සුනඛ රජාගේ පෙරමග නිමිත්ත

1661
සුනඛ

ජන සම්මතයේ පවතින කෘෂිකාර්මික ජන ජීවිතය චමත්කාරවෙනුයේ බාහිර දර්ශන තුළිනි. ආකර්ෂණීය මනස්‌කාන්ත සොබා සෞන්දර්යයට සුනඛයා සැබවින්ම නැතුවම බැරි හිතෛෂිවන්තයෙකි. බාරකාරයා, මුරකාරයා, සිකුරුටිකාරයා, ආරක්‍ෂකයා ලෙස සුනඛ පෝතකයාට ගම්බදව ලැබෙන ප්‍රමුඛතාවය කෙතරම්දැයි ඔබ විස්‌මයට පත් කෙරෙන තොරතුරු මෙවැන්නෙන් අනාවරණය වෙනු ඇත. ආරක්‍ෂාව, රැකවරණයට මෙන්ම ඔබ නිවහනෙහි ඇතිකරනු ලබන සුනඛ පෝතකයා සුරතලයට ද ලක්‌වෙයි.

ඔබ පවුල් ඒකකය පිළිබඳව ද මනා වූ අවබෝධයකින් පසුවෙන්නෙකි. ඔබ සැමගේ පැවැත්ම කෙරෙහි මෙන්ම හැසිරීම් රටාව කෙරෙහිදී උරගා බලන සුනඛ රාජයා මිනිසාට මහෝපකාරී වන්නා වූ කෘතවේදී සත්ව විශේෂයෙකි. නීතිය අකුරට ක්‍රියාත්මක කරනා කිසිදා අල්ලස්‌ නොගන්නා නීතිය කප්පාදු නොකරන නීතිවේදී පාද සතරේ සුනඛ රාජයා වත්මන් මිනිසාට ආදර්ශවත් චරිතයකි. වර්ෂ දස දහස්‌ ගණන් ගතවී ඇතත් සිඟාල ගෝත්‍රයට අයත් මෙම සතා මිනිස්‌ ශිෂ්ටාචාරයෙහි ඈත සිට ඔවුන් සමඟ ඇසුරුකරන ගෝත්‍රක වර්ගයාගේ ගතිසිරිත් එකකුදු කඩ නොකළ සුවිශේෂි සත්ව විශේෂයෙකි. දඩයම් යුගයෙහි සිට අසීමිත වූ සේවාදායකත්වයක්‌ දැරූ සුනඛත්වය සාමාන්‍ය ජන ජීවිතයෙහි වැදගත්ම සත්වයෙකි.

සුනඛ

ශ්වා – සරවේය – කෞලේයක – කුක්‌කුර – මෘශදසක – ශුනක – භාෂක යන නම්වලින් හැඳින්වෙනු ඇත්තේ සංස්‌කෘත භාෂාවෙනි. සාරවේය – සුනඛ – සෝනේ – කුක්‌කර – ස්‌වානෝ – කලුරෝ – වනෝ – කාතත් – සා යනුවෙන් පාලි භාෂාවෙන් සුනඛ පෝතකයා හඳුන්වයි. සිංහලයේදී නහාබලු, ස්‌වාසෙනේන සුවඃ ආදී නම් යෙදෙනු ඇත. සෙන් සවල් යනු බලු සිවල් ය. ඉපැරණියන් මෙකී සුනඛයන්ගේ හැසිරීම හැඟිම මත විවිධ වූ මති මතාන්තර ඉදිරිපත්කර ඇත.

බිරීම සහ උඩු බිරලීම

සුනඛයා හඬ ප්‍රධාන වශයෙන් දෙආකාර වෙයි. බිරීම සහ උඩු බිරලීම යනුවෙන් සරලව දැක්‌විය හැක. උඩු බිරිලිය ශෝචනීය වූද අනර්ථකාරී වූ ද හඬක්‌ ලෙසට සඳහන් කළ හැකියි. හිමිදිරි උදැසනක පදිංචි නිවාසයට පමණක්‌ නොව මුළු මහත් ගම්මානයටම අයහපත උදාකෙරෙන බිහිසුනු බවක්‌ මතු කෙරෙයි. මාරාන්තික විපත්ති, මරණ පවා ඇතිවීමට ලැබෙන සුළු පෙර නිමිත්තක්‌ ලෙස ගම්මුන් පොදුවේ සලකනු ලබන්නෙකි. දහවල් කාලයෙහි උඩුබිරලීම සොර සතුරන් පිළිබඳ පෙර නිමිත්තකි. සන්ධ්‍යා සමයෙහි උඩුබිරලීම නිවාසයට අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත විෂම කාල පරිඡේදයක උදාවක්‌ බැව් නිවේදනය කෙරෙනු ඇත.

මධ්‍යම රාත්‍රියෙහි යම්බදු නිවාසයක සුනඛයෙකු උඩුබිරලීම එහි මරණයක්‌ නියත වශයෙන්ම සිදුවන බවට සංඥවෙකි. සූර්යයා උදාවී එනවිට සූර්යරැස්‌ බලා උඩුබුරලයිද රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉතාම අහිතකර ස්‌වභාවයක්‌ උදාවීමේ පෙර නිමිත්තකි. විවිධාකාර වදුරු වසංගත බෝවන බිහිසුනු රෝගාබාධක හැටගැනීමට හේතුවෙයි. සූර්යා මුදුන් වේලෙහි උඩු බුරලයිද අමානුෂික ඝාතන, ශෝක ජනක ප්‍රචණ්‌ඩකාරී සිදුවීම් බලපෑමකි. තනි සුනඛ පෝතකයකුගේ උඩුබිරලීම වනාහි එක්‌ පදිංචි නිවසකට ද බලු රංචුවකගේ උඩු බිරලීම මුළු මහත් රට රාජ්‍යයටම බලපෑමකි. පළමුකොට නිවසක්‌ අසල උඩුබුරයි ද නැවත සොහොනක උඩුබුරලයි ද නියත වශයෙන්ම මරණයක්‌ පිළිබඳ අසන්නට ලැබීමකි.

අසුබ ඵල

යම්බදු කෙනකු ගමනක්‌ යැමට සූදානම්ව පෙරමඟට යොමුවූවිට සුනඛයෙකු පැමිණ ඔහු වටා කැරකී කුරු කුරු යනුවෙන් ශබ්දනඟා නිවසට දිsවීමෙන් එම ගමන අසුබ අහිතකර තත්ත්වයක්‌ උසුලනු ඇත. ඉදිරියෙහි දඩාවතේ හෝ යන සුනඛයෙකු කඩාබිඳගෙන බාධක පමුණුවයි ද ගමනෙහි කිසිදු ප්‍රයෝජනයක්‌ නොවන බැව් ප්‍රකාශ වෙන්නේය. ඇඳි වස්‌ත්‍රයෙන් අදිනු ලබනුයේ නම් එකී ගමනේ ද කිසිදු ප්‍රයෝජනයක්‌ නොමැත. පාදයක වම්කෙණ්‌ඩ සිඹීමෙන් ගමන අනර්ථය පිණිස වෙයි. දකුණු කෙණ්‌ඩ සිඹීමේදී ගමන් යන අතර මගදී වනිතාවක්‌ සමඟ බහින්බස්‌ වීමට සිදුවිය හැකියි. බොහෝ දුරට වම්කළව සිඹීමෙන් අනුරාගය ඉස්‌මතු කෙරෙමින් පංචකාම සම්පත් ගමනේ දී අඩුපාඩුවක්‌ නොමැතිව ලැබීමට හේතුවෙයි. සිතැඟියාවන් සැම ඉටුකරගෙන ගමන් ගොස්‌ සිය නිවස වෙතට ළඟා විය හැකි බැව් පෙනී යන්නේය.

සුනඛ

අත ලෙව කෑවේ නම් ගමන් යන එන අතර තුරෙහි බාධක පෙන්වීමේ පෙර නිමිති සංඥවෙකි. ගමන් යැම තුළ සුනඛ තෙමේ ඒ මේ අතට දුවපනී නම් අයහපත උදාවෙන බවට පූර්ව සංඥවන් වෙයි. නමුත් ගමන් යැමේ දී සුනඛ පා තමාට ආචාර කෙරෙනුයේ නම් ගමන අතිශයෙන්ම යහපත් බැව් පෙනී යන්නේය. පෙරමඟ සුනඛයන් පොරකනුයේ නම් ගමන අසුබ අයහපත් ප්‍රතිඵල උදාවීමේ ලක්‍ෂණයකි. සුනඛ මෛථුන්‍ය ගමන්යැමේදී දකීනම් මාරාන්තික විපත් ගෙනදී මෙහිලා බලපානු ලබන්නෙකි. යමක්‌ කටින් ඩැහැගෙන යැම දී අනතුරු දායක වෙයි. ගමන බිහිසුනුය. අනතුරුදායක-රෝගාතුර තත්ත්වයක්‌ පෙන්නුම් කරන්නෙකි.

ශුභ ඵල දෙන සුනඛ සංඥා

ඔබ මෙබඳු ශුභඵල උදාකර ගැනීමේ ගමනාරම්භයක යෙදුණවිටක සුනඛයෙකු කන්පටගැසීනම් අතිශයෙන්ම ඉතා බිහිසුනු වෙයි. පහුරුගෑම් ආදියක්‌ද කළේ නම් එයද මහත්වූ බාධාවකි. නිවහනෙහි වසන සුනඛයෙකු බියෙන් වලිගය වනමින් පෙරමඟට එනු ලබන්නේ ද ගමන සාර්ථකත්වයට පැවසෙන ඉඟියකි. වලිගය මධ්‍යම ආකාරයට ඔසවා සිටී නම් ගමනෙහි පරමාර්ථ සම්පූර්ණ නොවෙයි. වල්ගය පහත්කොට එහාට මෙහාට වනමින් සිටීනම් බාධක දුෂ්කරතා නොවනමුත් කාර්යයන් ඉටුනොවනු ඇත. ඔබ ඉතාම වැදගත් ගමනක්‌ යැමට සිටීනම් පාදයකට මුත්‍රා කළේ නම් නැතහොත් ඔබ නැඟගත් වාහනයෙහි රෝදයකට මුත්‍රා කළේ නම් එබඳු සංඥව ශුභඵල උදාකර දීමකි. සුනඛතෙමේ හිස දිගුකර හුහ් ඌ ඌයි යනුවෙන් හැඟේ නම් ගමන අතිශයෙන්ම සතුටුදායක විය හැක. හිස උඩට හරවා කෑගැසීනම් ගමනෙහි විවිධ බාධක මාරක යෙදීමට ඉඩකඩ ඇත. ඔබ ගමනාරම්භ කරන විට දෙපා ලෙවකෑවේ නම් බාධක නොයෙදෙතත් ප්‍රතිඵල සාර්ථකත්වයට නොපැමිණෙයි. ඔබගේ පාද හැපීනම් බුරාගෙන ඇඳිවත අදී නම් හෝ ඉරා නම් ගමන මාරකය, ගමන නවතා දැමීම යහපත් වෙයි.

නිවාසයෙහි ප්‍රධාන දොරකඩ ඉදිරියෙහි නිවාසය දෙසට හැරී උඩු බුරයි නම් නිවාසයට වෙළෙඳසලට තිරසාරව නිවසෙහි මරණයකි. නිවාසයට – වෙළෙඳ ආයතනයට පිටුපා උඩු බුරයි නම් ලේ ඥතියකුගේ මරණයෙකි. ගම්මානය දෙසට හැරී උඩු බුරන්නේ නම් බිම පහුරු ගාන්නේ නම් එකී දෙසින් මරණ කීපයක්‌ම ඇති වෙන බවට පෙර නිමිත්තෙකි. තැනින් තැන පහුරු ගාන්නේ නම් එදිරිවාදි කාරයෙකුගේ බලපෑමක්‌ ඇති බවට සංඥවෙකි. හතරැස්‌ කොටු ඇතිවෙන පරිදි සුනඛයා විසින් පහුරු ගෑවේ නම් යමකු විසින් කරන ලද කොඩිවිණ දොෂයක්‌ එම ස්‌ථානයට – භූමියට බලපාන බවට ලකුණකි. අලුවාකැට මෙන් පහුරු ගාන ලද ස්‌ථානයෙහි මතුවී එතොත් ප්‍රේතපාදයක ලකුණු පෙරනිමිති මගින් පෙන්වාදීමකි. නිවසෙහි සිව්කොණ භූමිය පහුරු ගා තිබේනම් ආරක්‍ෂාවන් කළයුතු බවට සංඥවකි.

ඉදිරියට පැන පැන බුරනුයේ නම් ගවයෙකු ඉඩමට ආ බවට ලකුණකි. බුර බුරා පස්‌සට දුව යන්නේ නම් නාඳුනන කෙනකු ආ බවට සංඥවෙකි. බුර බුරා වටේට දුව යන්නේ නම් උරගයෙකි. බුරන අතරින් සතුටු කෙඳිරියක්‌ද දෙනු ලබන්නේ හිතවත් ලැදි අයෙක්‌ පැමිණ සිටින බවට සංඥවෙකි. නිවසට අදාළ ආශ්‍රිත වූ කෙනකු බවයි. උඩුබුරන හඬට සමාන කෑ ගැසීනම් ස්‌වාමියා එන බවට දැනුම්දීමකි. බොහෝ වෙහෙසට පත්ව දඟලමින් වෙහෙසට පත්වූයේ නම් අමුත්තෙක්‌ එන බවට පූර්වතම සංඥවෙකි. සුනඛයෙකු එළිපත්තේ ද කඳ එළියට ද සිටිනසේ නිවස ඇතුළ බලා බුරයි නම් නිවාසයෙහි යමෙකුට මාරාන්තික රෝග බියක්‌ පිළිබඳව දැනුම්දීමකි.

පවුල් දිවිය ගැන අනාවැකි

සිරුර නිවාසය ඇතුළට දමා හිස එළියට ද දමා ගෙහිමියා දෙස බලා බුරයි ද බිරිඳ පතිවතෙන් දුරස්‌ථව සිටින්නියක බවට අපූර්වතම වූ ප්‍රබල සංඥවෙකි. සුනඛයෙකු විසින් බිත්තියක්‌ පහුරු ගාන්නේ නම් වැඩි කලක්‌ යැමට මත්තෙන් නිවස සොරුන් විසින් කඩාදමන බවට සංඥවෙකි. ගවගාල එසේම සුනඛයෙකු විසින් පහුරු ගාන්නේ නම් ගවයන් සොරු ගෙනයන බවට පෙර සංඥවෙකි. ගවරැල එළියට ගන්නාවිට හරස්‌ වෙවී ගවයන්ට හානියක්‌ විපත්තියක්‌ වන බවට පූර්ව සංඥවෙකි. ධන ධාන්‍ය හෝ කුඹුරු පහුරු ගාන්නේ නම් එහි වැය පස ඉහළ යන බවට පෙන්නුම් කරයි. යම්බදු සුනඛයෙකු එක්‌ ඇසකින් කඳුළු වගුරුවමින් ආහාර නොගෙන හෝ ආහාර මද වශයෙන් ගෙන වකුටුව නිදාගෙන කාලය ගතකරයි නම් නිවසට මහත්වූ ශෝකා කූලතාවයක්‌ උදාවනවට ප්‍රබල සංඥවෙකි. අසනීපයක්‌ නිවසෙහි නොමැති අවස්‌ථාවකදී ඉතා අහිංසක ලෙස දෙනු ලබන කවර අහරක්‌වත් යන්තමින් ලෙවකමින් සිටීනම් ගෙහිමියාට මාරක විනාශ අත ළඟ බැව් පෙන්නුම් කෙරෙනු ඇත.

සිහිනයෙන් සුනඛයන් පෙනේ නම් තම වැඩකටයුතුවල ආරක්‍ෂා රැකවරණය මඳබැව් පෙනෙයි. සොර සතුරු කරදර නඩුහබ ආරවුල් ද තමා සිහිනෙන් යම් සුනඛයෙකු විසින් සපාකෑවේ නම් කරදර විපත් අධිකවන බවද පෙනීයන්නේය. සුනඛයෙකු තම නිවසෙහි ඇතුළත පහුරුගෑම, හෑරීම කරයි නම් හදිසි ධනලාභ ගෙනදීමකි. බොහෝ දුරට අරමුණු ද සඵල කෙරෙනු ඇත. බොහෝ දුරට පෙනී යනුයේ ගෙහිමියා මිය පරලොව ගියවිට – සුනඛයාද මියගිය බවයි. ගෘහ ස්‌වාමියාගේ අභාග්‍ය සම්පන්න කාලයන්හි දී සුනඛයා ද දුක්‌බරව ශෝචනීය අයුරින් කාලය ගත කරනු ඇත. සුනඛයන් නින්දට වැටී සිටීම හෝ අලසව සිටීම එතරම් පෙනීමට නොහැක. නිතරම ආහාරපාන නොගන්නා අතර ඇවිදිලි සහගත සත්භාවයක්‌ද නොමැත. රැකවරණයට මෙන්ම අනාගත – වර්තමාන සුබාසුබ නිවේදනය කෙරෙන සුනඛ විශේෂයක්‌ ද සුරතල් සුනඛ පෝතකයන් ද ඇතිබැව් මෙවන් තොරතුරුවලින් අනාවරණය වෙනු ලබයි. ඉපැරණි ජනයා සුනඛයකු හදාවඩා ගනු ලැබුයේ ප්‍රයෝජන රැසක්‌ම සුනඛයාගෙන් ලැබෙන නිසාය. කවර නිවසක හෝ ඇති කෙරෙන සුනඛයකු මුළු ගැන්වී කෑමට ගිජුව ඇවිදිලි සහගතව සිටීනම් එම භූමියට, නිවසට, නිවැසියනට දැඩි ලෙස භූතදොෂයන් බලපාන බැව් පෙනෙයි.

We found this article from Divaina on 2014/03/16.