රාශියෙන් එඩිතර කඩිසර ජන්මීන් බිහිකරයි. කිසිදු රහසක්‌ සැඟවීමට උත්සාහ නොකරන විවෘත මනසකින් මෙන්ම විවෘත හදවතකින් යුතු වෘශ්චික ලග්න හිමියෝ බිය නොහඳුනන්නෝ වෙති. තමා වෙත එන ඕනෑම බාධාවක්‌ මැඬගෙන තම අභිප්‍රාය කරා පිය නඟන අතර සමහර අවස්‌ථාවලදී සියල්ල මඟහැර යන්නේ ජන්මයෙන්ම හැම දෙයක්‌ කෙරෙහිම දුර දැකීමේ තීක්‍ෂණ නුවණ පිහිටා ඇති බැවිනි. ඉතා සියුම් අයුරින් අනාගතය දකින මොවුන් තමාට අවාසි වන තැනේදී ඒ පිළිබඳ උපක්‍රමශීලී වේ.

විවිධ වූ ශිල්ප ශාස්‌ත්‍රයන් කෙරෙහි ඇති නිපුනත්වයත් හැකියාවත් නිසා සමහර විටෙක යා යුතු මඟ තෝරා ගැනීමේ අපහසුව මත අතරමං වේ. මනා ලෙස අවබෝධයෙන් තෝරාගෙන කුමන මඟක ගියද අපහසුවකින් තොරව ඒ මඟ ජයග්‍රහණය කිරීමට සමත් වේ. තමන් නොදන්නා නුපුරුදු ක්‌ෂේත්‍රයන් පිළිබඳව පවා හුරුපුරුදු ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට තරම් දැනුමක්‌ සතුවන අතර ක්‍රියාශීලී චරිතයක්‌ වේ. අවශ්‍යතාවයේ ස්‌වභාවය අනුව ක්‍රියාශීලී වනවා සේම ඇතැම් අවස්‌ථාවල අලස බව දක්‌වමින් නිහඬ වෙයි.

කුමන ආකාරයේ ගැටලුවක්‌ හමුවේ වුවද ධෛර්යය අහිමි කර නොගනී. තනිවම කල්පනාකොට තැනට සුදුසු ලෙස ඒ ඒ කාර්යය සඳහා අවශ්‍ය ආකාරයට ධෛර්යය සම්පන්නව කටයුතු කිරීම විශේෂ ලක්‍ෂණයකි. යම් අරමුණක්‌ සඳහා යොමු වුවහොත් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් මඟ හෙළි පෙහෙළි කරගනිමින් තම ඉලක්‌කය සම්පූර්ණ කරගනී.

ස්‌වභාවයෙන්ම ආඩම්බර ගති පැවතුම් පිහිටයි. අන්‍යයන්ට යටත්වීමට දැඩි අකමැත්තක්‌ දක්‌වයි. කෙනෙකුගේ බසට අවනත වීම බාල්දු වීමක්‌ සේ සලකයි. අන් අයකු යටතේ රැකියාවක්‌ කළද එය තමන්ගේ මතයට අනුව තමන්ට අවශ්‍ය පරිදි කිරීමට උත්සාහ කිරීම නිසා ගැටුම් මතු කරගනී. එබැවින් බොහෝ දුරට තමන්ගේම ව්‍යාපාරයක නියෑළීම සුදුසු වේ. නැතහොත් මූලිකත්වය ගෙන කටයුතු කළ හැකි පාලන අංශයේ රැකියා ගැලපේ.

සෑම දෙයක්‌ පිළිබඳවම දැනුම තැන්පත් කර ගනී. එදිනෙදා මුහුණදීමට සිදුවන සියලු ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට එකී නුවණ ප්‍රයෝජනයට ගනී. කුමන විෂය ධාරාවක්‌ පිළිබඳව වුවද පුළුල් ලෙස සොයා බලා සිතෙහි හටගන්නා සැකය, කුතුහලය සංසිඳවා ගනී. ප්‍රත්‍යක්‍ෂයෙන් තොරව කිසිවක්‌ පිළිගැනීමට අකමැතිය. පොතපතෙහි සඳහන් දේ ද වෙනත් ඕනෑම අයෙක්‌ කියා දෙන දේද අත්හදා බලා එය නිවැරැදි නම් පමණක්‌ පිළිගනී. තමා අවට සිදුවන සෑම දෙයක්‌ම තමා සමග එකම සිටින අයට වඩා වෙනස්‌ ආකාරයෙන් දැකීම වෘශ්චික ලග්න හිමියන්ගේ විශේෂත්වයකි.

අන් අයගේ ගුණ දොස්‌ විවෘතව කියයි. විවේචනයට ඉතා දක්‌ෂ හා ප්‍රිය බවක්‌ දක්‌වයි. කෙනකුට ඉතා සරලව කිවිය යුතු දේ පවා සිත රිදෙන කලකිරෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීමට පෙළඹෙයි. එවැනි දේ තුළින් සතුටක්‌ විඳීමට පෙළඹෙන අතර තමා සෘජු නිවැරැදි ප්‍රතිපත්තිගරුක අයකු බව පුන පුනා සිතයි.

පටන් ගන්නා ඕනෑම කටයුත්තක්‌ තම ඉලක්‌කය සම්පූර්ණ වන තුරු අත් නොහරියි. දක්‍ෂතාව, උත්සාහය, අධිෂ්ඨානය නිසාම ජයග්‍රහණ හිමිකර ගත්තත් අරමුණ අතර ඉඳහිට අතරමං වන බැවින් ගමන හෙමින්ය.

තම එදිනෙදා කටයුතු අවශ්‍ය ආකාරයෙන් සිදු වුවහොත් එය ප්‍රමාණවත් යෑයි සිතා සෑහීමකට පත්වීමේ උතුම් ගුණාංගය හිමි මොවුනට කිසිදු අවස්‌ථාවක ධනය

රැස්‌කිරීමේ ආශාව නැත. එක්‌ කටයුත්තක්‌ සඳහා සැලසුම් රාශියක්‌ සිතෙහි තබා ගත්තත් අවසානයේ එම සැලසුම් සියල්ලම ක්‍රියාත්මක නොකර නිහඬව එම කටයුත්ත ක්‍රියාත්මක කරයි.

උසස්‌ ගුණධර්ම වහා අවබෝධ කරගනී. ඒවා තම දිවියට බද්ධ කර ගනිමින් ජීවිතය සාර්ථක කරගනී. කොතරම් කලබලකාරී පසුබිමක වුවද වහා සිත තැන්පත් කරගැනීමට දක්‌ෂතා දක්‌වයි. හරවත් යමක්‌ දුටුවිට එය අගය කරන අකාකාරයටම හරසුන් යමක්‌ දුටුවිට දෙවරක්‌ නොසිතා එය ප්‍රතික්‌ෂේප කරයි. ඒ පිළිබඳ නොසඟවා තම මතය ප්‍රකාශ කරයි. හොර රහසේ වැඩ නොකරයි. කරන ඕනෑම කටයුත්තක්‌ කැපී පෙනෙන ලෙස සිදු කරයි. ඕනෑම දෙයක්‌ පිළිබඳ විචාරශීලී වේ. ආත්ම විශ්වාසය දැඩි ලෙස පවතී.

කිසිවකුට ඕනෑවට වඩා ගරු සැළකිලි නොදක්‌වන අතර හැමවිටම තමාගේ අඩුපාඩු වැරැදි හදා ගැනීමට උත්සාහ කරන චරිතයකි. අන්තවාදී ලෙස කටයුතු කිරීම නිසාත් දැඩි කලබලකාරී බව නිසාත් අනවශ්‍ය ගැට ලු මතුකර ගනී.

පැරැණි චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරයි. කලබල අඩු නිස්‌කලංක පෙදෙස්‌වල වාසය කිරීමට කැමැත්තක්‌ දක්‌වයි. දර්ශනීය ස්‌ථානවලට ප්‍රිය කරයි. තමාගේ කටයුතු පමණක්‌ බලාගෙන ක්‍රියා කරන ගතියක්‌ පවතී. තමාගේ දක්‍ෂතාවන් පිළිබඳ ඇති ආත්ම විශ්වාසය නිසාම සියලු කටයුතු අන්තිම මොහොත දක්‌වා කල්දමයි. මම ඒක ඕන වෙලාවට කරන්නම් යන මතය වෙනස්‌ නොකරන්නේ එබැවිනි.

ඉබේ ගෞරවයට පාත්‍රවන වෘශ්චික ලග්න හිමියෝ සමාජයේ කැපී පෙනෙන චරිත වේ. විරුද්ධවාදීන් කොතෙක්‌ සිටියද මෙම ලග්නකරුවන්ට එරෙහි වීමට සියල්ලෝ අසමත් වෙති. දේශපාලනයට බොහෝ ලැදිකම් දක්‌වයි. එසේ නොමැති වුවහොත් දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් හා දැඩි සබඳකම් පවත්වයි. හිතට එකඟව කටයුතු කරයි. අන් අයගේ දැනමුතුකම් උපදෙස්‌ පිළිගන්නා බව පෙන්වුවද අවසානයේ තමා හිතන දේම ක්‍රියාවට නංවයි.

තමා අතින් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටු කිරීමට සෑම උත්සාහයක්‌ම ගනී. වහා කිපෙන ගති තිබුණත් තරහ පිට නොකරයි. ජීවිතයේ බොහෝ කටයුතු කල්දමයි. එහෙත් අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ ඉටු කිරීමට පසුබට නොවේ.

රාශි අතුරින් ගවේෂණාත්මක රාශිය ලෙස ගැනෙන වෘශ්චික රාශියේ උපන් අයගේ දුර්වලතා ලෙස අන්‍යයන්ගේ ගුණ දොස්‌ විවේචනයත්, සිත රිදෙන ආකාරයෙන් කතා කිරීමත් පෙන්වා දිය හැකි අතර මුත්‍රාශයේ, ගර්භාෂයේ රෝග හා මුත්‍ර ගල්වලට මෙකී ලග්නකරුවෝ භාජන වීමේ ප්‍රවණතාව වැඩි බවද දැක්‌විය හැකිය.

ඉරිදා – සඳුදා – බ්‍රහස්‌පතින්දා වෘශ්චික ලග්නකරුවන්ට යහපත් අතර බදාදා දිනය අයහපත්ය. රතු, තැඹිලි, කහ සුබ වර්ණයන් වේ.

We found this article from Divaina on 2013/08/11.