[ratings]
රවි – චන්ද්‍ර – කුජ – බුද – ගුරු – ශුක්‍ර – ශනි – රාහු – කේතු යන නවග්‍රහයින්ගේ බලය මිනිසා ඇතුළු සියලු සත්ත්වයාටම මේ මිහිමඬල තුල දෛවය සකස් කරයි. තම තමන් මේ භවයට එන්නට පෙර කුමන ආකාර භවයන් තුළ සිටියේද? කුමන ආකාරයේ යහපත් අයහපත් දේ සිදු කෙළේද? ඒ ඒ අනුව මෙලොවදී ප්‍රතිඵල අත්වීම “කම්ම නියාමය” අනුව සිදුවෙයි. මෙම නියාමයන් පණගැන්වෙන්නේ නොපෙනෙන නොදැනෙන නොඇසෙන විශ්ව ශක්‌ති මගිනි. මේ විශ්ව ශක්‌ති යනු කුමක්‌ද?
සූර්යා විශ්ව නායකයාය. විශ්වය තනන්නාය. සූර්යා ප්‍රධාන කොට ගත් සඳු – කුජ – බුද – ගුරු – ශුක්‍ර – ශනි – රාහු කේතු ආදී ග්‍රහ ලෝකද තමා වටා කරකැවෙමින් සූර්යා වටා නොනිමෙන කවාකාර ගමනක යෙදී සිටී. සූර්යාගේ යුරේනියම් ශක්‌තිය දවාලමින් විශ්වය පුරා ආලෝකය පැතිරෙයි. ඉහතකී ග්‍රහයින් මතට මේ ආලෝකය පතිත වෙයි. මේෂ – වෘෂභ, මිථුන – ආදී වශයෙන් විශ්වයේ අංශක 30 බැගින් තරු පංති 12 කට බෙදී පවතී. මේ රාශි අතර එකකට දෙක හමාර බැගින් අස්‌විද – බෙරණ කැති – රෙහෙණ – මුවසිරස ආදී වශයෙන් නැකැත් 27 ක්‌ද පවතී. මෙම රාශි සහ නැකැත් අතර ග්‍රහලෝක කරකැවෙමින් ගමන් කරයි.
මේ ගමන් කිරීමේදී සූර්යාලෝකය රාශි – නැකැත් – සහ ග්‍රහයින්ට පතිත වේ. මෙසේ වීමේදී එම රාශි නැකැත් වලට මිශ්‍ර වන සූර්යාලෝකය ග්‍රහලෝක මත පතිතව ඒ සියල්ල තුළින් විවිධ ගුණාංග මිශ්‍රව ආපසු පරාවර්තනය වී විශ්වය පුරා ගලායයි. ග්‍රහයින් ගමන් ගන්නා රාශිවල අංශකයෙන් අංශකයට සූර්ය ලෝකයේ සූක්‍ෂම කොටස්‌වල ගුණාංග වෙනස් වෙයි. ඒවා විශ්වය පුරා පැතිරෙන්නේ විවිධ ගුණාංග කලින් කලට වෙනස් වෙමිනි. අප ජීවත් වන මිහිමඬලටද ඒවා කලින් කලට වෙනස් වෙමින් පතිත වේ. මේ පතිත වන සූර්යාලෝකයේ ඇති සූක්‍ෂ්ම කොටස් නොපෙනෙන – නොදැනෙන – නොඇසෙන -ශක්‌ති සමූහයකි. කිරණ සමූහයකි. මේවා විශ්ව ශක්‌ති නම්වේ. ප්‍රබල ස්‌වයංක්‍රීය ක්‍රියා කාරිත්වයක් සහිතය. අරලිය මලට සුදුපාට පෙති පහකුත් මැදට කහ වර්ණයත් මනමෝහනීය සුවඳත් – නෙත් පිනන අලංකාරයත් ඇති වූයේ ඒ විශ්ව ශක්‌තීන්ගේ ස්‌වයං ක්‍රීය ක්‍රියාකාරිත්වයෙනි.
මේ සැලසුම් සහගත සොබාදහමේ කිරණ ජාලය යට මිනිස් ලොව සියලු ක්‍රියාකාරකම් ඇතිවෙයි. සූර්යාගෙන් ජීවය – පෝෂණීය ගුණය ලබාගත් තුරුලතා මහ පොළොව මත වියනක් ලෙස පවතී. එසේ සූර්යාගෙන් ජීවය – පෝෂණය ලබාගන්නා තුරු ලතාවෝද ඔවුන් තුලින් හටගන්නා තවත් ප්‍රබල කිරණ විශේෂයන් විශ්වයට මුදා හරිමින් සිටී.
ජ්‍යෙdතිෂය බිහි කළ පුරාණ සෘෂිවරු මනස දියුණු කොට මෙකී හැම කිරණයකම ස්‌වභාවයන් අවබෝධ කළෝය. විවිධ ග්‍රහ ලෝකවල කැරකෙමින් සිදුවන ගමනේ සිදුවන විවිධ වෙනස්‌කම් මිනිසාට බලපාන අන්දම සොයා බැලූහ. අනවරාඝ්‍ර සසරේ විවිධාකාර ආත්ම වලින් එකතු වූ පව් – පිං දෙක සෑම මිනිස් විඤ්ඤාණයක් තුලම තැන්පත්ව පවතී. (මේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළ විස්‌තර විභාගවේ) ඒ ඒ ගුණාංග සහිත කිරණ මිනිස් සිරුරට ඇතුළු වී මනසේ සූක්‍ෂම කොටස වූ විඤ්ඤාණයට යම් අවදිකිරීමක් බලගැන්වීමක් සිදු කරයි.
එයින් අවදිවන්නේ පෙර කළා වූ පිනක් නම් චුම්භක ශක්‌තිය, ඇදගැනීමට ශක්‌තියක් ජන්මියා තුල ඇති කරයි. එයට ඇදී එන්නේ සැපයයි. එනම් වස්‌තු මිල මුදල් ආදී දේවල් ලැබීමය. ලෞකික දියුණුවට හේතු වන සියල්ලය. එය ග්‍රහයින්ගෙන් සුබඵල ලෙස දක්‌වයි.
පෙර පවක් අවදිවේනම් ඇති කරන චුම්භක හෙවත් ඇද ගැනීමේ ශක්‌තිය වන්නේ පාප විපාකයයි. ලෙඩදුක් – ධනහානි – දිළිඳුකම බලාපොරොත්තු කඩවීම අවහිර – බාධක – විපත් ආදියයි. එවිට ඒවා ග්‍රහයින්ගෙන් පැමිණෙන අපල ලෙස දක්‌වයි. මේ ක්‍රියාකාරිත්වය එදා මෙන් අදටත් වලංගුය.
ඒ ඒ පුද්ගලයාට උත්පත්ති අවස්‌ථාවේ හිස මව්කුසින් මෙලොවට අවතීර්ණ වන මොහොතේ ඒ ඒ ග්‍රහයින් ගමන්ගත් රාශි නැකැත් අංශක – ගණන් අනුව ඔහුගේ දෛවයේ ආරම්භක අවස්‌ථාව ජනක කර්මයාගේ ස්‌වභාවයට සකස් වෙයි. හිස මව්කුසින් එළියට බිහි වන මොහොතේ සිටම මෙම කිරණ ජාලය කෙලින්ම සම්බන්ධ වේ. එතැන් සිට විංශෝත්තරී මහ දශා අන්තර්දශා විදසා සූක්‍ෂ්ම දශා නේත්‍රපානී දශා වශයෙන ගතවන තප්පර විනාඩි – පැය – දින සති මාස අවුරුදු වශයෙන් මේ විශ්ව කිරණ ජාලයේ ක්‍රියාකාරීත්වය ඒ ජන්මියාට ඒ ඒ ග්‍රහ ලෝක යටතේ සම්බන්ධ වේ.
ඒ අනුව පින සම්බන්ධ වීමේදී සුබඵලත් පව සම්බන්ධ වීමේදී අශුබ ඵල හෙවත් අපලත් මිනිසාට ලැබේ. අපල ඇතිවීමේදී මිනිසා දුකට විපතට පත්වන බැවින් එයින් මිදීමට ඇති හැකියාව කුමක් දැයි සෘෂිවරු සොයා බැලූහ. ඒ අනුව විශ්ව කිරණ ජාලය යට වියනක් බඳු වූ ගස් වැල් වලින් යම් සහනයක් ලැබෙන බව ඔවුන් aදුටුවේය.
ඒ අනුව සූර්යා හෙවත් රවිගෙන් අශුභ කිරණ (අපල) ඇති වන විට ඉඹුල් වෘක්‍ෂයෙන් පිටවන කිරණය එය විනාශ කර දමන අයුරුත් සඳුගෙන් අපල ඇති වන විට දිඹුල් වෘක්‍ෂයෙන් පිටවන කිරණයෙන් එය විනාශ කර දමන බවද අවබෝධ කරගත්හ.
ඒ අනුව කුජ අපලයට කොළොන් වෘක්‍ෂයද – බුද අපලයට කොහොඹ වෘක්‍ෂයද – ගුරු අපලයට බෝ වෘක්‍ෂයද – සිකුරු අපලයට කරඳ වෘක්‍ෂයද – සෙනසුරු අපලයට නුග වෘක්‍ෂයද – රාහු අපලයට වැටකෙයා වෘක්‍ෂයද – කේතු අපලයට කෙසෙල් ගසද ප්‍රත්‍යක්‍ෂ ගුණ ලබාදී අපල දුරු කරන බව දැනගත්හ.
පෙර කාලවල වනාන්තර බහුලව පැවතුන කාලයක් වේ. මං මාවත් පවා වනාන්තර මැදින් වැටී තිබුණි. ජනාවාස අසල තුරුලතාවන් ගහනව තිබුණි. එනිසා පුරාණයේ ජීවත් වූ මිනිසුන්ට ඉහත කී ගස්‌වල කිරණ ශක්‌ති නිරන්තර මිනිස් සිරුරට සම්බන්ධ විය. එනිසා ඔවුන් ග්‍රහ අපල තත්ත්වයන්ගෙන් නොදැනීම යම් ආරක්‍ෂාවක් ලබාගත්හ. අද වන විට ඒ තත්ත්වයන් වෙනස් වී ගොසිනි. ගස්‌කොළන් ශුන්‍ය භාවයට පත්ව කොන්ක්‍රීට් ඉදිකිරීම් බලවත් වී පවතී. එනිසා ඉහත කී ග්‍රහ බල මැඩ පවත් වන්නට එකී අපල කාලවල ඒ අදාල ගස්‌වලට සාත්තු කිරීමට ස්‌පර්ශ කිරීමට පමණක් උපදෙස් ලැබේ.
ඒ ගස් සොයාගැනීමට පවා අමාරු තත්ත්වයකට අද වන විට පත්ව තිබේ. ඒ තරමට එකී ගස්‌වර්ග මිහිතලයෙන් වඳවෙමින් පවතී.
අපල යනු පෙර පව්වලට ලැබෙන විපාකයකි. බලාපොරොත්තු බිඳීයාම – නොසිතු අයහපත් දේ සිදුවීම – ලෙඩදුක් – අවහිර – බාධා – විපත් – විවිධ කරදර ඇති වීමය. ඒවා විශ්ව ශක්‌ති මගින් පූර්ණ වශයෙන් දුරුකළ නොහැක. යම් කාලයක මැඩ පැවැත්වීමක් පමණි. වැස්‌සට නොතෙමී කුඩයක් ආවරණය කර යන යාමත් බඳුයි. යළිත් කෙදිනකදී හෝ ඒපව විපාක දෙන්නේය. ඒවා මුළුමනින් නැති කළ හැක්‌කේ මනස අධික තෘෂ්ණාවෙන් – වෛර – ක්‍රෝධ – ඉරිසියාව වැනි මානසික අවධර්මයන් හැකිතාක් දුරුකොට ධර්මයට අනුව පංචශීලයෙන් යුක්‌ත මනසක් නිර්මාණය කරගත හැකි දිනය කවදාද අන්න එතැන් සිටය.
We found this article from Divaina on 2012/06/29.
Also Sinhala to English Google word to word translation can be found here