ඔබට පිටරට යන්නට හඳහනින් නිරතුරු පිහිට කේන්දරයෙන් හරි දේ ගන්න දුර්මතයට ඉඩ නොදෙන්න

0
596
පිටරට
පිටරට

[ratings]

මොන ක්‍රමයකින් හෝ රැකියා සඳහා පිටරට ගිය අයගේත්, පිටරට යන අයගේත් සංඛ්‍යාව බොහෝ විශාලය. එසේ නමුත් විදේශ රැකියා සඳහා මෙතෙක්‌ පිටරට ගිය බොහෝ දෙනෙකුට අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දෙන්නට සිදුවූ බව අප දනිමු.

විදේශ රැකියා සඳහා තම නිවසින් යහතින් පිටව ගිය සමහරුන් ආපසු ආවේ අතපය කඩාගෙනය. සමහරුන් ආපසු ආවේ නැත. සමහරුන් විදේශයන්හිදී සිර දඬුවම් ලැබූහ. සමහරුන්ගේ මළසිරුරු ආපසු එවනු ලැබීය.

ශුභාශුභ පල

කෙනෙකුට විදේශ රැකියාවකින් ශුභ පල ලැබෙන්නටත් තවත් කෙනෙකුට අශුභ පල ලැබෙන්නටත් හේතු තිබිය යුතුය. ඒ හේතු පිළිබඳව මේ ලිපියේ අවසානයේ දී කරුණු ඉදිරිපත් කරන්නෙමු.

විදේශ ගතවන වාසනාව

දිනපතා නිරන්තරයෙන් උදාවී බැසයන රාශි දොළසක්‌ සහිත ලෝකයක ජීවත් වන අප යම්කිසි රාශියක්‌ නැගෙනහිර ක්‌ෂිතිජයේ උදාව පැවතුන මොහොතක ජන්ම ලාභය ලැබුවෝ වෙමු.

එසේ හෙයින් කෙනෙකු උපදින මොහොතේ උදාව පවතින රාශිය එම පුද්ගලයාගේ ලග්නය බවට පත්වී රාශි දොළසකින් යුත් කේන්ද්‍රයක්‌ සැකසී එම පුද්ගලයාගේ ජීවිතයට බලපෑම් එල්ල කරයි. ජන්ම කේන්ද්‍රයක ඇති රාශි දොළසින් හා එම රාශි දොළසේ විවිධාකාරයෙන් පිහිටන ග්‍රහයන් නවදෙනාගෙන් බොහෝ දේ කියවෙන නමුත් අද මේ ලිපියෙන් අපගේ විමසුමට ලක්‌වන්නේ කෙනෙකුගේ විදේශ රැකියා වාසනාව පිළිබඳවය.

විදේශ ගමන්

උත්පත්ති කේන්ද්‍රයක විදේශ ගමන් සඳහා මුල් වන්නේ 01-02-03-06-07-09-12 යන රාශීන්ය. ඒ අනුව

පිටරට යන වාසනාව

1. ලග්නාධිපති ග්‍රහයා 07 වැන්නේ සුබ ග්‍රහයෙකු සමග සිටියදී 07 වැන්නට ශුභ දෘෂ්ටි වැටුණහොත් එම ජන්මියාට විදේශ ගතවන්නටත්, එහි වාසය කරන්නටත් ලැබේ.

2. 02 වැන්නාධිපතියා බලයෙන් යුක්‌තව 12 වැන්නේ සිටියහොත් එම ජන්මියාට පිටරට යන්නට ලැබේ. එසේම එහිදී ධනය ලබන්නට හැකි වේ.

3. ජන්ම කේන්ද්‍රයේ 03 අධිපතියා 12 හේ සිටි විට එම ජන්මියාට තම ඥතීන්ගෙන් වෙන්ව විදේශගතව සිටීමට කරුණු යෙදෙයි.

4. ජන්ම කේන්ද්‍රයේ 04 වැන්න දුර්වල වූ විටද විදේශගත වීමට කරුණු යෙදෙන්නට හැකිය.

5. 05 වැන්න අධිපතියා 12 හේ සිටි විට පිටරට ගමන් යෙදෙයි.

දඬුවම් ලැබේ

6. 06 වැන්නාධිපතියා 12 වැන්නාධිපතියා සමග ලග්නගතව සිටියදී 08 වැන්නාධිපතියා පාප පීඩිත වුවහොත් පිටරටකට යන්න ලැබෙන නමුත් එහිදී දඬුවම් පවා ලැබෙන්නට හැකිය.

ධනය ලැබේ

7. 07 වැන්නාධිපතියා පාප පීඩිත නොවී ශුභ ග්‍රහයකු සමග 07 වැන්නේ සිටියහොත් පිටරට යන්නටත් එහිදී ධනය උපයා ගන්නටත් ලැබේ.

ප්‍රතිකාර ගැනීමට

8. 08 වැන්නාධිපතියා 06 වැන්නාධිපතියා සමග දුබලව සිටියහොත් එම පුද්ගලයාට අසනීපවලට ප්‍රතිකාර ගැනීමට පිටරට යන්නට සිදුවිය හැකිය.

ජීවිතය පිටරට

9. 09 වැන්නාධිපතියා 04 වැන්නාධිපතියා සමග ශුභ තත්ත්වයෙන් 04 වැන්නේ සිටියහොත් පිටරටක ජීවත් වන්නට ලැබේ.

විදේශ රැකියා

10. 10 වැන්නාධිපතියා ශුභ තත්ත්වයෙන් ශුභ දෘෂ්ටි සහිතව 12 වැන්නේ සිටියහොත් විදේශ රැකියා ලැබේ.

11. 12 වැන්නාධිපතියා පාප පීඩිතව 12 වැන්නේ සිටියහොත් එයද විදේශගත වන යෝගයක්‌ බවට පත්වෙයි.

පූර්ණ සඳු

12. ජන්ම කේන්ද්‍රය කටක ලග්නය වී පූර්ණ සඳු 11 වන වෘෂභ රාශියේ සිටි විටද විදේශ ගමන් ඇති වේ.

13. විශේෂයෙන් සිකුරුද 11 වැන්නේ සිටියහොත් ස්‌ථිරවම විදේශගත විය හැක.

ගුරුගේ දායකත්වය

14. රාහුගෙන් 12 වැන්නේ උපතින් ගුරු යෙදී නැවත ගෝචරයෙන් 12 වැන්නට රාහු පැමිණි විටද විදේශ ගමන් යෙදේ.

15. රාහු ගුරු සංයෝගව 01-03-04-09-10-11 යෙදීමෙන්ද විදේශ ගමන් ඇති වේ.

16. රාහුගෙන් 12 ගුරු යෙදී ගුරු මහා දශාව යෙදුන විටද විදේශගත වීමට හැකිය.

රාහුගේ බලපෑම

රාහු සැලකෙන්නේ සංචාරක ග්‍රහයා වශයෙනි. ඒ නිසා රාහුගේ බලපෑමක්‌ නැතිව විදේශ ගමන් යෙදෙන්නේ නැතැයි කියති.

17. රාහු ගුරු සංයෝගය ජන්ම කේන්ද්‍රයක 01-03-04-09-10-11 යන රාශිවල යෙදුන විටද විදේශගත වීමට හැකිය.

18. රාහු බලවත්ව 11 වැන්නේ සිටින විට බටහිර රටවලට යන්නට ආසාවක්‌ ඇතිවන බවද කියවේ.

19. රාහු 12 යෙදීමෙන්ද විදේශ ගමන් ඇති වේ.

20. නමුත් ජන්ම කේන්ද්‍රයේ 12 වැන්න මුල් වී විදේශ ගමන් යෙදුන විට අධික වියදම් යෙදෙයි.

21. රාහු ග්‍රහයා 01-07 යන ස්‌ථානවල උපතින් යෙදී ගෝචරයෙන් රාහු නැවත 07 වැන්නේ ගමන් කරන විට විවාහක ස්‌ත්‍රී පුරුෂයන් වෙන් කරවමින් විදේශගත කරවයි.

කුම්භ ලග්නය

01. කුම්භ ලග්නයේ මේෂ-වෘෂභ-මිථුන යන නවාංශකයක්‌ නොයෙදී, සිකුරු 10 වන රාශියේ සිටියහොත් සිකුරු මහා දශාවේදී විදේශ රැකියා ලැබෙන වාසනාව ඇති වේ.

02. කුම්භ ලග්නයේ ගුරු ලග්න ගතව යෙදීමෙන්ද විදේශගත වීමට ලැබේ.

ධනු ලග්නය

01. ධනු ලග්නයේ ගුරු සිකුරු 04 වැන්නේ සංයෝග වීමෙන්ද විදේශගත වීමට කරුණු යෙදේ.

02. ධනු ලග්නයේ දී, ලග්නාධිපති ගුරු ග්‍රහයා 01-04 රාශිවල බලවත්ව සිටි විට අධ්‍යාපනය හෝ වෘත්තිය සම්බන්ධයෙන් හෝ විදේශගත වීමට වාසනාව ඇති වේ.

තුලා ලග්නය

01. තුලා ලග්නය යෙදී බුධ සිකුරු 10 වැන්නේ යෙදීම ද විදේශගත වන යෝගයකි.

මිථුන ලග්නය

01. මිථුන ලග්නයේ දී බුධ 04-10 යෙදීම ද විදේශගත වීමට යෙදෙන යෝගයකි.

02. එසේම මිථුන ලග්නය යෙදී ශනි 05 සිටි විට අධ්‍යාපනය සඳහා විදේශගත විය හැකිය.

කුජගේ යෙදීම

ජන්ම කේන්ද්‍රයක හදිසි ධන ලාභ පිළිබඳව කියවෙන්නේ 08 වන රාශියෙනි.

01. මේෂ ලග්නයට කුජ 08 පිහිටීමෙන් ධනය සඳහා විදේශගත වීමට රුකුලක්‌ ලැබේ.

නව වන රාශිය

උත්පත්ති ජන්ම කේන්ද්‍රයක වන්දනා ගමන්, චාරිකා, විනෝද ගමන් පිළිබඳව කියවෙන්නේ 09 වන රාශියෙනි.

නව වන රාශිය සහ නව වැන්නාධිපතියා ජන්ම කේන්ද්‍රයේ බලවත්ව සිටි විට ඉහත සඳහන් ගමන් යෙදේ.

එසේම එම ගමන්වලින් විනෝදය සහ සතුට ලැබේ.

ඒරාෂ්ඨක අපල

සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙන ඒරාෂ්ඨක අපල කාලවලදී ද විදේශ ගමන් යෙදේ. එසේ විදේශ ගමන් ඇති වන්නේ තාවකාලිකව හෝ ජන්මියාව තම නිවසින් හා ඥති හිත මිත්‍රාදීන්ගෙන් ඈත් කර තැබීමටය.

එනමුත් ඒරාෂ්ඨක අපල කාලවලදී විදේශ ගත වීමේදී තමාගේ ජන්ම කේන්ද්‍රයට නොගැලපෙන රටවලට යන්නට සිදු වුවහොත් දස දුක්‌ විඳීමට සිදු වේ.

වාසනා ග්‍රහ රටා

ඉහතින් දැක්‌වූයේ යම් කිසිවකු මේ පෘථිවියේ යම්කිසි රටක උපත ලබා සිටියදී, එම පුද්ගලයාට රැකියාවකට හෝ පදිංචිය පිණිස වෙනත් රටකට යන්නට වාසනා රටේ දේශාංශය හා අක්‌ෂාංශය එම පුද්ගලයාගේ කේන්ද්‍රයේ ජන්ම දේශාංශය හා අක්‌ෂාංශය වශයෙන් සලකනු ලැබේ.

ඉරණම වෙනස්‌ වේ

ඒ හේතුවෙන් මේ ජන්ම දේශාංශය හා අක්‌ෂාංශය මොනයම් ක්‍රමයකින් හෝ වෙනස්‌ වූ විට එම ජන්මියාගේ ඉරණමද වෙනස්‌ වේ. එසේම එම දේශාංශය හා අක්‌ෂාංශය වෙනස්‌වීම එම ජන්මියාගේ වාසනාවට හෝ අවාසනාවටද හේතු වේ.

සංක්‍රමික කේන්ද්‍රය

යම් කිසිවකු ඉගෙනීමක්‌ සඳහා හෝ රැකියාවක්‌ සඳහා හෝ පදිංචිය සඳහා හෝ තමන් උපන් රටෙන් විදේශ රටකට සංක්‍රමණය වන්නේ නම් එම සංක්‍රමණයෙන් (විදේශ ගතවීමෙන්) තමාට යහපතක්‌ වේද අයහපතක්‌ වේදැයි දෛවඥයකු ලවා බලවා ගැනීම තමාගේ යහපතට හේතුවේ.

ජාත්‍යන්තර වේලාව

මෙබඳු අවස්‌ථාවක දෛවඥයා විසින් කළ යුත්තේ, එම ජන්මියා යන්නට බලාපොරොත්තු වන රටට අයත් නගරයෙහි හෝ ස්‌ථානයෙහි දේශාංශය හා අක්‌ෂාංශය අනුව එම රටෙහි හා නගරයෙහි “වේලාවේ වෙනස” සොයාගෙන ජාත්‍යන්තර වේලාව අනුව ලග්න ස්‌පූඪය සහිතව අලුත් කේන්ද්‍රයක්‌ සාදාගෙන, එම ලග්න ස්‌පූඨය සහිත අලුත් කේන්ද්‍රයෙහි එම රටට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන ජන්මියාගේ කේන්ද්‍රයෙහි ඇති ග්‍රහචාරය සංක්‍රමික කේන්ද්‍ර සටහනෙහිද සටහන් කිරීමය.

එවිට එම ජන්මියාට අලුත් ලග්නයක්‌ සහිත කේන්ද්‍රයක්‌ ලැබේ.

සංක්‍රමික අලුත් ලග්න කේන්ද්‍රය

සංක්‍රමික අලුත් ලග්න කේන්ද්‍රයේ ග්‍රහ රටාව අනුව, ජන්මියාගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපතියා හෝ චන්ද්‍ර රාශ්‍යාධිපතියා හෝ සූර්ය රාශ්‍යාධිපතියා සංක්‍රමික කේන්ද්‍රයේ 06-08-12 යන රාශියක තැන්පත්ව සිටියහොත් එම ජන්මියාට තමා යන්නට බලාපොරොත්තු වන රට විපත්තිදායකය. අනතුරුදායකය.

අනතුරු හා ජීවිත හානි

ජන්ම කේන්ද්‍රයේ කුජ ග්‍රහයා තමා සිටි තැනින් සංක්‍රමික කේන්ද්‍රයේ 08 වැන්නට ගොස්‌ සිටියහොත් එම ජන්මියාට අනතුරු හා ජීවිත හානි ඇති විය හැකිය.

රෝග පීඩා

සෙනසුරු ග්‍රහයා උත්පත්ති ජන්ම කේන්ද්‍රයේ තමා සිටි තැනින් සංක්‍රමික කේන්ද්‍රයේ 06 වැන්නට ගොස්‌ සිටියහොත් ජන්මියාට තමා යන රටේදී රෝගවලින් පීඩා විඳින්නට සිදු වේ.

රැකියා ලාභ

ජන්ම කේන්ද්‍රයේ ශුභ තත්ත්වයෙන් සිටින ගුරු ග්‍රහයා සංක්‍රමික කේන්ද්‍රයේද 10 වැන්නේ ශුභ තත්ත්වයෙන් සිටියහොත්, එම ජන්මියාට තමා යන රටේ දී රැකියා ලාභ හා රැකියාවෙන් ධනය ලැබේ.

සැප සම්පත්

ජන්ම කේන්ද්‍රයේ තමා සිටි තැනින්, සංක්‍රමික කේන්ද්‍රයේ ශුභ ස්‌ථානයක ශුභ තත්ත්වයෙන් සිටින සිකුරු එම ජන්මියාට එම රටේදී සම්පත් හා සතුට මෙන්ම විනෝදය ද ලබාදෙයි.

රට යන්නට පෙර

රට යන්නට පෙර සංක්‍රමික කේන්ද්‍රයක්‌ සාදවා ගෙන තමා යන රට තමාට ශුභද අශුභද කියා බලවා ගැනීම තමාගේ යහපතට හේතු වෙනවා ඇත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here