වාස්‌තු විද්‍යාවේදී දක්‌නට ලැබෙන විවිධාකාරයේ වාස්‌තු දෝෂ ගණනාවකි. ඒ අතුරින් නිවසක ප්‍රධාන දොරටුව හා ඒ ආශ්‍රිත පරිසරය තුළින් ඇතිවන දෝෂ 18 කි. ඒවා අෂ්ඨ දශ වේධ දෝෂ නම් වේ. එම වේධ දෝෂ පිළිබඳව දැනුවත්ව ඒවා මගහැරෙන සේ තම නිවස හා ඒ අවට පරිසරය නිර්මාණය කර ගැනීම මහත් ඵලදායකය. අෂ්ඨ දශ වේධ දෝශය සවිස්‌තරව පහත ආකාර වේ.
- දේවතා වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට හරියටම ප්‍රධාන දොර කෙලින් ඉතා ආසන්නව බුද්ධ ප්‍රතිමාවක්, දේව ප්‍රතිමාවක්, බුදු ගෙයක්, දේවාලයක්, පහන් පැලක්, වැනි දෙයක් පිහිටීම මෙම දෝෂයයි. මෙම දෝෂය මගහරවා ගැනීමට නම් අදාළ වස්‌තුවේ පිහිටීම වෙනස් කිරීම හෝ දොරෙහි පිහිටීම වෙනස් කළ යුතුය. මෙවැනි පිහිටීමක අනිටු ඵල වනුයේ වස්‌තුව, මිල මුදල් විනාශ වීම, යම් යම් විනාශකාරී දේ සිදුවීම, බාධා කරදර මතුවීම, චිත්ත ධෛර්යය හීන වීම යනාදියයි.
- සුසාන වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට එල්ලවන සේ සොහොන් කොත්, සුසාන භූමි, ආදාහනගාර, මෘත ශරීරාගාර වැනි ස්‌ථාන පිහිටීම මෙම දෝෂයයි. මෙය මගහරවා ගැනීමට ප්‍රධාන දොරටුවේ පිහිටීම වෙනස් කළ යුතුය. මෙවැනි පිහිටීමක් නිසාවෙන් ධන හානිය, ලෙඩ රෝග ඇතිවීම, ගෘහ මූලිකයා නිවසින් බැහැර වීම, පවුලේ හා අසල්වැසි සමගිය බිඳ වැටීම, අකල් මරණ, පාඩු පිට පාඩු සිදුවීම, නිවසේ ශ්‍රියාව දියුණුව නැතිවීම ආදිය සිදුවේ.
- කදිම වේධ දෝෂය හෙවත් කර්තුව වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොර කෙලින්ම මඩවළක්, අත්හැර දැමු පාලු පතලක්, පුරන්ව වල් වැදුනු කුඹුරක් වැනි තෙත් බිමක් පිහිටීම මෙම දෝෂය පංක වේධ දෝෂය ලෙසද හැඳින්වේ. මෙවැනි පිහිටීමක් හේතුවෙන් නිතර කරදර ඇතිවීම, දියුණුවට බාධා ගෙනදීම, නිවසේ සාමය බිඳ වැටීම ගෞරවයට කීර්තියට හානි වීම, දණ්‌ඩ භය, රාජභය ආදිය ඇතිවීම සිදුවේ.
- ද්වාර වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොර කෙලින් වෙනත් නිවසක ප්‍රධාන දොර පිහිටීම හෝ ඉඩමේ ප්‍රධාන ගේට්‌ටුව පිහිටීම මෙම දෝෂයයි. මෙහිදී නිවසේ උසින් දෙගුණයකට වඩා අඩු දුරකින් අනෙක් නිවසේ ප්‍රධාන දොර පැවතිය යුතුය. මෙවැනි පිහිටීමක් නිසාවෙන් සතුරු බිය, රෝග බිය, අපකීර්තිය, ඇස්‌වහ කටවහ ආදී දෝෂ, රණ්‌ඩු සරුවල් ආදිය ඇතිවිය හැක.
- කූප වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට ළිඳක් පිහිටීම මෙම දෝෂයයි. මෙම දෝෂය යෙදීමට බිත්ති උසින් දෙගුණයකට වඩා ළංව නිවසට ඉතා ආසන්නයෙන් ළිද පිහිටිය යුතුය. මෙවැනි පිහිටීමක් හේතුවෙන් ස්‌නායු ආබාධ, හිසේ ආබාධ, නිවසේ සාමය සතුට බිඳ වැටීම, අපකීර්තිය ගොඩ නැගීම, අනතුරු බිය ඇතිවීම, ලෙඩ රෝග ඇතිවීම ආදිය සිදුවේ. මෙම දෝෂය ඉදිරිපස ප්‍රධාන දොරට පමණක් නොව පිටුපස දොරටද බලපායි. එසේම පැති බිත්තියක ජනේලයේ හරි මැදට වුවද ළිඳ කෙලින්ම එල්ලවීම ශුභ නැත.
- ස්‌ථම්භ වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට ඊට ආසන්නව ස්‌ථම්භයක් හෙවත් කණුවක් හෝ පළල ආවරණයක් පිහිටීම මෙම දෝෂයයි. මෙවැනි පිහිටීමක් හේතුවෙන් එවැනි නිවෙස්‌වල ස්‌ත්‍රීන් දුරාචාරයට යොමු වේ. ආත්ම ගෞරවයට හානි වේ. නිවසේ ශ්‍රියාව නැතිවී සාමය සතුට බිඳ වැටේ. සොර සතුරු බිය ඇතිවේ. දියුණුව අඩාල වේ දණ්‌ඩ බිය ඇතිවේ.
- මාර්ග වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ආසන්නව ප්‍රධාන හෝ අතුරු මාර්ගයක වංගුවක් පිහිටීම මෙම දෝෂයයි. මෙයට අතිරේකව නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් තුංමං හන්දියක්, හතරමං හංදියක් පිහිටීමද මෙම දෝෂයම සේ සැලකේ. මෙම දෝෂය නිසාවෙන් සොර සතුරු බිය, රාජභය, දණ්‌ඩ භය, මරණය භය, හදිසි අනපේක්‍ෂත විපත්, අමනුෂ්‍ය බිය වැනි දැ ගෙන දේ.
- ජල නිර්ගමන වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ජල පහරක් වංගුවක් ලෙසින් ගමන් කිරීම මෙම දෝෂයයි. මෙම ජල පහරේ බලපෑම ඇත්තේ නිවසේ ඉදිරිපස බිත්තිය මෙන් තුන් ගුණයක දුරට වඩා අඩුවෙන් ජල පහර පිහිටන විටය. එසේම අනෙකුත් ද්වාර සහිත බිත්ති සලකන කල එම බිත්තිවල උසින් දෙගුණයකට වඩා අඩු දුරකින් ජල පහර පිහිටීමද ඉහත දෝෂයම වේ. ජල පීල්ලකින් එන ජලය හෝ සිහින් උල්පත් දිය දහරා ප්‍රධාන දොර ඉදිරිපසින් ආසන්නව ගලා යන්නේ නම්ද උත්ත දෝෂයම සේ සැලකේ. මේ නිසාවෙන් වස්‌තුව ධනය විනාශ වේ. ලෙඩ රෝග ඇතිවේ. පාංශු ඛාදනය, උල්දිය ගැලීම වැනි තත්ත්ව ඇතිවේ. මේ නිසා නායයැම් වැනි භයානක තත්ත්වද ඇති විය හැක.
- වෘක්‍ෂ වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ආසන්නව පල දරන හෝ නොදරන විශාල අතුපතර විහිදුනු ගසක් පිහිටීම මෙම දෝෂයයි. මෙම දෝෂයේදී කුඩා ගස්, මල් පඳුරු, කෘෂිකාර්මික බෝග ආදිය නොසලකයි. මෙවැනි පිහිටීමක් සහිත නිවසක වාසය කරන අයට නිතර කරදර ඇතිවීම, දූ දරුවන්ට විපත් පැමිණීම, පවුලේ සාමය සමගිය බිඳ වැටීම, සතුරු කරදර, දියුණුව අඩු වීම, ස්‌වාභාවික විපත්වලින් හානිවීම, නිවස ඉදිරිපිට අපවිත්‍ර වීම, සතුන්ගෙන් හානි පැමිණීම, වැනි දැ සිදුවේ.
- කෝණය වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් වෙනත් ඉඩමක කොණක්, වෙනත් නිවසක මුල්ලක් යෙදීම මෙම දෝෂයයි. එසේම ඇතැම් වාස්‌තු පොත පතෙහි මාර්ග වේධ දෝෂය සේ සැලකෙන තුංමං සලක් හේ සිව්මං සලක් හෝ ප්‍රධාන දොරට හරි කෙලින් වීමද ඇතැම් වාස්‌තු විද්‍යා පොත පතෙහි කෝණ වේධ දෝෂය සේ සැලකේ. මෙයට අතිරේකව නිවසක මුල්ලක් තවත් නිවසක මුල්ලකට එල්ල වීමද මෙම දෝෂයම වේ. පාරක කොනකින් වුවද මෙම දෝෂය නිර්මානය විය හැක. මෙවැනි පිහිටීම් හේතුවෙන් අමනුෂ්‍ය දෝෂ ඇතිවීම, හදිසි අනතුරු රාජ භය, සොර සතුරු බිය, දණ්‌ඩ භය, දියුණුව අඩුවීම ආදිය සිදුවේ.
- ගණිකා වේද දෝෂය
ගණිකා මඩමක් නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ආසන්නව පැවතීම මෙම දෝෂයයි. මෙම පිහිටීම හේතුවෙන් ධන හානිය, වස්‌තු විනාශය, පවුලේ අසමගිය, දරුවන්ගේ පරිහානිය, අකල් මරණ, ආරක්‍ෂක ගැටලු, සතුරු බිය, අපකීර්තිය, ගෞරවයට හානිවීම ආදිය සිදුවේ.
- බ්‍රහ්ම වේධ දෝෂය
මෙම දෝෂය ආකාර කීපයකට යෙදේ. එනම්.
- ඉදිරිපස බිත්තියේ හරි මැදින් නිවසේ හරිමැද වූ බ්‍රහ්මපාදය දර්ශනය වන ලෙස ප්‍රධාන දොර තැබීම.
- මුදුන් බිත්තියකින් නිවසට ඇතුළුවන ප්‍රධාන දොර තැබීම.
- නිවසේ ප්‍රධාන දොර හරි මැදට එල්ලවන සේ වෙනත් නිවසක දොරටුවක් හෝ බිත්තියක් පැවතීම.
- නිවසේ හරි මැද කෙලින් තවත් නිවසක දොරක් හෝ බිත්තියක් පැවතීම.
මෙම දෝෂය නිසා ගෞරවය, කීර්තිය පිරිහේ. සොර සතුරු බිය ඇති වේ රෝග බියද ඇතිවේ.
- කුම්භාකාර වේධ දෝෂය
ප්‍රධාන දොරටුව හරි කෙලින් උලු, ගඩොල්, වළං පෝරණු ආදිය පැවතීම හෝ එවැනි දැ අලෙවිකරන ස්‌ථාන පැවතීම මෙම දෝෂයයි මේ නිසා සොර සතුරු කරදර, ආරක්‍ෂක ගැටලු, නීතිප්‍රශ්න, රෝගාබාධ, පාංශු ඛාදනය, පරිසර දූෂණය, නායායැම්, බලතල අහිමිවීම් ආදිය සිදු වේ.
- තිරශ්චීන වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ආසන්නව ගවමඩු, ඌරුමඩු, කුකුල් කොටු, බලු කූඩු, පක්‍ෂි කූඩු, වෙනත් සත්ව ගාල් ආදිය පැවතීම මෙම දෝෂයයි. මෙහිදී ස්‌වාභාවිකව නිර්මිත කුරුලු කූඩු මෙයට අයත් නොවේ. මෙයට අතිරේකව මස්, මාළු වෙළදසල්, සතුන් අලෙවිකරන ස්‌ථාන, සත්ව නිෂ්පාදන සකසන ස්‌ථාන, සතුන් මරණ ස්‌ථාන වුවද මෙයටම අයත්ය. මේ දෝෂය තිබීමෙන් ලෙඩ රෝග, සතුරු කරදර, නීති ප්‍රශ්න, මානසික නිදහසට බාධාවීම, වස්‌තු විනාශය, පරිසර දූෂණය, නිවැසියන් පහත් ක්‍රියාවලට යොමුවීම, නිවසේ ශ්‍රියාව, සෞභාග්‍ය පිරිහීම, හදිසි විපත් ගෙනදීම ආදිය සිදුවේ.
- රාජ වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරටුව හරි කෙලින් ආසන්නව රාජ්‍ය දේපළ, ප්‍රභූ නිවාස, සූදු පොළවල්, සමාජ ශාලා, ක්‍රීඩාංගන, තැබෑරුම්, වැනි දැ පිහිටීම මෙම දෝෂයයි. මෙම දෝෂය හේතුවෙන් තනතුරු අහිමිවීම්, සතුරු කරදරවලට ලක්‌වීම්, රාජභය, දණ්‌ඩ භය, හදිසි විපත් ඇතිවීම නිවසේ සාමය දෙදරායාම, දරුවන්ගේ දියුණුවට බාධාවීම ආදිය සිදු වේ.
- රජක වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරටුව, හරි කෙලින් ආසන්නව රෙදි සෝදන රෙදි අපුල්ලන රදා තොටක්, පොදු ළිදක්, ජල කරාමයක්, නාන තොටුපළක් වැනි ස්‌ථානයක් පැවතීම මෙම දෝෂයයි. මේ හේතුවෙන් නිවැසියන්ගේ තත්ත්වය පිරිහීම, ලෙඩ රෝග ඇතිවීම, සතුරු කරදර, සොර බිය, පෞද්ගලිකත්වයට හානි ගෙනදීම, පරිසර දූෂණය, පහත් සිතුවිලි ඇතිවීම සිදුවේ.
- වර්චස්‌ථාන වේධ දෝෂ හෙවත් මර්මස්‌ථාන වේධ දෝෂය
නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ආසන්නව වැසිකිළියක්, කැසිකිළියක්, කුණු වලක්, අපද්‍රව්‍ය ගලායන කාණුවක් පැවතීම මෙම දෝෂයයි. මේ දෝෂ හේතුවෙන් ලෙඩ රෝග බිය. සොර සතුරු බිය. දණ්‌ඩ බිය, පරිහානිය, නිවසේ සතුට සාමය බිඳ වැටීම, පරිසර දූෂණය, මානසික සෞඛ්‍යය බිඳ වැටීම, නිවසේ ශ්‍රියාව නැතිවීම ආදිය සිදුවේ.
- ම්ලේච්ඡ වේධ දෝෂය
නිවසක ප්‍රධාන දොරටුව හරි කෙලින් ආසන්නව කුල හීන අය වෙසෙන නිවෙස් හෝ යාචක, අහිකුන්ඨික නිවෙස්, අධර්මිෂ්ට අසත්පුරුෂයන් වෙසෙන නිවෙස් අංශභාග, මානසික රෝගවලින් පෙළෙන අය සිටින නිවෙස්, පහත් වෘත්තීන්වල යෙදෙන්නන් සිටින නිවෙස් පැවතීම මෙම දෝෂයයි. මෙම දෝෂය හේතුවෙන් මානසික පීඩනය ඇතිවීම, දියුණුව අඩුවීම, ධන හානි, වස්‌තු විනාශ හදිසි විපත්, සොර සතුරු බිය, තනතුරු අහිවිවීම්, ගෞරවය කෙලසීම්, පරිසරය දූෂණය ආදිය ඇති වේ.
We found this article from Divaina on 2014/05/18.
