Friday, September 12, 2025
Homesiදන්දීමේ අනුසස්‌

දන්දීමේ අනුසස්‌

[ratings]

දන්දීමේ දී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට දන් දීම මහත්ඵල වෙයි.

බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට දන් දීමට වඩා සතර දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා විහාරයක්‌ කරවා පිදීම මහත්ඵල වෙයි.

සතර දිගින් වඩින මහාසංඝරත්නය උදෙසා විහාරයක්‌ කරවා පිදීමට වඩා යමෙක්‌ පහන් සිතින් යුතුව බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය සරණ යන්නේ නම්, එය ම මහත්ඵල වෙයි.

යමෙක්‌ තිසරණයෙහි පිහිටා පහන් සිතින් යුතුව, සතුන් මැරීමෙන් වැළකී – සොරකම් කිරීමෙන් වැළකී – කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකී – බොරු කීමෙන් වැළකී – මත්පැන්/ මත්ද්‍රව්‍ය පරිහරණයෙන් වැළකී පන්සිල් ශික්‍ෂාපදයන් සමාදන් වෙයි ද එය පහන් සිතින් තෙරුවන් සරණ යැමටත් වඩා, මහත්ඵල වෙයි.

එසේම යමෙක්‌ සුවඳක්‌ සිඹින කාලය තරම් ස්‌වල්ප මොහොතක්‌ මෙත් සිත වඩයි ද එය පහන් සිතින් යුතු ව පන්සිල් රැකීමටත් වඩා මහත්ඵල වෙයි.

විදර්ශනා භාවනාව

භාග්‍යවතුන් වහන්සේ අනාථපිණ්‌ඩික සිටුතුමාණන්ට දේශනා කොට වදාරා ඇත්තේ දානයට වඩා ශීලය ද ශීලයට වඩා සමථ භාවනාව ද එයටත් වඩා විදර්ශනා භාවනාව ද ආනිසංසදායක බවය.

දුසිරිතේ විපාක

කෙනකු විසින් මතක තබා ගත යුතු වැදගත් කරුණක්‌ අංගුත්තර – දසකනිපාතයේ ජාණුස්‌සෝණි සූත්‍රයෙහි සඳහන් වේ. එහි දැක්‌වෙන්නේ කයින්,වචනයෙන් හා සිතින් දුසිරිතෙහි යෙදෙමින් ආහාරපානාදිය දන් දෙන තැනැත්තා එම දුසිරිත් හේතුවෙන් මරණින් මතු ඇත්, අස්‌ සුනඛ බඳු තිරිසන් සතෙකු ලෙස උපත ලැබිය හැකි බවත්, නමුත් පෙර දන් දුන් නිසා සෙසු තිරිසන් සතුන්ට වඩා සැප සේ වසන බවත්, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ඇති බවය.

සුර සැප

එසේම කයින් වචනයෙන් හා සිතින් සුචරිතයෙහි යෙදෙමින් දන් දෙන තැනැත්තා එම සුචරිතය හේතුවෙන් මරණින් මතු දිව්‍ය- මනුෂ්‍ය සුගතීන්හි උපත ලබන බවත් පෙර දන් දුන් නිසා සෙසු දිව්‍ය-මනුෂ්‍යයන්ට වඩා සැප සේ වසන බවත් බුදුන් වහන්සේ වදාරා ඇත.

දුසිරිතෙන් වැළකී

ඒ නිසා දන් දෙන පින්වත්හු දුසිරිතෙහි වැළකී සිල්වත් දිවිපෙවෙතක්‌ ගත කරමින් දානාදි පින්කම් කිරීමෙන් මහත් ඵල ලැබේ.

දාන පින්කම් 14

භාග්‍යවතුන් වහන්සේ කෙනෙකුට පෞද්ගලික ව පිරිනැමිය හැකි දාන 14 (දාහතරක්‌) පිළිබඳව වදාරා ඇත. එම දාන 14 නම්á

01. ජීවමාන බුදුරජාණන් වහන්සේට පෞද්ගලික ව පූජා කරන දානය.

02. අබුද්ධෝත්පාද කාලවල දී පසේබුදුවරුන් වහන්සේලා වෙත පූජා කරන දානය.

03. රහතන් වහන්සේලාට පෞද්ගලික ව පූජා කරන දානය.

04. රහත් ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන් උතුමන්ට පෞද්ගලික ව පූජා කරන දානය.

05. අනාගාමී උතුමන්ට පෞද්ගලික ව පූජා කරන දානය.

06. අනාගාමී ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන් උතුමන්ට පෞද්ගලික ව පූජා කරන දානය.

07. සකදාගාමී උතුමන්ට පෞද්ගලික ව පූජා කරන දානය.

08. සකදාගාමී ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන් උතුමන්ට පෞද්ගලිකව පූජා කරන දානය.

09. සෝතාපන්න උතුමන්ට පෞද්ගලික ව පූජා කරන දානය.

10. සෝතාපත්ති ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන් උතුමන්ට පෞද්ගලික ව පූජා කරන දානය.

11. මේ ශාසනයෙන් බැහැර කාමයන්හී වීතරාගී වූ තපස්‌වීන්ට දෙන දානය.

12. පෘථග්ජන සිල්වතුන්ට පෞද්ගලික ව දෙන දානය.

13. පෘථග්ජන දුශ්ශීලයන්ට පෞද්ගලික ව දෙන දානය.

14. තිරිසන් සත්ත්වයන්ට දෙන දානය.

මේ ආකාරයට ඕනෑම කෙනෙකුට පෞද්ගලික දානයන් පිරිනැමීමට ඒ ඒ කාලවල දී හැකියාව තිබෙන බවට කරුණු ධර්මයේ සඳහන් වේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments