Friday, September 12, 2025
Homesiබුදු දහම ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද!

බුදු දහම ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද!

[ratings]

බුදුරජාණන් වහන්සේ විසින් ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද? ජ්‍යෙතිෂවේදියෙකුගේ උපදෙස්‌ ගැනීම නැතහොත් නැකත් බැලීම, කේන්ද්‍ර පලාපල දැනගැනීම, නම් තැබීම සඳහා ශුභා භුභ අකුරු බැලීම බෞද්ධයන්ට නොගැලපේද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමට සුදුසු කාලීන මාතෘකාවක්‌ බව පෙනේ.

උගත් යෑයි සම්මත ගිහි පැවිදි සුළු පිරිසක්‌ විසින් ජ්‍යෙතිෂය බෞද්ධයන්ට නොගැලපෙන්නේය. පේනකීම් මතයක්‌ ප්‍රචාරය කරමින් සිටීම ඊට හේතුවයි. එක්‌තරා සංවිධානයක සාමාජිකත්වය ලබා ගැනීමට නම් හඳහන පුළුස්‌සා දැමිය යුතු බවද නැකත් බැලීම අලුත් අවුරුදු චාරිත්‍ර පිළිපැදීම, දරුවන්ට නම් තබන විට ශුභ අකුරු භුභ ගණ පරීක්‍ෂා කිරීම ආදිය නොකළ යුතු බවද සඳහන් විස්‌තර පොතක්‌ දක්‌නට ලැබුණි. මේ අනුව බෞද්ධයන්ට ජ්‍යෙතිෂය අකැපද යන ප්‍රශ්නය පැන නැඟීම පුදුමයට කරුණක්‌ නොවේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර මෙන්ම බුද්ධ කාලයේද ඉන්පසුව ගතවූ වසර 2550 කට අධික බෞද්ධ සංස්‌කෘතිය මගින් ජාතිය පෝෂණය වූ අවධියේද ජ්‍යෙතිෂය කවර තත්ත්වයක පැවතියේද? බුද්ධ ධර්මයේ ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කර තිබේද? මහා සංඝරත්නය හා ජ්‍යෙතිෂය අතර පැවැති සබඳතා කවරේද? යන කරුණු පුළුල්ව සාකච්ඡා කිරීමට මෙම ලිපි පෙළ යොදා ගනිමු.

පළමුව වටහාගත යුත්තේ ජ්‍යෙතිෂය යනු කුමක්‌ද? යන්නයි. ජ්‍යෙතිෂයට එරෙහිව මත පළකරන බොහෝ දෙනෙකු මෙම විෂයය හරිහැටි හඳුනාගෙන නැති බව පෙනේ. ග්‍රහයින් හා නැකත් තරුවල චලනය මනුෂ්‍යයා ඇතුළු පරිසරයට බලපාන ආකාරය එයින් ඉගැන්වේ. එහෙත් එය අංජනම්, ආරූඪ, ආවේෂ පේනකීම් ආදී දෙවියන් හෝ භූතයන් මගින් කරන ගුප්ත විද්‍යාවත් නොවන බව කිව යුතුය. පසුගිය නැකත අතිරේකය මගින් ජ්‍යෙතිෂය යනු කුමක්‌දැයි සාකච්ඡා කරන ලදී.

බුදුහිමියන් විසින් ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කරන බවට තර්ක කරන උගතුන් ඒ සඳහා ඉදිරිපත් කරන ගාථාවක්‌ තිබේ. එය ජාතකපාලියේ නක්‌ඛන්ත ජාතකයේ සඳහන් ගාථාවකි. ඒ මෙසේය.

නක්‌ඛත්තං පතිමානෙත්තං

අත්ථෝ බාලං උපච්ජගා

අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං

කිං කරිස්‌සන්ති තාරකා”

“කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?” යනු මෙහි සරල අදහසයි. එහෙත් මෙම ගාථාවට පාදක වූ කතාව විමසා බලා මේ පිළිබඳව තීරණය කළ යුතුය. කතාව මෙසේය. මනාලියක්‌ කැඳවාගෙන ඒම සඳහා එක්‌තරා තරුණයෙකු නැකත් බලයි. ඒ සඳහා දිනයක්‌ නියම කර ගනී. එහෙත් මේ නැකත් දිනය පිළිබඳව වඩාත් විශ්වාසය තහවුරු කරගනු පිණිස මෙම තරුණයා තවත් නැකත් කරුවකු හමුවී විමසයි. පළමුවෙන් තමන් හමුනොවී වෙනත් කෙනෙකුගෙන් නැකත බැලීම ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දෙවැනි නැකත්කරුවා කියන්නේ මෙම දිනය සුදුසු නැති බවයි. ඒ වෙනුවට පසු කාලයක එළඹෙන දිනයක්‌ නියම කරයි. ඒ අනුව දිනය කල් දැමූ තරුණයා පසුව යන විට එම තරුණිය වෙනත් තරුණයකු හා විවාහ වූ බව දැන ගනී. මේ කතාව අසන අප මහ බෝසතාණෝ ඉහත ගාථාව පවසා තිබේ. නක්‌ඛන්ත ජාතකයේ එන මේ සිදුවීම මෙකල වුවද සිදුවීමට ඉඩ තිබේ. මේ කතාව මගින් ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කර නොමැත.

ජ්‍යෙතිෂය තිරශ්චීන විද්‍යාවක්‌ වශයෙන් ප්‍රතික්‌ෂේප කර ඇති බව සමහර උගතුන්ගේ මතයකි. තිරශ්චීන යනු තිරිසන් යන අර්ථයයි. තිරිසනුන්ගේ කොඳු ඇට පෙළ පිහිටා ඇත්තේ තිරස්‌ව වන අතර මනුෂ්‍යයින්ගේ එය සිරස්‌ව පිහිටා ඇත. තිරශ්චීන විද්‍යා යන නම පටබැඳී ඇත්තේ මේ අනුවය. ධර්මයේ තිරස්‌චීන විද්‍යා ලෙස හඳුන්වා ඇත්තේ මොනවාට දැයි විමසා බලමු.

දීඝ නිකායේ ශීලස්‌ඛන්ධ වග්ග නම් කොටසේ ශ්‍රමාන්‍යඵල සූත්‍රයේ මේ පිළිබඳව සවිස්‌තරව සඳහන් වන්නේය. පැවිදි වූ කෙනෙකු ආරක්‍ෂා කරන සිල් ගැන පියවරෙන් පියවර එහි සඳහන්ය. පංචශීලයේ සිට චූල ශීල, මධ්‍යශීල, මහාශීල වශයෙන් ඒවා විස්‌තර කරන විට නැකත් බැලීම, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ගැන කීම මෙන්ම විවිධ පලාපල හා නිමිති කීම වැනි තිරශ්චීන විද්‍යා වලින් ශ්‍රමණයින් වහන්සේලා වළකින බව මෙම සූත්‍රයේ සඳහන්ය. මේ බව දකින සමහරු බුදු දහමින් ජ්‍යෙතිෂය ප්‍රතික්‌ෂේප කර ඇති බවට තර්ක කරති.

එහෙත් මෙම සූත්‍රවල තිරශ්චීන විද්‍යා වශයෙන් සඳහන් වන්නේ ජ්‍යෙතිෂය පමණක්‌ නොවේ. එහි මෙසේද සඳහන් වෙයි. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහන බමුණෝ සැඳෑහැයෙන් මුත් බොජුන් වළ¹ ශාන්ති කර්ම ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, වස්‌ති කිරීම, ගිහියනට නස්‍යදීම ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්ම කිරීම, කාය චිකිත්සාව ආදී වූ හෝ මෙබඳු තිරශ්චීන විද්‍යාවෙන් වැලැක්‌කේ වෙයි…” (දීඝ නිකාය 123 සිට) මෙයින් අදහස්‌ කරන්නේ කිමෙක්‌ද? ජ්‍යෙතිෂය පමණක්‌ නොව වෛද්‍ය විද්‍යාවද තිරශ්චීන විද්‍යා ගණයට ඇතුළත් බවය. එහෙත් යම් ධර්ම ග්‍රන්ථයක එක කොටසක්‌ පමණක්‌ රැගෙන තම මතය තහවුරු කරන්නට යැම සමාජය නොමඟ යෑවීමකි. මෙම සූත්‍ර වලදී මහණ බමුණන් විසින් ගිහියන් කරන බොහෝ දේ ප්‍රතික්‌ෂේප කර තිබේ. එහෙත් ඒ පැවිද්දන් සමූහ මිස ගිහියන් සඳහා නොවන්නේය.

සියලු දුක්‌ කෙළවර කර නිවන් අවබෝධ කර ගැනීමට මග පෙන්වීම බුදු දහමේ පරමාර්ථයයි. ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව, දේශපාලන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව මෙන්ම ජ්‍යෙතිෂ විද්‍යාවද යොදා ගන්නේ මිනිසුන්ගේ එදිනෙදා ගැටලු විස¹ ගැනීම පිණිසය. නිවන සඳහා නොවේ. මෙය පටලවා නොගත යුතුය.

එහෙත් බුද්ධ චරිතය, බුද්ධ ධර්මය මෙන්ම බෞද්ධ සංස්‌කෘතිය තුළද ජ්‍යෙතිෂය ගැන සඳහන් වන අවස්‌ථා බොහෝය. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම සිදුවූ විට මහාමායා දේවිය දුටු සිහිනයේ අර්ථය පින්වත් දරුවෙකු පිළිසිඳ ගැනීම බව දැන ගත්තේ ජ්‍යෙතිෂ දැනුමින් පිරි බ්‍රාහ්මණයින්ගෙනි. බෝසත් කුමරුන්ට නම් තැබීම කරන අවස්‌ථාවේ මෙම කුමරුන් අනාගතයේ ස්‌ථිර වශයෙන්ම බුදු වන්නේ යෑයි කොණ්‌ඩඤ්ඤ නම් බ්‍රාහ්මණයා පැවසුවේ එතුමා සතුව තිබූ විශාරද ජ්‍යෙතිෂ දැනුම නිසාය. ජ්‍යෙතිෂය ගැන (අංග ලක්‍ෂණ ශාස්‌ත්‍රය) විශිෂ්ට දැනුමක්‌ තිබූ මෙම කොණ්‌ඩඤ්ඤ බමුණා බුද්ධ ශාසනයේ පළමුවෙන්ම නිර්මාණාවබෝධය කළ පුද්ගලයාද විය.

එකල අධ්‍යාපනයට විෂයයන් 64 ක්‌ ඉගැන්වූ බව සඳහන් වේ. චතුෂෂ්ටි කලා හෙවත් සිවාසැට කලා නමින් හැඳින්වූ මෙම විෂයයන් අතර ගණිතය, ඉතිහාසය, ව්‍යාකරණ මෙන්ම ජ්‍යෙdතිෂයද ඇතුළත් විය. සිදුහත් කුමරුන්ද විෂයයන් මනාව ප්‍රගුණ කල බව නිසැකය. බෝසතාණන් වහන්සේ සිහින පහක්‌ දුටු බවත් ඒ පිළිබඳ විමසූ උන්වහන්සේ ඒවායේ තේරුම බුද්ධත්වය ලැබීම ආදිය බවත් වටහා ගන්නට ඇත්තේ ඒ ජ්‍යෙdතිෂ දැනුමින් විය යුතුය.

යුරෝපීයයන් විසින් ශ්‍රී ලංකාව යටත් කරගත් පසුව අපේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයද වෙනස්‌කරනු ලැබිණි. ජ්‍යෙdතිෂය පිළිබඳ උගතුන් ද බිහි නොවූයේද බොහෝ ශිල්ප ශාස්‌ත්‍ර ගුරු කුල වලට සීමා වූයේද මේ නිසාය. ගැලිලියෝ වැනි විද්‍යාඥයන්ට පෙර ග්‍රහ චලිතයට අදාළ සියලු ගණිත ක්‍රම අප සතුව තිබූ නමුදු ජ්‍යෙdතිෂයට ගරහන්නටත්, තාරකා විද්‍යාඥයන්ට ඒ පිළිබඳව සොයා ගැනීමේ සියලු ගෞරවය පුදන්නටත් පුරුදු වූයේ මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස නිසාය. රහතන් වහන්සේලා සිටි ඈත අතීතයේදී බෞද්ධ ස්‌ථූප, විහාර ගොඩනැඟීමට පවා ජ්‍යෙdතිෂය යොදාගත් බව මහාවංශය කියවන විට පැහැදිලි වේ. රුවන්වැලි මහා සෑය ආරම්භ කළේ “විසා” නැකත යෙදුනු වෙසක්‌ පෝ දින බවද ඇසල පෝය යෙදුනු “උතුරුසල” නම් නැකතින් ධාතු නිධානය කළ බවද මහා වංශයේ 31 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. මේ අවස්‌ථාවන්ට ඉන්ද ගුත්ත නම් ආනුභාව සම්පන්න මහතෙරුන් ඇතුළු සයානු තෙලක්‌ රහතන් වහන්සෙලා පැමිණ බව ද සඳහන්ය.

සත්වයින් විවිධය. විෂයම ඊටය හේතුව පූර්ව කර්ම බව බුදු දහම අවධාරණය කරයි. ජ්‍යෙdතිෂය පදනම් වී ඇත්තේ ද කර්ම විපාක මතය. කේන්ද්‍රය යනු (හඳහන) ඔහු හෝ ඇය කරන ලද පෙරකර්ම විස්‌තර කළ හැකි කැඩපතයි. පලාපල කීම යනු කුශාලාකුශල කර්ම විපාත දෙන කාලය විස්‌තර කිරීමයි. නැකත් සෑදීම යනු කුශල කර්ම විපාක බලවත් වන කාලය ගණනය කිරීමයි. පෙර හා පසු ආත්ම නැකත ඉපදීම ගැනද ජන්ම පත්‍රය පෙන්වා දෙයි.

බුද්ධ ධර්මය හා එහි පදනමට මෙතරන් සමීප වූ වෙනත් කිසිදු විද්‍යාවක්‌ නැත. අන්‍යමිකයන් ජ්‍යෙdතිෂයේ පිහිට නොපතන්නේ ඔවුන් සර්වබලධාරී දෙවියෙකු විශ්වාස කරන බැවිනි. සමහර බෞද්ධයන් ජ්‍යෙdතිෂයට ගරහන්නේ කුමක්‌ නිසාදැයි තේරුම් ගත නොහැකිය.

මෙරට දැනට ඇති පැරැණිම ජ්‍යෙdතිෂ ග්‍රන්ථය රචනා කර ඇත්තේ අනෝමදස්‌සී සඟ රජ හිමියන් විසිනි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය, වලානේ ශ්‍රී සිද්ධාර්ථ, රත්මලානේ ධර්මාලෝක, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල, බෙල්ලන ඥනවිමල ආදී සංඝ පීතෘන් වහන්සේලා ජ්‍යෙdතිෂය ආරක්‍ෂා කර එම දැනුම ආරක්‍ෂා කරදීමට කර ඇති මෙහෙය අපමණය. විහාරස්‌ථානවල පවත්වන බෝධි පූජා, බුද්ධ පූජා, පිරිත් දේශනා ආදිය සිදුකිරීමට ගිහියන් මෙහෙයවන ප්‍රධාන ගිහි උපදේශකයා ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රඥයා බවද පැවසීම අතිශයොක්‌තියක්‌ නොවේ. ග්‍රහ අපල සමනය කිරීම උදෙසා බෞද්ධ ශාන්ති කර්ම නිර්දේශ කරන බැවිනි. යමක්‌ පිළිගත යුත්තේ කවුරුවත් කියනවාට නොව විමසා බැලීමෙන් බව බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් අනුශාසනා කර තිබේ.

We found this article from Divaina on 2011/09/16.
Also Sinhala to English Google word to word translation can be found here

RELATED ARTICLES

Most Popular

Recent Comments