නූතන උගත් යෑයි කියන ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥයන් පලාපල කීමට භාව කේන්ද්‍ර ආදිය සාදා දිගු වෙහෙසක් ගෙන සේවාදායකයන්ගෙන් විශාල මුදල් අය කරන්නේ පැරැණි ගමේ නැකත්කරුවන් තමා වෙතට එන අහිංසක සේවාදායකයා දෙන බුලත් හුරුල්ල දෙස බලා නිවැරැදිව අනාවැකි කියන්නේත් තත්කාල ශාස්‌ත්‍රයේ මහිමයෙනි.
තත්කාලය නොදන්නා දෛවඥයා, දෛවඥයකු නොවන බවත්, ඔහු නක්‍ෂත්‍ර සූචකයකු වශයෙන් හැඳින්වීම නිවැරැදි බවත් ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් දෛවඥයකු වූ හරමානිස් අප්පුහාමි මහතා සඳහන් කර ඇත. තත්කාල ශාස්‌ත්‍රය යනු කුමක් දැයි මෙම ලිපියෙන් හඳුනා ගැනීමට උත්සාහ කරමු.
තත්කාල යනු,
“තත්කාලය” යන වචනයෙන් ඒ වේලාව යන අරුත ලැබේ. ඒ වේලාව යන්න තවදුරටත් උදා වූ වේලාව යනුවෙන් අර්ථ දැක්‌විය හැක. සේවාදායකයකු පැමිණ ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රඥයා හමුවී ප්‍රශ්න කළ වේලාව මෙමගින් අදහස් කෙරේ. මෙවැනි හමුවීමකදී සේවාදායකයා කාරණය තම හිතේ තබාගෙන බුලත් හුරුල්ලක් ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයා වෙත පිරිනැමීම පුරාණ චාරිත්‍රයයයි. බුලත් හුරුල්ල අතට ගන්නා විට උදා වූ වේලාව ඔරලෝසුව බලා සටහන් කරගන්නා ශාස්‌ත්‍රඥයා කේන්ද්‍ර දෙකක් සටහන් කරයි. එනම්,
- ජන්ම කේන්ද්‍රය, නවාංශකය, දශා ආදිය යි
- තත් කාලයේ උදා වූ කේන්ද්‍රය, නවාංශකය, හෝරාව ආදියයි.

උපන් වේලාව අනුව සාදන ජන්ම කේන්ද්‍රයෙන් කිව හැක්‌කේ සම්පූර්ණ පලාපලයෙන් සියයට හතළිහක් පමණි. ඉතිරිය තත්කාලයට සාදන ලද කේන්ද්‍රයෙන් කිව යුතු වේ. පහත සඳහන් ප්‍රශ්න ජන්ම කේන්ද්‍රය බලා විස්‌තර කළ හැකි නොවේ.
සේවාදායකයා ඇසීමට බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?
ඉඩමක වතුර තිබේද?
බලාපොරොත්තුවන ඉඩම මිලට ගත හැකිද?
බලාපොරොත්තුවන විවාහය සිදුවේද?
රෝගය සුවපත් වේද? අසාධ්‍ය වේද?
විභාගයෙන් සමත් වේද?
විවාහයට ලැබෙන ස්‌ත්‍රිය චරිතවත්ද?
ස්‌ත්‍රියට දරුපල ලැබේද?
නිවසක දොෂ ශුභාශුභ කෙසේද?
ඉහත සඳහන් ප්‍රශ්න කේන්ද්‍රය බලා කිව නොහැකි නමුත් තත්කාල කේන්ද්‍රයෙන් මේවා දැන ගත හැකිය. මේ උදාහරණ කිහිපයකි. තත්කාල ශාස්‌ත්‍රය මගින් විසඳුම් ලබා ගත නොහැකි ප්‍රශ්නයක් නැති තරම් ය. මේ අනුව තත්කාල ශාස්‌ත්‍රය නොදන්නා ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයකුට කිව හැකි අනාවැකි ප්‍රමාණය 40% බව කීම අතිශයෝක්‌තියක් නොවේ.

ප්‍රශ්න ශාස්‌ත්‍රය
තත්කාල ශාස්‌ත්‍රය පිළිබඳව ඉතා වටිනා කරුණු පුරාණ ග්‍රන්ථවල සඳහන්ව තිබේ. අපේ පැරැණිම ජ්‍යෙතිෂ ග්‍රන්ථය ලෙස සැලකෙන දෛවඥ කාමෙනු නම් පොතේ විසිවැනි පරිච්ඡේදය මගින් මෙම ශාස්‌ත්‍ර ක්‍රමය විස්‌තර කරන්නේ ප්‍රශ්න ශාස්‌ත්‍රය වශයෙනි.
මෙහිදී අප හිතවතෙකුට සිදු වූ කදිම සිදුවීමක් සඳහන් කිරීම වටී. එතුමාට විදේශ ගමනක් යැමට සිදු වී ඒ ගැන කියා ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් වෙත ගොස් තිබේ. උන්වහන්සේ අප මිතුරාට මෙසේ පවසා ඇත.
“ඔය කියන දවසට තමුන්ට රට යන්ඩ වෙන්නේ නෑ. යන්ඩ වෙන්නෙ ඔය දවසට පහුවදා”
ඒ භික්‍ෂුන් වහන්සේ තත් කාලය දන්නා කෙනෙකි. එහෙත් ගුවන් ටිකට් ඇතුළු සියල්ල සම්පූර්ණ වී සිටි අප මිතුරා මේ අනාවැකිය ගැන විශ්වාස කළේ නැත. එසේම ඔහු නියමිත වේලාවට ගුවන් තොටුපළට ගියේය. එහෙත් කාර්මික දෝෂයක් නිසා යානය ප්‍රමාද විය. මේ නිසා ගමන දවසක් ප්‍රමාද වූ බැවින් අනාවැකිය සත්‍ය විය. මේ කාරණයම ඉහත ග්‍රන්ථයේ 347 පිටේ සඳහන් වන්නේ මෙසේය.
“ප්‍රශ්නය කරන වේලාවට උදා වූ ලග්නයෙන් හත්වැන්න අධිපතියා වක්‍රව සිටියේ නම් ඒ වක්‍රයෙන් මිදෙන තුරු ගමන් යැමට බලාපොරොත්තුවන තැනැත්තා නැවතී සිටී.”
(දෛවඥ කාමෙනු)
පැරැණි ජ්‍යෙතිෂ පොත්වල ප්‍රශ්න ශාස්‌ත්‍රය හෙවත් තත්කාල ශාස්‌ත්‍රය පිළිබඳව වටිනා කරුණු ඇතුළත් කර තිබේ. මේ අතර මෙම ශාස්‌ත්‍රය පිළිබඳවම පොත් කිහිපයක් පළ කර තිබේ. ප්‍රශ්න ඥාන ප්‍රදීපය, ෂට්‌පංචශිඛාව, ප්‍රශ්න චණ්‌ච්ශ්වරිය ඉන් කිහිපයකි. උත්තර තාලාමානය, භාව කුතුහලය, වරාන මිහිරය, නාරද සංහිතාව වැනි ග්‍රන්ථවල මේ පිළිබඳව වටිනා කරුණු ඇතුළත් වේ. “ශ්‍රී තත්කාල නිමිත්ත නවීකරණය” නමින් අභයරත්න රණවීර මහතා ලියා ඇති ග්‍රන්ථය මෙම ශාස්‌ත්‍රය පිළිබඳව මෑතකදී ලියෑවුණු වටිනා ග්‍රන්ථයකි. අවසන් වශයෙන් කිව යුත්තේ ජ්‍යෙතිෂයෙන් බැබලෙන්න තත්කාලය දැනගන්න” යනුවෙනි.
We found this article from Divaina on 2013/11/24.