[ratings]
දේව පූජා පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයක් ඇත. දේව පූජාවන් සඳහා පූජා ද්‍රව්‍ය සපයා ගැනීමේ සිට පූජා පුදකිරීම දක්‌වාම ඉතා පිරිසිදුව කළ යුතු වෙයි. පංචෝපචාරය ඇතුළු වෙනත් බොහෝ පූජා ක්‍රම දේව පූජාවනට අයත්ය.
දේව පූජාවන් සඳහා පූජාසනය මත පූජා ද්‍රව්‍ය තැන්පත් කිරීමද සැලැකිල්ලෙන් කළ යුතුය. පිරිසිදු පූජාසනය මත තැන්පත් කරන ද්‍රව්‍ය සිත් ප්‍රබෝධවන ආකාරයෙන් සිත් ඇදගන්නා ආකාරයෙන් සැරසිල්ලක් ලෙසින් තැන්පත් කළ යුතුය.
පරවුණු, බිම වැටුණු මල් සොහොන් බිම්වල මල් සහ විහාර බිම්වල මල් දේව පූජාවන් සඳහා නොගත යුතු ය. ගසින් නෙළා ගත් මල් ගසේ පිපී තිබෙන ආකාරයට පූජාසනය මත ක්‍රමානුකූලව තැන්පත් කිරීමට අමතක නොකළ යුතුය. දැකුම්කලු දෙයට දෙවියෝ ද ප්‍රිය කරති.
දෙවියනට කැපකර පිදූ පලතුරු, කිරිබත් ආදිය පූජාසනයෙන් ඉවතට ගත් පසු අසල සිටින්නන් හට අනුභව කරන්නට බෙදා දී එම පින් දෙවියනට අනුමෝදන් කරවිය යුතුය. දෙවියනට කැප කළ ආහාර අනුභව කරන්නන්, දෙවියනට පූජා ද්‍රව්‍ය කැප කරන්නන් පන්සිල් රකින, පස්‌පවින්, මස් මාංසයෙන් තොර තැනැත්තන් විය යුතුය. එසේ වූ විට එය යහපත් දානමය පුණ්‍යකර්මයක් වන්නේය. දෙවියෝ එම පින් අනුමෝදන් වෙති. කාර්යය සපල වෙයි.
පහන් තැබීම
සියලු පූජා ද්‍රව්‍ය පූජාසනයේ වම් පැත්තේ ද, දීප දැල්වීම දකුණ පැත්තේ ද වීම මැනැවි. සුගන්ධ, දීප, ධූප, පස්‌පාට බොජුන්, බුලත් ප්‍රධාන පූජා ද්‍රව්‍ය වේ.
සුගන්ධ – සියලු සුවඳ මල් (සොහොන් බිම්වල සහ විහාර දේවාල බිම්වල මල් නොගත යුතුය.) කපුරු, පිනිදිය, හඳුන්කූරු, හඳුන්.
දීප – පොල්තෙල්, අබතෙල්, තලතෙල්, පස්‌තෙල්, හඳුන්තෙල්, ආදියෙන් පහන් තැබීම.
ධූප – සුදුහඳුන්, රත් හඳුන්, සාම්බ්‍රානි, කවඩි සාම්බ්‍රානි, අරටුදර, සැවැන්දරා, සුවඳ කොට්‌ටන්, අගිල්, ගුගුල්, ජටාමාංස, දේවදාර කුඩුකර සැකසූ ධූපය.
බොජුන් – කැකුලු සහල්, ඇල් සහල්, ගිතෙලින් පිස වියළි මුද්දරප්පලම් උක් සකුරු මිශ්‍රකර පාට පහකින් වර්ණවත් කර වෙන් කළ ආහාර පිදීම.
බුලත් – බුලත් පිදීම
පූජා පවත්වන බිමෙහි ලද පස්‌මල් ඉසීම මැනවි.
ලද පස්‌මල් – විලඳ, සුණුසහල්, ඊතණ, අබ, සමන් කැකුළු යනාදියයි.
පූජා විධි
දේව පූජාවන් සඳහා නියමිත පලතුරු වර්ග කැවිලි වර්ග හා ධාන්‍ය වර්ග ද ඇත. ඇතැම්විට සමහරුන් නොගත යුතු පලතුරු වර්ගද දේව පූජා සඳහා ගන්නා බව පෙනෙයි.
කෙසෙල්, අඹ, බෙලි, දොඩම්, උක් පුරුක්, මිදි ආදී පලතුරු වර්ගද පස්‌ගෝරස, එළකිරි, ගිතෙල්, මීපැණි, උක්‌හකුරු. හබලපෙති ආදිය ද කැවුම්, අග්ගලා, තලකැරලි, අතිරස ආදී කැවිලි වර්ගද තල, වී, මෑ, උඳු, ආදී ධාන්‍ය වර්ගද තැඹිලි හා පොල් ද දේව පූජාවන් සඳහා ගත යුතුය.
සියලු දේව පූජාවන් සඳහා බෙලිකොළ යහපති. එහෙත් විෂ්ණු දෙවියන් සඳහා කරනු ලබන පූජාවනට බෙලිකොළ නොගනිති.
විෂ්ණු දේව පූජාවනට පමණක් තලාකොළ සුදුසුයි.
රාත්‍රි පිපෙන මල් වර්ග ශිව පූජාවනට නොගනියි. අනෙක් සියලු දේව පූජාවනට යහපති.
ඊශ්වර පූජාවන් සඳහා බෙලිපත්‍ර හා තින්නෝරු අළුවලින් සකස් කළ තිශූලය ඉතා යහපත් ලෙස සලකති. මේවා නැතිව ශිව දෙවියනට පූජා තැබීම නොකළ යුතු යෑයි ද ඇතැම් තැනෙක සඳහන් වෙයි.
වඩාත් බලවත් යහපත් ධූපයක් දේවපූජා සඳහා පාවිච්චි කිරීම මැනැවැයි සඳහන් වෙයි. ඒ සඳහා පහත සඳහන් ඖෂධ වර්ග උපයෝගී කර ගැනීම මැනවි.
සඳුන්ලාටු, සුදුහඳුන්, රත්හඳුන්, දේවදාර, අගිල්, ගුගුල්, සුවඳ කොට්‌ටන්, ජටාමාංස, සැවැන්දරා, විෂ්ණු කාන්ති, කවඩිසාම්බ්‍රානි, පූසාම්බ්‍රානි යන මේවා ඉතා පිරිසිදුව සමව ගෙන කුඩු කර සකස් කරගත් ධූපය විශේෂ ධූපයක් ලෙස සැලැකේ.
පංචෝපහාර ධූපයක්.
කරාබු නැටි, සාදික්‌කා, පුවඟු, කුරුඳුපොතු, සුදු හඳුන්. මේවා සමව කුඩු කර ධූපය සකස් කර ගන්න. කවර දූපයක් වුවත් දේව ස්‌තුත ගැයීමෙන් බල පිහිටුවා ගැනීම මැනවි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here