ඔබේ කේන්ද්‍රයේ සිකුරු කොතැනද?

0
932
සිකුරු
සිකුරු

[ratings]

සිකුරු ග්‍රහ තරුවකි. කලකදී පෘථිවියට ළංවී තවත් කලකදී ඈත්වෙයි. මීදුමින් වැසී ඇති බැවින් ඉතා ශීතල වේ. සුරගුරු ළඟට සෞම්‍ය ග්‍රහයා සිකුරු වෙයි. සුරගුරුගේ පුත්‍රයා ලෙස හඳුන්වා ඇතත් ස්‌ත්‍රී ග්‍රහයෙකි. සියලු සුබඵල උදා කිරීමේ සමත් වෙයි.

උපතේදී සිකුරු ලග්නගත වී නම් සුන්දර රූපයකින් යුත් සත් පුරුෂයන් ඇසුරු කරන්නෙකු වේ. සතුරන් නසයි. සුන්දර ස්‌ත්‍රීන් හා කෙළිලොල් දිවිය ඇත්තෙකි. දෙලොව වැඩදායක දැහැමි ක්‍රියාවන්හි යෙදෙයි. ධන හානියක්‌ හෝ ආහාර හිඟයක්‌ ඇති නොවේ. දරුණු වේදනා විඳින්ට සිදුනොවේ. උච්ච, ස්‌වක්‍ෂේත්‍ර ආදී බලයෙන් යුත් වීනම් ඉතා ශුභ පල උදාකරයි. ස්‌ත්‍රියකගේ නම් ඇය සිටින නිවසට සිරිකත ළඟා වෙයි. සිකුරු උච්චව ලග්නයේ සිටීමෙන් ඉමහත් ශුභ පල ලබාදෙන පංච මහා පුරුෂ යෝගයක්‌ වූ මාලවියෝගය උදාවෙයි.

සිකුරු දෙවැන්නේ නම් නිරායාසයෙන් ධනය ලැබේ. ප්‍රියංකර මුහුණ වේ. ප්‍රඥවන්තය. යහපත් ඇස්‌ හා ප්‍රිය වචන ඇත්තෙකි. චාරිත්‍ර ගරුක වේ. භාණ්‌ඩාගාරය වස්‌තුවෙන් පිරේ. දෙක ධනු රාශිය වුවොත් විවාහය සපල වන්නේ කලාතුරකිනි.

තෙවැන්නේ සිකුරු දරු සැපයෙන් පරිපූර්ණ කරයි. දීමෙහි ලෝභී වේ. ලක්‍ෂණ මුහුණ හා මුඛය වෙයි. නීරෝගී වේ. සේනාධිපති වෙයි. ලෝකයෙන් කිත් පැසසුම් ලබයි. සංහෝදර සහෝදරියන් අතර ප්‍රධාන වේ. සංගීතයට, චිත්‍රයට හා කාව්‍යකරණයට දක්‍ෂ වේ. බොහෝවිට තමාට බාල සහෝදරියක්‌ වෙයි.

සිව්වැන්නේ සිකුරු සිටි කල මහත් කොට පිදිය යුත්තෙක්‌ වෙයි. සතුට හා කෝපය සම සමව පවතී. මවට මහත් සැප ගෙන දේ. හතරට සිකුරු දික්‌ බලවේ. ලක්‍ෂණ භාර්යාවක්‌, ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී සිතූ පැතූ සම්පත් ලබාදෙයි. ජීවිතයේ අග කොටස සැපසේ ගෙවෙයි.

සිකුරු පුත්‍රස්‌ථානය මෙන්ම විද්‍යාස්‌ථානයට ගිය කල දරු සැපය ඉතා ඉහළින් ලැබේ. දරුවෝ ලක්‍ෂණ වෙති. ගැහැනු දරුවන් වැඩිවේ. දරුවෝ ඉතා කීකරු වෙති. ඉගෙනීම කරන කාලයේ සිකුරුගේ දශාව ලැබුවොත් විනෝදකාමී බව නිසා ඉගෙනීම දුර්වල කරගනී. නැතහොත් ඉගෙනීමෙන් දියුණු වේ. ස්‌ත්‍රියක නම් පුරුෂ ඇසුරටත්, පුරුෂයකු නම් ස්‌ත්‍රී ඇසුරටත් ප්‍රිය කරයි. ලෞකික සැප ඉහළින් බලාපොරොත්තු වේ.

හයේ සිකුරු සතුරන් ඇති කරයි. එහෙත් ඔවුන් බලවත් නොවේ. ධන හානි ඇති කරයි. ආහාර වලින් ප්‍රවේශම් විය යුතුයි. අසත්පුරුෂ සේවනයෙන් නොමග යයි. පියාට අයහපත්ය. මෙහෙකාරාදීන්ට හොඳින් සලකයි. හය, මකර, තුලා රාශියක්‌ වීනම් යහපත් වේ. කෙසේ වුවත් බරපතළ අගුණ ඇති නොකරයි.

සිකුරුට ඉතාම හොඳ තැන සත් වැන්නයි. උතුම් ස්‌ත්‍රී සැප හෝ පුරුෂ සැපය හෝ ලැබේ. දෙපසින්ම දායාද, මිල මුදල් ලැබේ. සුදුසු කල්හිම විවාහ වෙයි. විවාහයෙන් පසු ජීවිතය ඉතා යහපත් වේ. කාමාධික වේ. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලැබේ. කලා ශාස්‌ත්‍රයන්හි මනා පටුත්වය ඇත්තෙක්‌ වෙයි. මිත්‍රත්වයට ඉතා යහපත්ය. උකුල් ප්‍රදේශයේ වාතාබාධ ඇති කළ හැක.

අට වැන්නට කිසිම ග්‍රහයෙකු ශුභ නොවේ. තරමක්‌ හෝ යහපත් සිකුරු පමණකි. ඒ ශාන්ත මරණයක්‌ වන බැවිනි. වකුගඩු රෝග මෙන්ම හෘදය රෝගද ඇති කරයි. අමිහිරි වචන වේ. දීර්ඝායුෂ දේ. දුකසේ ධනය සපයයි. සතුරන් නැසීමට වෙහෙසේ.

නව වැන්නේ සිකුරු මහත් ධන සම්පත් ලබාදෙයි. ධාර්මික ජීවිතය වේ. සෞඛ්‍ය සම්පන්න වේ. සහෝදර සැප ලැබේ. පියාට ඉතා යහපත් පිහිටීමකි. උසස්‌ ඉගෙනීම ලබයි. වැඩිහිටියන් පුදන්නෙකි. සියුම් කර්මාන්තයන්හි දක්‍ෂ වේ. ඉතා යහපත් පිහිටීමකි.

සිකුරු දහයේ නම් රජයේ තනතුරු ලබයි. බර වැඩවල යෙදෙන්ට සිදුනොවේ. උසස්‌ අයගේ උපකාර ලැබේ. යහපත් ගතිගුණ පිහිටයි. දැසි දසුන්ගේ සිත් දිනාගනී. අධික වියදම් වලින් කරදර පැමිණේ.

එකොළහ සියලු ග්‍රහයන්ට මෙන්ම සිකුරුටද ඉතාම යහපත් තැනකි. උසස්‌ මිතුරන් ඇතිවේ. වැඩි මහන්සියකින් තොරව ආදායම් ලබයි. එවැන්නාගේ කිතු ගොස දසත පැතිරේ. ස්‌ත්‍රී පක්‍ෂයේ මිතුරියන්ගෙන් බොහෝ උපකාර ලැබේ. විශ්වාසවත් පුද්ගලයකු වේ. තීක්‍ෂණ බුද්ධිය ඇත්තෙකි. ග්‍රන්ථකරණයට ඉතා හොඳ පිහිටීමකි. සතුරන් නැත. රූප ශෝභාව මෙන්ම චතුර කථිකත්වය ඇත්තෙකි.

දොළොස්‌ වැන්නේ සිකුරු සිටි කල වරින්වර ආදායම්ද නිරතුරු වියදම්ද ඇති කරයි. කරන ක්‍රියාවේ තරමට ප්‍රතිඵල හීන වේ. හොර රහසේ වැරදි කරන්නෙකි. ස්‌ත්‍රී සංගම්, මත්පැන්, සූදු ආදියට ආශා කරයි. අක්‍ෂි රෝග සාදයි. බොරු ඔපයට වියදම් කරයි. වෘෂභ, මීන, තුලා ආදී රාශියක්‌ව යහපත්ව සිටියොත් දීර්ඝායුෂ දේ. වටිනා මහජන සේවකයෙකි. බල දුබලතා අනුව, මවුපස සොහොයුරියන්ගෙන් ලාබ ප්‍රයෝජන හෝ ඔවුන් සමග අමනාපකම් හෝ ඇති කරයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here