Friday, September 12, 2025
Homesiදොළොස්‌ රැස්‌ බල වඩන නවග්‍රහ රැස්‌ බලය

දොළොස්‌ රැස්‌ බල වඩන නවග්‍රහ රැස්‌ බලය

[ratings]

පුරාණ භාරත දේශයේ වාසය කල අභිඤ්දාලාභීව සිත දියුණු කළ සෘෂිවරු තම අත්දැකීම් සහ ඉතා සූක්‍ෂම ලෙස නිවැරැදිව යොමු කළ සිතුවිලි අනුව එදිනෙදා කටයුතු සාර්ථක කරගැනීමට පහසු ක්‍රම අනුගමනය කළහ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ග්‍රහතරු වල පිහිටීම අනුව ඒවා රාශි වශයෙන් සලකා ඒවායේ අධිපතිත්වය දරන ග්‍රහයන් ඇති බවද අවබෝධ කරගත්හ. රාශි නාමයක්‌ සහ ග්‍රහයින්ගේ නාමයන් භාවිතයට පුරුදු වූයේ ඉන් පසුවය. රාශි දොළසක්‌ සහ ග්‍රහයන් නම දෙනෙක්‌ ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රානුකූල සිද්ධාන්තවල සඳහන් වන්නේ සෘෂිවරු අනුගමනය කළ පහසු ක්‍රමයන්ගේ ප්‍රතිඵල වශයෙනි. මෙම නවග්‍රහයන් විහිදුවන රශ්මි ධාරාවෝ දොළොස්‌ රැසෙහි ක්‍රියාත්මක වන ස්‌වභාව උච්ච, නීච, සම, මිත්‍ර, සතුරු සහ ස්‌වක්‍ෂේත්‍ර බල වශයෙන් හඳුන්වා ඇත.

රවි ග්‍රහයා මේෂ රාශියේදී උච්ච වෙයි. තුලා රාශියට නීච වෙයි. වෘෂභ, මකර, කුම්භ රාශිවලට සතුරු වෙයි. මිථුන, කටක, කන්‍යා රාශිවලටද සතුරු වෙයි. ධනු, මීන රාශිද්වයේදී මිත්‍ර වන අතර සිංහ රාශියට ස්‌වක්‍ෂෙත්‍ර වෙයි. සඳු ග්‍රහයා වෘෂභ රාශීයේදී උච්ච වෙයි. වෘශ්චික රාශියේදී නීච වන අතර සිංහ, මකර රාශිවලදී සතුරු වෙයි. මේෂ, තුලා රාශී වලදී සම ස්‌වභාවයෙන්ද, මිථුන, කන්‍යා, ධනු, කුම්භ, මීන රාශිවලදී මිත්‍ර ස්‌වභාවයෙන්ද පවතී, කටක රාශියේදී ස්‌වක්‍ෂෙත්‍ර වෙයි. කුජ ග්‍රහයා මකර රාශියේ දී උච්ච වෙයි. කටක රාශියේදී නීච වෙයි. සිංහ, ධනු, කුම්භ, මීන රාශිවලදී සතුරු වන අතර මේෂ, වෘශ්චික රාශිද්වයේදී ස්‌වක්‍ෂේත්‍ර වෙයි. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා රාශිවලදී මිත්‍ර වෙයි. බුධ ග්‍රහයා මිථුන, කන්‍යා රාශිවලදී ස්‌වක්‍ෂේත්‍ර වන අතර කන්‍යා රාශියේදී උච්ච ස්‌වභාවයෙන්ද පවතී. මීන රාශියේදී නීච වෙයි. සිංහ රාශියේදී පමණක්‌ සතුරු වන අතර මේෂ, වෘෂභ, කටක, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ රාශිවලදී මිත්‍ර වෙයි. ගුරු කටක රාශියේදී උච්ච වෙයි. මකර රාශියේදී නීච වන අතර මේෂ, වෘශ්චික රාශිවලදී සතුරු වෙයි. වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, තුලා, කුම්භ රාශිවලදී මිත්‍ර වන අතර ධනු, මීන රාශිද්වයේදී ස්‌වක්‍ෂේත්‍ර වෙයි. සිකුරු ග්‍රහයා මීන රාශියේදී උච්ච වෙයි. කන්‍යා රාශියේදී නීච වන අතර කටක, සිංහ රාශිවලදී සතුරු වෙයි. වෘෂභ, තුලා රාශිවලදී ස්‌වක්‍ෂේත්‍ර වන අතර මිථුන, වෘශ්චික, ධනු, මකර, කුම්භ රාශිවලදී මිත්‍ර වෙයි. සෙනසුරු ග්‍රහයා තුලා රාශියේදී උච්චවෙයි. මේෂ රාශියේදී නීච වන අතර කටක, සිංහ, වෘශ්චික රාශිවලදී සතුරු වෙයි. මකර, කුම්භ රාශිවලදී ස්‌වක්‍ෂේත්‍ර වන අතර වෘෂභ, මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලදී මිත්‍ර වෙයි. රාහු ග්‍රහයා වෘෂභයේදී උච්ච වන අතර මිථුන, කටක රාශිවලදී මූල ත්‍රිකෝණ වෙයි. මේෂ රාශියේදී මිත්‍ර වන අතර සෙසු රාශි වලදී සම ස්‌වභාවයෙන් පවතී. කේතු ග්‍රහයා වෘශ්චික රාශියේදී උච්ච වෙයි. ධනු හා මකර රාශි මූල ත්‍රිකෝණ වෙයි. සෙසු රාශිවලදී සම ස්‌වභාවයෙන් පවතී.

රාශිගත වීම අනුව විවිධ ස්‌වරූප ගන්නා ග්‍රහයෝ ප්‍රභේද අනුව වර්ගී කරණය වන රාශි බල අනුව නෛසර්ගික මිත්‍ර, සතුරු සහ මධ්‍යස්‌ථ බලයෙන්ද, තත්කාලීන වශයෙන්ද වෙනස්‌කම් පෙන්වන බව ජ්‍යෙතිෂ සිද්ධාන්තවල සඳහන්ව ඇත. චර, තිර, උබය වශයෙන්ද, පුරුෂ, ස්‌ත්‍රී වශයෙන්ද, ක්‍රෑර, සෞම්‍ය වශයෙන්ද, විෂම. සම වශයෙන්ද, ධාතු, මූල, ජීව වශයෙන්ද, ද්වාර, භාහිර, ගර්භ වශයෙන්ද, ප්‍රභේද වන රාශිවල ස්‌ථානගත ග්‍රහයන්ගේ ස්‌වභාවයද විවිධාකාර ගුණයෙන් යුක්‌ත වෙයි. එබැවින් භාව සහ රාශි වල පිහිටන ග්‍රහයන් අනුව උදාවන යෝග ඵල ප්‍රකාශ කිරීම තරමක්‌ අසීරු කාරණයකි. සුබ ග්‍රහයෝගයක්‌ යයි ප්‍රකාශ කළ පමණින් පිළිගන්නා අයට ඉහතින් සඳහන් කළ ප්‍රභේද අනුව එම යෝග භංග වීමට හේතුවන කරුණු පිළිබඳ අවබෝධයක්‌ නොතිබීම එයට හේතුවයි. ඇතැම් ජන්ම පත්‍රවල බලවත් රාජ යෝග පවා භංග වී ඇති බවද සඳහන්ව ඇත. ලිපියේ මාතෘකාවට අදාළ නොවන බැවින් රාශි ප්‍රභේද සහ ග්‍රහයන්ගේ ස්‌වරූප පිළිබඳව මෙම ලිපියේ සඳහන් නොකරමි. එසේ වුවද බලවත් දුර්ලභ සම්පත් හිමිවන වාසනා යෝග පිළිබඳ අවධානය යොමු කරන අතරම ග්‍රහයන්ගේ ස්‌ථානගත වීම පිළිබඳවද විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රීය දැනුම ඇති අය මෙන්ම අල්ප දැනුම ඇති අය අතරද ජ්‍යෙතිෂයේ අවභාවිතය වළක්‌වාලීමට එය මහඟු පිටිවහලක්‌ වනු ඇත.

We found this article from Divaina on 2011/12/16.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments