අපල උපද්‍රව ග්‍රහ දොස්‌ දුරලන මෛත්‍රි භාවනාව

0
56
භාවනාව
භාවනාව



ඔබට ඔබගේ සිත එකඟ කරගන්න, එහෙම නැත්නම් සිතුම් පැතුම් පාලනය කරන්න බැරිනම්, අමාරුනම් ඒක බරපතළ කාරණයක්‌. මානසික ව්‍යාකූලත්වය කියන්නෙ ඒ විදියට සිත එකඟ කර ගන්න බැරිවීම. මෙන්න මේ සිත හීලෑ කර ගැනීම තමයි භාවනාව කියන්නෙ. හැබැයි භාවනාව කියන වචනය ඇහුණ ගමන් ඔබ හිතන්නෙ එකත්පස්‌ව එක ඉරියව්වකින් සිරුර කෙළින් කරගෙන දැස්‌ පියාගෙන ඉන්න සුවරූපයනෙ. නමුත් භාවනාව කියන්නෙ ඒකම නෙවෙයි.

භාවනාව දියුණු කරල ආධ්‍යාත්මික ශක්‌තිය දියුණු කර ගත්ත සෘෂිවරුන් ඉඳල තියෙනව. සමහර ගුප්ත ශක්‌තීන් සඳහා භාවනා කරන අය පුරාණ කාලෙත් හිටිය. එහෙත් මේ භාවනාව කියන්නෙ ප්‍රඥව ලබා ගැනීම බවයි බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ. ප්‍රඥව කියන්නෙ දාර්ශනික සංකල්පයක්‌. ඒත් මා ඔබට කියන්නෙ මේ සමාජය තුළ ඉඳගෙනම ප්‍රඥව ලබා ගන්නා භාවනාව ගැන.

යමක්‌ ඒ කියන්නෙ අමුතු ශක්‌තියක්‌, විශේෂ බලයක්‌ ලබා ගන්න භාවනා කිරීමත් ආශාවක්‌නෙ. එතැන තියෙන්නෙ තෘෂ්ණාව. නියම භාවනාව අවසන් වෙන්නෙ නිවන් දැකීමෙන් තමා. හැබැයි භාවනා කරල ධ්‍යාන ලබා ගන්නත් පුළුවන්. ඒක මේ ජීවිතේ යථාර්ථය දැකල නිවනට යන මාර්ගයෙදි ලැබෙන දේවල්. නමුත් මෛත්‍රි භාවනාව වගේ දෙයකින් අපට පුළුවන් ඉස්‌සෙල්ලම ජීවිතේ අපේ ලෞකික අරමුණු ලබා ගන්න. අපි කාටවත් එක පාරටම නිවන් දකින්න වුවමනාවක්‌ නැහැනෙ. ඒ නිසා ඊට කලින් මේ ජීවිතය පිළිවෙල කර ගැනීම වුවමනායි.

ජීවිතය ගත්තහම එහි දුක, සැප දෙකම තියෙනවනෙ. දුක ලබා ගන්න කවුරුත් කැමති නැති වුණාට කාටවත් බැහැ දුක මග හරින්න. සැපත සොයා යන ගමන හරිම දුක්‌බර අසීරු ගමනක්‌. ඉතින් අපි උපන් වෙලාව බලනව. ග්‍රහ අපල තියෙනවනම් ඒවට පිළියම් යොදනව. දේව ආශිර්වාදය ලබා ගන්නව. බාරහාර වෙනව. දාන මානවල යෙදෙනව. ඒත් දුක ඉවර වෙනවද? නෑ. ඉතින් හිතින් හූල්ලනව. එතකොට හිත අවුල් වෙනව. හිත දුබල වෙනකොට කය දුබල වෙනව.

ඔය විදිහට ජීවිතය එපා වෙන්නත් පුළුවන්නෙ. කරන කියන දේවල් පල දරන්නෙ නෑ. නරක වෙලාව. මාරක අපල. එහෙමනෙ අපි හිතන්නෙ. ඔබට මතක ඇති මීට කලින් අපි කතා කළා උත්සාහය ගැන. අධිෂ්ඨානය ගැන. ඒ දෙකම ජීවිතයට ඕනෑ. නැත්නම් ජීවිතේ කඩාවැටෙනව කියල මේ පසුබැසීම නවත්වන්න පුළුවන් බලගතු දෙයක්‌ තමා මෛත්‍රි භාවනාව. මෛත්‍රි භාවනාවෙන් ලැබෙන්නේ මානසික සහනයක්‌.

මොකද මනස කියන්නෙ කුළු මී හරකෙක්‌ වගේ. මත් ඇතෙක්‌ වගේ. ඒක හීලෑ කරන්න අමාරුයිs. හැබැයි මෛත්‍රි භාවනාව පුරුදු කළ හිතට ඒ අමාරු වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. අපි මෙහෙම බලමු. ඔබේ හිතට නරකක්‌ ආවහම ඔබ ක්‍රියා කරන්නෙ කොහොමද? ඇයි හිතට තරහ එන්නෙ. දැන් බලන්න මව් තුරුලේ ඉන්න පුංචි දරුවෙක්‌ මේ ලෝකය පෙරලුනත් කලබල වෙනවද? එයාගේ හිත හරිම සුන්දරයි, සැහැල්ලුයි. පිරිසිදුයි. හැබැයි දරුව ටික ටික ලොකු වෙනකොට හිතත් ටිකෙන් ටික හුඟාක්‌ දේවල්වලින් පිරෙනව නේද? ඊට පස්‌සෙ ඒ දරුවට මොකද වෙන්නෙ.

අන්න ඒ නිසා මේ හිත හීලෑ කිරීමට, නිවා ගැනීමට අප වෑයම් කළ යුතුයි. ඒ සඳහා හොඳම භාවනාව මෛත්‍රි භාවනාව. ඒක හරිම ආනුභාව සම්පන්නයි. හරිම සහනසීලයක්‌ හිතට දැනෙනවා. අපි බලමු මෛත්‍රි භාවනාවෙ ආනිසංස මොනවද කියල. අපට එයින් ලැබෙන ප්‍රයෝජන මොනවද කියල. බුදු හාමුදුරුවො පෙන්වා දෙනව චෛතසික විමුක්‌තියට සිත සංවර කිරීමට, නිවා ගැනීමට මෙය ප්‍රගුණ කළයුතු බව.

මෛත්‍රි භාවනාව වඩන අයට සුවසේ නින්ද යනව. සුවසේ අවදි වෙන්න පුළුවන්. නපුරු හීන පේන්නෙ නෑ. එහෙම අය අනිත් අයට හුඟාක්‌ ප්‍රියයි. අමනුෂ්‍ය බයක්‌ නෑ. සම්‍යක්‌ දෙවියන්ගෙ පිහිට, බැල්ම තියෙනව. ගිනි බය නෑ. වස විස කැවෙන්නෙ නෑ. ආයුධවලින් හානියක්‌ නෑ. මුහුණ සිරුර පැහැපත් වෙනව. සිත අයාලෙ දුවන්නෙ නෑ. සිහි මුළාවක්‌ නැතුව හැමදේම කලට වේලාවට කරන්න පුළුවන්. අනිත් අය අතර නායකත්වයට පත් වෙනව. ධාරණ ශක්‌තිය අවබෝධය වැඩි වෙනව.

මේවා ලෞකික දේවල්. ඊට අමතරව සිහියෙන් මරණයට පත් වෙනව. මරණ බය නැතුව සන්සුන්ව එයට මුහුණ දෙනව. මරණයෙන් පසු යහපත් උපතක්‌ ලබනව. ඒ වගේම හිත දියුණු කරල නිවන් ලබා ගන්නත් පුළුවන් වෙනව. මෛත්‍රියේ බලය ගැන හුඟක්‌ කතා තියෙනවනෙ. අපේ බුදු හාමුදුරුවො දස බිම්බරක්‌ මාර සෙනඟ පරාද කළෙත් ඒ මෛත්‍රියේ බලයෙන්නෙ. තව ප්‍රකට කතාවක්‌ තියෙනව. එක්‌තරා දඩයක්‌කරුවෙක්‌ එයාගෙ අතේ තියෙන හෙල්ලෙන් දමල ගහනව පැටියට කිරි දිදී ඉන්න එළදෙනකුට. මොකද වෙන්නෙ හෙල්ල ගිහිල්ල ඇඟේ වැදිල ඉබේම අහකට වීසි වෙනව. ඇයි ඒ? ඒ වෙලාවෙ අර එළදෙන තමන්ගෙ පැටියට ආදාරයෙන් මෛත්‍රියෙන් කිරි දිදී හිටිය නිසා. හිතේ තිබුණෙ මෛත්‍රි හැඟීම. යහපත් සිsත.

ඔබ අහල ඇතිනෙ සිංහබාහු නාට්‍යයේ සිංහයා හා සිංහබාහු පුතා අතර සටන ගැන. මහාචාර්ය සරච්චන්ද්‍ර කියන්නෙ පියාගේ මෙත් සිත නිසා පුතා වින්ද ඊතලය වැදුනෙ නෑ කියලනෙ. පස්‌සේ පියාට තරහ එනව. මොකද වෙන්නෙ එතකොටම ඊය වැදිල සිංහය මැරෙනව. මෛත්‍රි සිත නැතිවෙලා වෛරය ආපු ගමන් විපත ඉක්‌මන් වෙනව. හැබැයි ඔබ අහයි එනකොට වෙඩි උණ්‌ඩයක්‌ එනකොට ඒක මෛත්‍රියෙන් නවත්වන්න පුළුවන්ද කියල.

අද ඒකට දෙන්න පුළුවන් පිළිතුර බෑ කියල. ඒත් මතක තියාගන්න බුදුන් දවස සාමා දේවිය ඇතුලු පිරිසට දඬුවම් දෙන්න විදපු ඊතල වැදුනෙ නෑ. ඒ අයගේ මෛත්‍රි බලය නිසා. එනිසා මෛත්‍රිය කියන්නෙ ප්‍රබල මානසික බලයක්‌. මෛත්‍රිය කියන්නෙ මෙත්තා කියන එකනෙ. එහි දියවී යන සුළු කියන තේරුමක්‌ තියෙනව. (මෙඡ්ජති කියන්නෙ ඒකට)

මෛත්‍රිය වැඩීමට තැනක්‌ නෑ. යන එන කන බොන හැසිරෙන නිදන ඕනෑම තැනකදි එය සිතින් කළ හැකියි. එයට සීමාවක්‌ නෑ. අප්‍රමාදව සියලු සතුන් කෙරෙහි හොඳ සිහියෙන් මෛත්‍රිය වඩන්න. ඔබේ හැම කටයුත්තක්‌ම පටන් ගන්න කලින් මෛත්‍රිය වඩන්න.

සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. බියෙන් මිදෙත්වා. මමද නිදුක්‌ වෙත්වා. නිරෝගි වෙම්වා. සුවපත් වෙම්වා. බියෙන් මිදෙම්වා. යනුවෙන් හැකි හැමවිටම සිතින් සිතීමයි. මෙහිදි කළ යුත්තේ එසේ සිතන ඔබට නිසැකයෙන්ම ඔබ සිතන පතන සියලු දේ ඉටු කර ගත හැකියි. මෙයට අමතරව රාත්‍රියේ නින්දට පෙර කරණීය මෙත්ත සූත්‍රයත් හඬනගා සඡ්Cධායනා කිරීමත් ඉතා හොඳයි. සිත, කය සන්සුන් කර ගැනීමෙන් පසු ඔබට ලැබෙන ශාන්ත සුවය අප්‍රමාණයි. අසාමාන්‍යයි. විභාග සඳහා පොත පත කියවන අය විශේෂයෙන් මෛත්‍රි භාවයට පුහුණු කරනව නම් එයින් මතක ශක්‌තිය වැඩෙනවා. විභාගයට යැමට පෙර පන්සිල් සමාදන් වී තුන් සරණ සිහිකර මෛත්‍රි භාවනාව සිතින් වඩන්න. ඉන්පසු සන්සුන් සිතින් සැහැල්ලු මනසින් උත්තර ලියන්න. ඔබට ජය සිකුරුයි.

මෛත්‍රි භාවනාව වඩන පුද්ගලයාට ග්‍රහ අපල, වෙනත් දෝෂ මුකුත් නෑ. දෙවියන්ගෙ ආශිර්වාදය බැල්ම ඔහුට තියෙනවනෙ. ඔබට මතක ඇති මුලින් කිව්ව වගේම කිසිම බාහිර දුකක්‌ පීඩාවක්‌ නැහැ කියල. ඒ නිසා ලෞකික ආධ්‍යාත්මික කියන දෙආකාර දියුණුවට මෙම භාවනාව හේතු වෙනව.

We found this article from Divaina on 2013/08/11.