Friday, September 12, 2025
Homesiග්‍රහයින්ගේ බල දුබලකම් හදුනාගන්න

ග්‍රහයින්ගේ බල දුබලකම් හදුනාගන්න

[ratings]

ග්‍රහයින්ගේ තත්ත්වය එනම් බල දුබලකම් වැඩි වශයෙන් ගෙන දෙන්නේ උපතේදී අදාළ ග්‍රහයා සිටි භාවය, රාශිය දෘෂ්ටි, එකතුවීම් ආදී කරුණු මුල්කරගෙන මෙන්ම වාරයේදී ගමන් කරන අවස්‌ථා ගැන කෙරෙහිද ඇතිවන බලපෑම් අනුවය. යම් ග්‍රහයෙකු ශුභ ස්‌ථානයක, රාශියක, ශුභ දෘෂ්ටි, සංයෝගව සිටියේ නම් ගෝචරයේදී අශුභ තත්ත්වයන් උදාකරන ස්‌ථානයක ගමන් කළද එතරම් අගුණදායක තත්ත්වයක්‌ උදාවන්නේ නැත. එමෙන්ම එකී ග්‍රහයා උපතේදී රාශි භාව, දෘෂ්ටි සංයෝග ආදියෙන් අශුභ තත්ත්වයකින් හෝ දුර්වලව හෝ සිටි විට ශුභ ඵල ගෙන දෙන ස්‌ථානයක ගමන් කරද්දී වුව ශුභ ඵල අපේක්‍ෂා කිරීම උගහටය.

ග්‍රහයින් රාශීන් සමග සම්බන්ධ වීමේදී ලග්නයට, රාශියට ප්‍රධාන ග්‍රහයෙකු සිටී. ඔහු ලග්නාධිපති ලෙස සැලකේ. මේ අනුව මේෂ ලග්නයට සහ වෘශ්චික ලග්නයට අධිපති වන්නේ කුජ නොහොත් අඟහරු ග්‍රහයාය. වෘෂභයට සහ තුලාවට සිකුරුය. මිථුනයට සහ කන්‍යාවට බුධයි. කටකයට සඳුය. සිංහයට රවි ග්‍රහයාය. ධනු මීන ලග්න දෙකට ගුරු නොහොත් බ්‍රහස්‌පතීය. මකර කුම්භ ලග්න දෙකට ශනි (සෙනසුරු) ග්‍රහයායි. රාශියට අධිපති ග්‍රහයා එකී රාශියේම සිටීමෙන් එය ස්‌වක්‍ෂේත්‍ර බලයකි. උදාහරණයක්‌ ලෙස මේෂ රාශියේ හෝ වෘශ්චික රාශියේ (01) හෝ කුජ සිටීම ස්‌වක්‍ෂේත්‍ර බලයකි. එසේම ස්‌වක්‍ෂේත්‍ර බලයට අමතරව ග්‍රහයින් උච්ච නීච, මිත්‍ර සතුරු, ආදී විවිධ අයුරින් ග්‍රහයින් බලයට පත්වේ. රවි උච්ච වන්නේ මේෂ රාශියටයි. සඳු වෘෂභයටයි. කුජ මකර රාශියටයි. බුධ කන්‍යාවට උච්ච සේම ස්‌වක්‍ෂේත්‍රද වේ. ගුරු උච්ච වන්නේ කටකයටයි. සිකුරු මීනයටද ශනි තුලාවටද උච්චවේ.

රවිට මිතුරු ග්‍රහයින් ලෙස සැලකෙන්නේ චන්ද්‍ර, කුජ, ගුරු සහ කේතුය. සඳුට මිත්‍ර වන්නේ රවි, බුධ, රාහු ග්‍රහයින්ය. කුජට රවි, චන්ද්‍ර, ගුරු, කේතු මිත්‍ර වෙති. බුධ ග්‍රහයාට රවි, සිකුරු මිතුරුවේ. ගුරුට, රවි, චන්ද්‍ර, කුජ, කේතු යන ග්‍රහයන් මිත්‍රවේ. සිකුරු ග්‍රහයාට බුධ, ශනි, රාහු ග්‍රහයින් මිත්‍රවේ.

රවිට සතුරු ග්‍රහයින් වන්නේ සිකුරු සහ ශනි ග්‍රහයින්ය.

සඳුට කිසි ග්‍රහයකු සතුරු නැති අතර කුජට බුධ රාහු සතුරු වෙති. බුධට සඳු සතුරුවේ. ගුරුට සතුරු වන්නේ බුධ සහ සිකුරු ග්‍රහයින් දෙදෙනාය. සිකුරු ග්‍රහයාට රවි, චන්ද්‍ර දෙදෙනා සතුරුවේ. සෙනසුරුට සතුරු වන්නේ රවි, චන්ද්‍ර, කුජ යන ග්‍රහයින්ය. රාහුට සතුරු ග්‍රහයින් ලෙස සැලකෙන්නේ රවි, චන්ද්‍ර, කුජ ග්‍රහයින්ය. කේතුට සතුරු වන්නේ සිකුරු සහ ශනි ග්‍රහයින් දෙදෙනාය.

ස්‌වක්‍ෂේත්‍ර හා උච්ච ග්‍රහයින් ලබාදෙන පලාඵල විමසීමේදී කේන්ද්‍රයේ 01 සිට 12 දක්‌වා වූ ස්‌ථාන 01. ලග්නස්‌ථානය, (ගතිගුණ), 02. ධනස්‌ථානය (ධනය), 03. සහජස්‌ථානය නොහොත් සහෝදරාදීන් ගැනද, 04. බන්ධුස්‌ථානය (දේපළ), 05. පුත්‍රස්‌ථානය (දරුවන්), 06. සතුරු ස්‌ථානය (රෝග), 07. කලත්‍ර නොහොත් විවාහස්‌ථානය, 08. මරණය (මාතපු ස්‌ථානය), 09. භාග්‍ය ස්‌ථානය නොහොත් වාසනාව, 10. කර්මස්‌ථානය නොහොත් රැකියාව ගැන, 11. අයස්‌ථානය හෙවත් ආදායම් තත්ත්වය, 12. වැය ස්‌ථානය නොහොත් වියදම යන ස්‌ථානවල නියෝජනය වී සිටින ග්‍රහයා ගැන සොයා බැලිය යුතුවේ.

උච්ච ග්‍රහයා ලග්නයේ (01) නොහොත් ගතිගුණ දක්‌වන ස්‌ථානයේ සිටීමෙන් ශරීරයේ හැඩරුව, ශක්‌තිය, තත්ත්වය, වාසනා ගුණය වැනි කරුණු පිරික්‌සේ. ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් ලග්නයේ (01) ග්‍රහයා සිටිවිට රවි, කුජ නම් කාර්ය ශූර නිර්භීත මෙන්ම ආත්මාර්තකාමී බවක්‌ දනවයි. උච්ච ග්‍රහයෙකු කේන්ද්‍රයේ 2 වැන්නේ සිටීනම් ධනවත් ස්‌ථිර දේපළක්‌ හිමි අයකු වෙයි. 02 වැන්නේ ග්‍රහයෙකු ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටීම නිසා, සකසුරුවම, ඉතිරිකර ගැනීමේ හැකියාව ඇති කරයි. 3 වැන්නේ යම් ග්‍රහයෙකු ස්‌වක්‍ෂේත්‍රව හෝ උච්චව සිටි විට සහෝදරාදීන්ගෙන් අධ්‍යාපන කටයුතුවලින්, ලේඛන කටයුතු ආදියෙන් පරිපූර්ණ වේ. එසේම තම පරම්පරාව, ජාතිය, ආගම ගැනද නිතර සිතා මතා කටයුතු කරයි. කේන්ද්‍රයේ සිව්වැනි ස්‌ථානයෙන් දේපළ නිවාස, මෑණියන් ගැන කියෑවේ. නෑදැයින් ගැනද 4 වැන්නෙන් තතු සොයා බැලේ. 4 අධිපති ග්‍රහයා ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් හෝ 4 වැන්නේ උච්ච ග්‍රහයකු හෝ සිටීමේදී ඉඩකඩම් දේපළ ලැබීමට මාර්ග සැලසේ. 4 වැන්න හිමි අධිපති ග්‍රහයා සමග බ්‍රහස්‌පතිද සිටිම ඉතාමත් භාග්‍යවන්ත පිහිටීමකි. මේනිසා පෝසත් අයකු වීම අනිවාර්යවේ. 10 වැන්න අධිපති ග්‍රහයා 4 වැන්නේ සිටීමත් 4 අධිපතියා 10 වැන්නේ සිටීමත් නිසා මව් පිය පරම්පරාගත දේපළ ලබන අතර ගමේ පවුලේ නෑයින් අතර මෙන්ම සමාජයේද පිළිගත් අයකු වන්නේය. ලග්නය කටකවී සඳු 4 වී නම් තම මවට බොහෝ සේ ආදරය කරයි. කොහොම නමුත් දේපළ ඇති අයකු වන්නේය.

කේන්ද්‍රයේ 5 වැනි ස්‌ථානයෙන් කියෑවෙන්නේ දරුවන් ගැන සේම සතුට, විනෝදය සාහිත්‍ය කලා කටයුතු ආදිය ගැනයි. 5 වැන්න අධිපති ග්‍රහයා 5 වැන්නේම උච්ච වී සිටීම ඉතාමත් ශුභදායකයි. දරුවන් උසස්‌ බුද්ධිමත් අය වන අතර සමාජයේ පළිගැනීමක්‌ ඇතිවේ. උපන් තත්ත්වයට වඩා දියුණුවේ. 5 වැන්න අධිපති ග්‍රහයා 8 වැන්න අධිපති ග්‍රහයා සමග සිටී නම් දරුවන්ගේ දියුණුව හීනවේ. 5 අධිපති ග්‍රහයා 6 සිටිමේදී අධ්‍යාපන කටයුතුවලට බාධක යෙදේ. එහෙත් 5 අධිපතියා 10 සිටි විට ඉගෙනීම් කටයුතුවලට ඉතා ශුභ දායකයි. කේතු 5 සිටීමද ඉගෙනීමට දක්‍ෂතා දක්‌වයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments