[ratings]
උපන් දා සිට මරණයට පත්වන තුරුම නොනැවතී අපි සියලු දෙනා විසින්ම කරන කාර්යයක් තිබේ. එනම් ස්වසනය හෙවත් හුස්ම ගැනීමයි. කිසිවෙකුට කොතරම් කාර්ය බහුල වුවත් හුස්ම ගැනීම අතපසු කළ නොහැකිය. උවමනාවක් ඇතත් හුස්ම නොගෙන සිටිය හැක්කේ ස්වල්ප වේලාවක් පමණි. පිහිණීම වැනි ක්‍රියාවක දී විනාඩි කිහිපයක් එසේ සිටියත් හුස්ම ගැනීමට බාධා වුවොත් ඕනෑම කෙනෙකු මරණයට පත්වීම හෙවත් අවසන් හුස්ම හෙලීම වැළැක්විය හැකි නොවන්නේ ය.
නොනවත්වාම සිදු කරන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය දෙස අවධානය යොමු කරන්නෝ ඉතා දුර්ලභය. එහෙත් මේ සුවිශේෂී ක්‍රියාවට ස්වකීය අවධානය යොමු කරන ස්වල්පදෙනා නමුදු ජීවිතයේ ඉතා උසස් තත්ත්වයන්ට පැමිණෙන්නේ ය. බෞද්ධයන් තම අවසාන පරමාර්ථය වශයෙන් සලකන නිර්වාණාවබෝධය ලබාගැනීම උදෙසා කරන භාවනා අතුරින් ආනාපාන සති භාවනාවේ පදනම වන්නේ හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. ඒ උත්තරිතර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමට පමණක් නොව එදිනෙදා ජීවිතයේ සිදුවන බොහෝ දේ කල් ඇතිව දැනගැනීමටද මෙය යොදා ගත හැකිය. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අභාවයට යමින් පවතින මෙම තුන් කල් දැකගතහැකි වටිනා ශාස්ත්‍රය පිළිබඳ කරුණු හැකි පමණින් සාකච්ඡා කිරීමයි.
ඔබ හුස්ම ගන්නේ කෙසේ ද? නාසයෙන් යෑයි ඔබ කියනු ඇත. එහෙත් කටින් ද හුස්ම ගත හැකිය. කටින් හුස්ම ගැනීම ස්වාභාවික නොවේ. ගඳ සුවඳ දැන ගැනීමට මෙන්ම ශ්වසනය සඳහා ද නාසය පිහිටා තිබේ. හුස්ම ගැනීමට හෝ ගඳ සුවඳ දැන ගැනීමට පිහිටා ඇති නාසයෙන් ඔක්සිජන් වායුව පෙනහළු දක්වා ගමන් කරයි. නාසයේ අවශ්‍යතාව එය නම් එහි සිදුරු දෙකක් පිහිටා ඇත්තේ මන්ද? මේ ප්රශ්නය ගැන ඔබ කවරදාක හෝ සිතා බලා තිබේද? මේ මොහොතේම ඔබට මේ ප්රශ්නය ගැන අවධානය යොමු කළ හැකිය.
මේ ලිපිය කියවීම මදකට නතර කරන්න. දැන් ඔබ සිටින ආසනයේම පහසු ඉරියව්වකින් කොන්ද කෙලින් තබාගෙන දෑස් මදක් පියා ගන්න. ඔබේ නාසයේ අගට සිත යොමුකරන්න. විනාඩි කීපයක් අවධානයෙන් බලන්න. නාසය අගින් ඇතුල්වන වායුව හා පිටවන වායුව නාසයේ එක සිදුරකින් පමණක් ගමන්කරන බව ඔබට වැටහෙනවා ඇත.
මේ අභ්‍යාසය දවසකට දෙතුන් වතාවක් කර බලන්න. නාස් පුඩු දෙක මාරුවෙන් මාරුවට හුස්ම ගැනීම හා පිටකිරීම කරන බව ඔබට අවබෝධ වෙනු ඇත. නාසයේ සිදුරු දෙකක් ස්වභාවිකව පිහිටා ඇත්තේ යම් විශේෂ හේතුවක් මතම වියයුතු බව මෙයින් පෙනී යයි.
මෙම ශ්වසන ක්‍රියාවලිය පදනම් කරගත් නැකත් හා තත්කාල ශාස්ත්‍ර ක්‍රම පිළිබඳව “දෛවඥ කාමධෙනු”, “යාත්‍රා ප්‍රකරණය” ආදී පැරණි පොත්වල දීර්ඝ විස්තර තිබේ.
නාසයේ දකුණු පසින් හුස්ම ගමන් කරනවිට ඊට සම්බන්ධ නාඩියක් ශරීරයේ ඇත. ඒ සූර්ය නාඩියයි. එය පිංගලා නාඩිය යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ඒ අවස්ථාව සූර්ය නාඩිය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස දැක්වේ. නාසයේ වම් පසින් හුස්ම වැටෙන විට එයට චන්ද්‍ර නාඩිය හෙවත් ඉඩා නාඩිය ක්‍රියාත්මක වන්නේ යෑයි කියනු ලැබේ. සමහර අවස්ථාවක මේ නාඩි දෙකම එකට ක්‍රියා කරන හෙවත් නාස් පුඩු දෙකින්ම සමානව හුස්ම වැටෙන අවස්ථා තිබේ. එයට සුෂුම්නා නාඩි අවස්ථාව යෑයි කියනු ලැබේ.
නාඩි ක්‍රියාකරන වේලාවන් ද තිබේ. ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා යන දිනවල උදේ හිරු උදාවේ සිට පැයක කාලයක් නාසෙන් දකුණු පස සිදුරෙන් හුස්ම වැටේ. ඉන් පසුව පැයෙන් පැයට වම, දකුණ මාරුවෙමින් හුස්ම වැටෙනු ඇත, සඳුදා, බදාදා, සිකුරාදා යන දිනවල උදේ හිරු උදාව සිට පැයක් වම් පසින් හෙවත් චන්ද්‍ර නාඩිය ක්‍රියාත්මක වී පැයෙන් පැයට මාරු වෙනවා ඇත. මේ සිදුවිය යුතු ක්‍රමයයි. මේ ශාස්ත්රයේ නිපුනයකු වීමට නම් නාඩි වැටෙන ආකාරය ගැන ඔබට මනා දැනුමක් තිබිය යුතුය.
මෙය අපහසු දෙයක් නොවේ. වඩාත් සුදුසු වන්නේ උදෑසන අවදි වූ විට නාඩි පරික්ෂා කිරීමය. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ පිරිසිදු ජලය පමණක් පානය කර ඉන් පසුව භාවනා ඉරියව්වට වාඩිවීමයි. ඉන් පසුව නාසය අගට හිත යොමු කරන්න. ක්‍රියාත්මක වන නාඩිය හෙවත් පැත්ත අවබෝධ කර ගැනීම අපහසු නොවන්නේය.
එදිනෙදා ජීවිතයේ කරන බොහෝ දේ සඳහා ශුභ වේලාවන් නාඩි පරීක්ෂාව මගින්ම කළ හැකි වන්නේය. සූර්ය නාඩිය හා චන්ද්‍ර නාඩිය ක්‍රියාත්මක වන විට කිරීමට සුදුසු හා නුසුදුසු දේ පුරාණ ග්රන්ථ වල දක්වා ඇත. එතෙක් නාඩි දෙකම ක්‍රියාත්මක වන එනම්, සුෂුම්නා නාඩිය වැඩකරන විට කිසිදු ශුභ කටයුත්තක් කිරීම සුදුසු නැති බව කියා තිබේ.
විදේශ ගමන් පිටත්වීම, ගෘහාරම්භය, තෑගි දීම, විවාහය, උතුම් අය හමුවීම, බෙහෙත් ගැනීම, අලුතින් කටයුතු ආරම්භ කිරීම “ඉඩා” හෙවත් චන්ද්‍ර නාඩිය ක්‍රියාත්මක වන වේලාවල දී කරන්න. එය සාර්ථක වනවා ඇත.
අකුරු කියවීම, ඉගෙනීම, පොත් හා ලිපිලේඛන ලිවීම, සංගීත හා කලා කටයුතු, ව්‍යාපාර ආරම්භය, ගනු දෙනු කිරීම, සතුරන් මර්දනය යන කටයුතු දකුණු හෙවත් සූර්ය නාඩිය ක්‍රියාත්මක වනවිට කිරීමෙන් උසස් ප්‍රතිඵල ලැබේ.
ඉරිදා සිට දවසක් හැර දවසක් සූර්ය නාඩිය ක්‍රියාත්මක වන බවත් සඳුදා, බදාදා, සිකුරාදා යන දිනවල චන්ද්‍ර නාඩිය ක්‍රියාත්මක වන බවත් ඉහත දක්වන ලදී. පැයෙන් පැයට එය මාරු වෙයි. ඔබේ නාඩිය මෙහෙම වෙනස්ව ක්‍රියාකරයි නම් එදින ඔබට අශුභ දායක විය හැකිය. මේ නිසා අදාළ නාඩිය ක්‍රියාත්මක කළ යුතු වෙයි.
මේ සඳහා නියමිත නාස් සිදුර මාපටඟිල්ලෙන් වසා අනෙක් සිදුරින් තදින් ආශ්වාස කරන්න. ඉන් පසුව නියමිත සිදුරින් තදින් ප්රාශ්වාස කරන විට එය ක්‍රියාත්මක වනවා ඇත. තවද මීපැණි වැළඳීමෙන් දකුණු පසද, ගිතෙල් වැළඳීමෙන් වම් පසද ක්‍රියාත්මක වනවා ඇත.
ගමනක් යැමට ඇති විටෙක නළ දුවන පැත්තේ පාදය තුන්වරක් ඉදිරියට තබා පිටත්වෙන්න. ශුභ හෝරාවක් හෝ නැකතක් බලා මෙම ක්රමයද අනුගමනය කිරීමෙන් උසස් ප්‍රතිඵල ලැබීම නියතය.
නව යුවලක් පෝරුවේ තබන විට මනාලයාගේ වම්පසින් මනාලිය සිටුවා තබනු ලබන්නේ ද මෙම නාඩිවල ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන බව පෙනේ. මේ ආකාරයටම විවාහක යුවලක් නිදා ගත යුත්තේද සැමියා ගේ වම් අත පැත්තෙන් බිරිඳ සිටින ආකාරයෙනි. එවිට බිරිඳගේ වම් හෙවත් චන්ද්‍ර නාඩිය ද සැමියාගේ සූර්ය නාඩියද ක්‍රියාත්මක වේ. මෙය අෙන්‍යාaන්‍ය ආදරය අතිවීමටත් මනා ලිංගික සබඳතාවන් සඳහාත් හේතුවෙයි, වම් ඇලයට හැරී නිදන විට දකුණු නාඩියත්, දකුණට හැරී නිදන විට වම් නාඩියත් ක්‍රියාකරන බැවිනි.සැමියාට දකුණු පසින් බිරිඳ නිදාගන්නාවිට ඒ දෙදෙනාගේ ආදරයට හා ලිංගික ජීවිතයේ සාර්ථකබාවයට බාධා පැමිණෙනු ඇත. මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඔබේ එදිනෙදා ජීවිතයේ සාර්ථක භාවයට “නාඩි ශාස්ත්‍රය” කෙතරම් උපකාර වන්නේ දැයි සිතා බලන්න.අවසන් හුස්ම වැටෙන අවස්ථාව හෙවත් මරණය සිදුවන කාලය දැන ගැනීමට ද නාඩි ක්‍රියාකරන ආකාරය පරීක්ෂා කළ හැකිය.
කෙනෙකුගේ ශ්වසනය දකුණු හෝ වම එනම් නාඩියකින් පමණක් සිදුවන්නේද එසේ නොකඩවා පැය 6 ක් නම්ද ආයුෂ වර්ෂ 50 කි. පැය 12 ක් නම් ආයුෂ වර්ෂ 25 කි. පැය 18 නම් ආයුෂ වර්ෂ 12 කි. සම්පූර්ණ දවසක් එකම නාඩියක් ක්‍රියාකරයි නම් ආයුෂ වර්ෂ 10 කි. එමෙන්ම දින 28 ක් එකම නාඩියක් ක්‍රියාත්මක වන්නේ නම් ඔහු හෝ ඇය ඉදිරි දින දහයකට පසුව අවසන් හුස්ම හෙලනු ඇත.අපි උපන්දා සිට මරණය දක්වා නොකඩවා කරන හුස්ම ගැනීම ගැන විශේෂ අවධානය යොදා පරික්ෂාවෙන් සිටින්නේ නම් කළ හැකි බොහෝ දේ තිබෙන බව මෙම කරුණු සැලකිල්ලට ගත් විට පෙනේ. එහෙත් ඒ අවසානය නොවේ. චිත්ත සමාධිය උපරිම තලයකට පත්කර උසස් ඥනයක් ලබා උතුම් වූ නීර්වාණය අවබෝධ කර ගැනීම දක්වා එය දියුණු කර ගත හැකිවනු ඇත.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here