මිනිසා තම සැප පහසුව ආරක්‍ෂාව වෙනුවෙන් නිර්මාණය කරන නිවාස, යාන වාහන, ඇඳ, පුටු, මේස ආදී සැම දෙයකටම වාස්‌තු ඇතිකරන බලය අති මහත් ය. වාස්‌තු යොදා ගෙන, බුදු පිළිම වහන්සේ තම නිවසේ වඩා හිඳුවා පුද සත්කාර කළ යුතු පිළිවෙත දැක්‌වෙන ලිපි පෙළක පළමුවැනි ලිපිය මෙය වේ.
බුදු පිළිම වහන්සේ වඩා හිඳවීමට, දිසා බලය යොදා ගැනීම.
සුබ දිසාව සොයා ගැනීම
තව වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ට පළමු සුබ දිසාව තෝරා ගත යුතුය. පුරාණයේ හෙළදිව පළමු දාගැබ දිවයිනේ ඊසාන දිසාවට අයත් වෙන තිරියායේ පිහිටා ඇත. ඇත්ත වශයෙන් මෙම දිසාවේ බලයක් තිබේ ද, යන්න පළමු ඔබ අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ඔබ සුබ දිසාව සොයා ගැනීමට දැන ගෙන සිටිය යුතුය. සෑම දිනක ම උදය කාලයේ ඔබ හිරු දෙස බලන විට, ඔබගේ වම් අත ඇති දිසාව උතුරයි. හිරු සිටින දිසාවත් උතුරත් අතර මැදි දිසාව ඊසාන දිසාවයි.
දිසා බලය හඳුනා ගැනීම
ඔබ ඉගෙනීම කරන අයෙක් නම් ඊසාන දිසාව ට විවෘත ජනේලයක් අසල පොත් මේසය තබාගෙන ඊසාන දිසාවට මුහුණලා පාඩම් කරන්න. කිසියම් රාජකාරියක් සඳහා මහජනයා පිළිගැනීම කරයි ද, එසේ නම් ඊසාන දිසාව දෙසට ඔබගේ බැල්ම යොමු විය යුතුය. කිසියම් සාකච්ඡාවක් සඳහා ඔබ සූදානම්ව සිටින අවස්‌ථාවක නම් එම අවස්‌ථාවේ දීද ඔබ ඊසාන දිසාව දෙස ට ඔබ මුහුණ ලා වාඩිවන්න. ජය ලබා ගැනීමට ඇති අවස්‌ථාවල දී පහසුවෙන් යමක් අවබෝධ කර ගැනීමට අපහසු අවස්‌ථාවල දී, අන් අය පහසුවෙන් තේරුම් ගැනීමට අපහසු අවස්‌ථා වල දී ඊසාන දිසාවට හැරී කටයුතු කරන්න. එවිට ඔබට දිසා බලය හඳුනා ගත හැක. ඒ මෙන්ම ඔබගේ ආගමික වතාවත් කිරීමට සුදුසු ම ස්‌ථානය ඊසාන දිසාවයි. තම වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ට, පළමු සුබ දිසා වන ඊසාන තෝරා ගත යුතුය.
දිසා බලය ලබා ගැනීම
දිසා බලය ලබා ගැනීමට තම වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ උතුර නැගෙනහිර දිසා ඉතා පිරිසිදු විය යුතුම ය. එම දිසාවෙ වැසිකිළි කැසිකිළි වළවල් තිබීම නිසා ද, දිසා බලය ලැබෙන්නේ නැත. එ මෙන්ම මෙම කරුණු වෙත ද, දැඩි අවධානය යොමු කරන්න. වැසිකිළි කැසිකිළි පිහිටා තිබීම, අපිරිසිදු කාණු පද්ධති පිහිටා තිබීම, ඉවතලන කුණු කසළ රැස්‌කර තැබීම, දුගඳ හමන දැ තැබීම, අපිරිසිදු ඇඳුම් තැබීම, සතුන්ගේ කූඩු තිබීම, මාළු ටැංකි තිබීම, එම දිසාවේ කාමර වල කුඩා ළමුන්ගේ මළ මුත්‍ර වලින් අපිරිසිදු නම් ඉතා අයහපත්ය. මෙම බලපෑම වාසස්‌ථානය වෙළෙඳ ආයතනය පිහිටි ඉඩමට ද එක සේ සාධාරණය.
ඔබගේ දිසාව අපිරිසිදු වී දිසා බලය පිරිහුණු විට
ඔබගේ දිසාව අපිරිසිදු වී දිසා බලය පිරිහුණු විට හෙට දවස හෙවත් ඉදිරිය දැකීමේ නුවන අඩුවීම, ආගමික කටයුතුවල දී සිත කිලිටි වන දේ සිදුවීම. දිනෙන් දින අසාර්ථකත්වය ඇති වීම. වෛරය, කේන්තිය ඇතිවීම, ස්‌ථාන උචිත නුවන නැතිවීම. (තැනේ හැටියට ඇනේ ගහනවා යන අදහස දෙන අරුතින් කියවෙන අදහස නොව නිවැරැදි දැක්‌මක් ඇති වීම) සුවකළ නොහැකි, කල් පවතින ලෙඩ රෝග ඇතිවීම, ජීවිතය අසතුටින් ගෙවා මිය පරලොව යැම නිසා අපාගත වීම.
අට කෝණ කැපෙන රේඛා
වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ අට කෝණ කැපෙන රේඛාවන්ට අසුවන පරිදි බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම. වාසස්‌ථාන වෙළෙඳ ආයතනය පිහිටි ඉඩමේ අට කෝණ කැපෙන රේඛා වන්ට අසුවන පරිදි බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ඉතා අසුබය. ගෘහ මූලික බාහිර පීඩන, වැරදි සිතුවිලි ඇතිවේ.
යට ලී යට
වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ මුදුන් යට ලී යටින් ම සිටින සේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ඉතා අසුබය. වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ මැදින් ඇති යටලී යටින් ම සිටින සේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ද ඉතා අසුබය.
බාල්ක යට
වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ බාල්ක යට, බුදු පිළිම වහන්සේ යටින් ම සිටින සේ වඩා හිඳවීම ඉතා අසුබය. මෙය සිමෙන්ති බීම් වලට ද සාධාරණය.
කුරුපා යට
වාසස්‌ථානයේ වෙළෙඳ ආයතනයේ වහලයේ බර උසුලන කුරුපා යටින් ම සිටින සේ බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ඉතා අසුබය.
බුදු පිළිම වහන්සේ ගේ සිරස ට උඩින් සිටින සේ බර තැන්පත් කිරීම, අපිරිසිදු දැ තැන්පත් කිරීම, බුදු පිළිම වහන්සේගේ සිරස ට උඩින් සිටින සේ ඉහළ මහල වල වැසිකිළි කැසිකිළි පිහිටා තිබීම, බුදු පිළිම වහන්සේගේ සිරස ට උඩින් සිටින සේ ඉවත ලන කුණු කසළ රැස්‌කර තැබීම, බුදු පිළිම වහන්සේගේ සිරසට උඩින් සිටින සේ දුගඳ හමන දැ තැබීම, බුදු පිළිම වහන්සේ සිරස ට උඩින් සිටින සේ අපිරිසිදු ඇඳුම් තැබීම, බුදු පිළිම වහන්සේ ගේ සිරසට උඩින් සිටින සේ සතුන් ගේ කූඩු තිබීම, මාළු ටැංකි තිබීම, කාමර වල කුඩා ළමුන්ගේ මළ මුත්‍ර වලින් අපිරිසිදු වී නම් ද ඉහළින් ගමන් කරයි නම් ද ඉතා අයහපත්ය. මෙය ඉහළ මහල් සඳහා ද සාධාරණය.
බුදුරජාණන් වහන්සේට සැදැ සිතින් වත් පිළිවෙත් කරන විට ඔබගේ සිල් සුවඳ දස දිසාවට ම පැතිරෙන්නේය.
යට ලී, බාල්ක, කුරුපා යට බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම නිසා ගෘහ මූලික ගේ හිස මත ලොකු බරක් තබා ඇතිවාක් මෙන් ම ලොකු පීඩාවක් ගෙන දේ. හරුත් සුන් වදන් පවසයි.
බුදු පිළිම වහන්සේ පොලිතින් කොළ වලින් ආවරණ කිරීම
බුදු පිළිම වහන්සේ පොලිතින් කොළ වලින් ආවරණ කිරීම, බුදු පිළිම වහන්සේ පිරිසිදුව වැඩි කලක් තම නිවසේ වඩා හිඳවීම සඳහා කළ ද විපාක ඉතා අයහපත් ය. කුඩා කුටි තුළ තැන්පත් කිරීම නොකරන්න. ඉටි කවර තුළට ඇතුළු නොකරන්න. ගෘහ මූලික මානසික පීඩනය ට පත්වේ. සහනයක් නොමැති බව, බයාදු බව, අරමුණ රහිත බව ඇති කෙරේ. (බුදු මැදුර සකස් කර ගැනීම සඳහා අවැසි සියලු කරුණු ඉදිරි ලිපියකින් පළ කෙරේ).
රූප පිළිම සමව තැබීම
බුදු පිළිම වහන්සේගේ වඩා හිඳවීම කර ඇති ස්‌ථානයේ සමව වෙනත් රූප පිළිම සමව තැබීම නොකරන්න.
බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම සුදුසු ම ස්‌ථානය
නිවසේ හෝ වත්තේ, ඉඩමේ ඊසාන දිසාව අයත් වන සේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට තෝරා ගන්න.
බුදු පිළිම වහන්සේ වඩා හිඳවීම ට සුදුසු ම දිසාව
බුදු පිළිමවහන්සේගේ මුහුණ නැගෙනහිර දිසාවට සිටින සේ නැගෙනහිර දිසාවට මුහුණ ලා වඩා හිඳුවන්න. නැගෙනහිර දිසාව ට මුහුණ ලා පිළිම වහන්සේ තැන්පත් කළ පසු, ඊසාන දිසාව බලා වැඳ නමස්‌කාර කිරීම කරන්න. එවිට ඔබට එකත් පස්‌සව පසඟ තියා වැඳ නමස්‌කාර කළ හැකි ය.
බුදු පිළිම වහන්සේ වඩා හිඳින ආසනයේ උස
වඩා හිඳුවන ආසනය උස බොහෝ සෙයින් වැදගත් වේ. ඔබ ගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩියා නම් අසුන් පනවන උස සැලකිල්ලට ගන්න. ගමේ පන්සලේ විහාරයේ පිළිමය වහන්සේ වඩා හිඳුවා ඇති උස සැලකිල්ලට ගන්න.
ආලෝක පූජාව
උෂ්ණය ඇති කරන දැඩි ආලෝක බුබුළු, සඳුන් කූරු, කපුරු, පහන් දල්වා තැබීමේ ද බුදු පිළිම වහන්සේට රස්‌නය වදින දුරින් හා දුම් වදින දුරින් නොතබන්න.
පූජා ආසනය
පූජා ආසනය මත හඳුන් කූරු පැකට්, පහන් තිර, යතුරු, පඬුරු ආදී බුදු පිළිම වහන්සේ ට පිළිනොගන්වන ලද දැ නොතබන්න. පිළිගන්වන ලද පූජාවන් පමණක් තබන්න. කාලයෙන් පසු පූජාවන් අස් කරන්න. පූජාසනය පිරිසිදුව නිදහස් ව තබන්න.
පූජාවන් තැන්පත් කිරීමට පූජාසනය මත තැබීම ට භාජන තෝරා ගැනීම
බුදු පිළිම වහන්සේට පිළිගන්වන පූජාවන් පිරිසිදුව කළ යුතුය. ඒ සඳහා පළමු ව ඔබගේ නිවසට මහ රජතුමා වැඩියා නම් ඔබ යමක් පිළිගන්වන් ආකාරය සිහියට නගන්න. ඒ සඳහා සුදුසු භාජනයක් දැන් ඔබට ට තෝරා ගත හැකි ය. කැඩුණ, අපිරිසිදු, ඔබත් පාවිච්චි කිරීමට අකමැති භාජනවල බහා පූජාවන් නොකරන්න. අයහපත් භාජන තුළ පූජාවන් කිරීම නොකරන්න.
බුද්ධ පූජාව අස්‌කිරීම කරන විට ජීවමාන බුදු රජාණන් වහන්සේ ඔබගේ නිවසට වැඩම කර ඔබගේ පූජාවන් පිළිගෙන ඇතැයි යන හැඟීමෙන් අස් කිරීම් කටයුතු කරන්න. ඉවත ලන විටද එම සිතුවිල්ල ම ඇති කර ගන්න. සතුන් ට කෑමට දෙනවා යන දෙවැනි සිතුවිල්ල ඇතිකර ගැනීම හා එසේ කිරීම අයහපත්ය.
We found this article from Divaina on 2013/05/24.
Also Sinhala to English Google word to word translation can be found here