සිකුරු යනු ආදරය, සුන්දරත්වය, තාරුණය තුළ ක්‍රියාත්මක පෙරළිකාර ග්‍රහයෙක්. සිකුරු පෙරළිකාර ග්‍රහයකු ලෙස හඳුන්වන්නේ මිනිස් දිවියේ තාරුණ්‍යයට සිකුරුගෙන් විශාල පිටුවහලක් අත්වන බැවින්ය. එවන් වූ සිකුරු උච්ච බලයෙන් පිරිපුන් කල විවාහකයන්ගේ කෙළිලොල් බව ඔවුන්ගේ වියපත් විය දක්වාද මගහැරී නොයන්නේය.
ඉතා සැහැල්ලුවෙන්. සිනාසෙමින් මහ මග යන එන තරුණ තරුණියන් දැකීමද සිතට සහනයක් ගෙන දෙන්නක්. නොයෙක් ප්‍රශ්නවලින් හෙම්බත්වුණු මුහුණු අතර මෙම සිනහමුසු මුහුණු දැකීම සිතට සහනයක්. කෙළිදෙලෙන් දුව පනින තරුණ තරුණියන් තුළ ඇති සොම්නස ලෝකයටම යොවුන්වියේ ආශ්වාදය කියා පාන්නක්.
කලා ලොව කලාකරුවන්, කලාකාරිනියන් අතරද බොහෝ විට එවන් වූ සැහැල්ලු බවක් දකින්නට පුලුවන්. ඔවුන් අතර ඇති සරළ බව, සුහදත්වය, නිහතමානී බව එයට හේතු කාරකයක් විය හැකියි. රසික ආදරය නිරතුරුව හිමිවන්නේ එවැනි උදවියටයි. සැහැල්ලුවෙන් කතාබහ කරන ගමන් බිමන් යන ප්‍රියමනාප තරුණ තරුණියන් වෙත අපේ සිත් සතන් බැඳී යන්නේ ආකර්ශණීය විලාසයකින්.

බොහෝවිට යුගදිවිය තුළ ගොනු වූ තරුණ තරුණියන් තුළ මෙම කෙළිලොල් බව කාලයත් සමඟම සැඟව යනවා. ඔවුන් විවාහයේ නොයෙක් සංකීර්ණ වූ ගැටලු හමුවේ හෙම්බත්වීම, කණස්සල්ලට පත්වීම එයට හේතුවක්. මේ අතර විශේෂිත වූ තරුණ පිරිස්ද දකින්නට නැතිවා නොවෙයි. ගැටලු – පීඩා මතුවුවද පෙර පරිදි කෙළිදෙලෙන් ගතකළ සමාජමය ජීවිතය ඔවුන් තුළින් පලායන්නේ නැහැ. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඇවැතුම් පැවතුම් පෙර පරිදිමයි.
තරුණ තරුණියන් කුටුම්භ සංරක්ෂණය තුළ ගොනුවීම මත තමන් විසින්ම සීමා මායිම් පනවා ගැනීම නිරායාසයෙන්ම සිදුවන්නක්. පෙර පරිදි මිතුරු ඇසුර වෙලාව කාලය නොබලා කරනු ලබන ගමන්-බිමන්, විනෝද ක්‍රීඩා තුළින් බැහැරව සකසුරුවම්ව විය පැහැදම් කිරීම විවාහ දිවිය තුළ දෙදෙනාගේම යහපතට ගොනුවෙනවා.
විවාහ දිවිය සැහැල්ලුවෙන් ගතකරන පිරිස්
විවාහ දිවිය තුළ එවන් වූ වෙනසකට අනුගත නොවෙමින් පෙර පරිදිම සැහැල්ලුවෙන් ජීවිත ගතකරන පිරිස් වෙත සිකුරු ග්‍රහයාගේ බලපෑම නොඅඩුවම යොමුවෙනවා. සිකුරු බලවත්ව – උච්චව බලපවත්වන්නේ විවාහයෙන් පසුවද එලෙස නිදහස් – සැහැල්ලු ජීවිත ගතකරන්නන් වෙත බව ජ්‍යෙතිෂමය සිද්ධාන්තයන් පසක්කර දෙනු ලබනවා.
වගකීම් පිළිබඳව සිතන්නට ඉඩක් නොතබා විනෝද කාමී සාටෝප සරුවපිත්තල ලොවක ජන්මියා රඳවා තබන්නේ උච්ච වූ සිකුරුගේ ග්රහබලයයි. එය සමාජය තුළ ප්‍රසාදය ළඟාකර ගැනීමකට වඩා කවරනම් වූ ගැටලුවක් හමුවේ පවා සැහැල්ලුවෙන් ජීවිතය දෙස බැලීමක් ලෙස හඳුන්වන්න පිළිවන්.

විවාහ ජීවිතය යනු විනෝදකාමී දිවියක් නොවේ. එය වගකීම්, යුතුකම් පිරුණු ජීවිත දෙකක එකතුවක් ලෙස සමාජගත වෙයි. ලෝකයේ පැවැත්මට උපකාරිවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක ආරම්භය ලෙස සනිටුහන් වන යුගදිවිය පසිඳුරන් පිනවීමේ මාර්ගයම නොවන්නේය. සිකුරු උච්චවූ තැනැත්තා තුළ රැඳි විනෝදකාමී සැහැල්ලු දිවිය විවාහයෙන් පසුවද ඇත්වන්නක් නොවේ. එම විවාහ දිවිය තුළ ඇතිවන ගොනුවන වගකීම් යුතුකම් පැහැර හැරීමක් සිදුවීමද වැලැක්විය නොහැකියි. අරුත්බර යුගදිවිය තුළ එක් අයෙකුගේ විනෝදකාමී සෝබන වූ දිවිය තුලින් අනෙකා පීඩාවට පත්වීමත් විවාහ දිවිය අවුල්වීමටත් හෝතුකාරක ඇතිවෙයි.
සිකුරු උච්චවීම තුළ මෙම වගකීම් පැහැර හැරීම අරපිරිමැස්ම, ආචාරශීලී බව දුරස්වීමට හේතුවෙයි.
විවාහ දිවිය අසාර්ථක වීම
විශේෂයෙන් මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ගේ බාධක ස්ථානය හත්වැන්නයි. මීන සහ කන්‍යා ලග්න හිමියන්ගේ විවාහ ස්ථානය වූ හත්වැන්නට අහිතකර බලපෑම් නිබඳවම ගොනුවෙයි.
සිකුරු මීනයේ දී උච්චවන නමුත් කන්‍යා ලග්න හිමියන් හට සිකුරු හත්වැන්නේ නම් කුජ ග්‍රහයා / හෝ 7 වැනි ස්ථානයක නම් විවාහ දිවිය අසාර්ථක විය හැකියි. හැත්වැන්ණ කුජ දැකීම තුළ නොමගට යොමුවීම අනියම් ඇසුර නිසා විවාහ දිවිය අසාර්ථක විය හැකියි.
ලෞකික දිවිය පිළිබඳව පීඩා, කළකිරීම් ගෙනඑන ගුරු හිමි මීනය කන්‍යා ලග්න හිමියන්ගේ හත්වැන්නට උරුමවීම ඔවුන්ගේ විවාහ දිවිය අසාර්ථක වීමට හේතුයි.
උච්ච සිකුරු 5 හෝ 9 දැකීම තුළ සිකුරු විසින් හත්වැන්න දැකීම විවාහ දිවියට බාධාවකි.

සිකුරු උච්චව සඳු කුජ සමඟ 1-3-7-11 යන ස්ථානයක සිටියේනම් ගුරු බලරහිතව 1 හෝ 9 වැන්නේ ස්ථානගතව සිටියේ නම් එවන් කාන්තාවක අභිසාරිකාවක් වන බව පැවසෙයි. සිකුරුගේ බලය වේගවත්වීම කරනු ලබන්නේ කුජයි. කුජ ග්‍රහයා තුළින්ය. එයට සඳුගේ දැකීම ගොනුවීම තුළ ජන්මියා හැඟීම්වලට වහල් වෙයි. ආලයෙන් අඳුරට පත්වෙයි. පසිඳුරන් පිනවීමට යොමුවෙයි.
උච්ච සිකුරුගේ බලයට ශනි, කේතු, ගුරු වැනි ග්‍රහයන්ගේ දැකීම යොමුවීම ජන්මියාට විවාහ සැපත නොලැබී යැමට හේතුවෙයි.
සිකුරු නීච වීම තුළ ජන්මියෙකුගේ ජීවිතය උච්ච සිකුරුගේ බලපෑමට වඩා වෙනස්වෙයි. කේන්ද්‍ර සටහනක සිකුරු නීච වීම තුළ සමාජමය නැඹුරුවෙන් බැහැරව ජන්මියා විවාහ දිවියට ලැදිවීම ගෘහ ජීවිතය නැඹුරුව තුළ තම නිවස තුළම ගොනුවීම පතයි. එහෙයින් සිකුරු උච්ච ජන්මියාට වඩා සිකුරු නීච ජන්මියාගේ යුග දිවිය අවබෝධයෙන්, ක්‍රමානුකූලව යහපත්වෙයි.
ඔබේ කේන්ද්‍ර සටහනේ සිකුරු උච්ච වීම හෝ නීච වීම පිළිබඳව අනෙකුත් ග්‍රහ බලපෑම් මත අරුත් ගොනුකර ගැනීම වඩාත් යහපත්ය. යහපත් ජ්යෙතිෂවේදියකුගේ නිවැරැදි මග දැක්ම එයට අවැසි වන්නේ එබැවින්ය.
We found this article from Divaina on 2013/11/17.