ඔබේ සහකාරිය වාසනාවන්තද?

2043
සහකාරිය
සහකාරිය

නව යොවුන් වියට පත්වන තරුණ තරුණියන්ගේ එකම ප්‍රාර්ථනය වනුයේ විවාහයයි කිවහොත් මුසාවක්‌ නොවේ. සමහර තරුණ තරුණියන් ඔවුනොවුන් දැන හඳුනාගෙන ආදරය කිරීමෙන් විවාහය සිදුකර ගන්නා අතර තවත් කොටසක්‌ දෙමවුපියන් හෝ වැඩිහිටියන් විසින් ගෙන එන මංගල යෝජනා අනුව යුග දිවියට ඇතුළත් වෙති. මේ කුමන අයුරකින් යුගදිවිය ආරම්භ කළත් ඔවුන් ජීවත්ව සිටින තාක්‌ කල් සතුටින් සමාදානයෙන් ජීවත් වන අය ඉතාමත් සුළු පිරිසක්‌ බව ද නොරහසකි. සමහර අය විවාහ වී සුළු කලකින් වෙන්වන අතර තවත් අය දරුවන් දෙතුන් දෙනකු ලබා ටික කලකින් වෙන් වෙති. තවත් පිරිසක්‌ ආලය ආදරය අහිමිවීමෙන් සෝ සුසුම්ලමින් ජීවත් වෙති.

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය දේහ ලක්‍ෂණ විද්‍යාව හෝ වෙනත් ගුප්ත ශාස්‌ත්‍රීය ක්‍රමයන්ට අනුව විවාහය සාර්ථක වීම හෝ අසාර්ථකවීමට හේතු කොතෙකුත් විග්‍රහ කර පෙන්වා දී ඇත. යුග දිවිය සාර්ථක වීම පිළිබඳව විමසා බැලීමේදී විවාහයට සුදුසු ස්‌ත්‍රීන් පිළිබඳවත් දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව කොටස්‌ කීපයකට බෙදා වෙන් කර විග්‍රහ කර ඇති බව පෙනී යයි. විවාහයට සුදුසු ස්‌ත්‍රීන් පිළිබඳව විග්‍රහ කළහොත් පත්මිණි, චිත්‍රානි, හස්‌තිනි යනුවෙන් කොටස්‌ කීපයක්‌ ද උත්තමා, මධ්‍යමා, අධම යනුවෙන් තවත් ස්‌ත්‍රීන් කොටසක්‌ ද වර්ග කර ඇත.

චිත්‍රාණි ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත වනිතා තොමෝ ආගම ධර්මයට ලැදියාවක්‌ දක්‌වන්නියකි. අන්‍යයන්ගේ සිත් ඇද ගැනීමේ මිහිරි කටහඬක්‌ සහිත ශෛලියක්‌ ඇත. මනුෂ්‍ය සත්ව ආදී සියල්ලන් වෙතම දයාව අනුකම්පාව සහිත මෛත්‍රී සිතින් බලන්නියක්‌ වෙයි. ඇයගේ දේහ ලක්‍ෂණ කෙසේද යන්න බැලුවහොත් වඩාත් මිටි හෝ උස්‌ නොවන මධ්‍යම ප්‍රමාණයේ ශරීරයකින් හෙබි පයෝධරයන් ඉතාමත් ලස්‌සනට ක්‍රමානුකූලව සිත් ගන්නා හැඩයකින් පිහිටයි. උසට මහතින් යුක්‌ත අන්‍යයන්ගේ නෙත් සිත් වශී කරගන්නට සමත් වෙයි. නෙළුම් මලක්‌ වන් වූ ප්‍රියංකර පෙනීමෙන් යුක්‌ත අන්‍යයන් වශී කර ගන්නට සමත් ඇස්‌ යුගළක්‌ හිමි වෙයි.

තම ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කරන්නට නිතරම උත්සාහ කරයි. ගුණ ධර්මයන්ගෙන් යුක්‌තය. පතිවත තම ජීවිතය මෙන් ආරක්‍ෂා කරයි. චිත්‍රානි නම් වූ මෙම ස්‌ත්‍රීන් සමඟ විවාහයට ඇතුළත් වූ පුරුෂයන් ඉතාමත් වාසනාවන්ත දිනෙන් දින දියුණුවට පත්වන ජීවිතයකට හිමිකම් ලබයි.

විවාහයට සුදුසු ස්‌ත්‍රියක්‌ ලෙසින් පද්මිණි ස්‌ත්‍රිය ද හඳුන්වා දෙයි. මෙම ස්‌ත්‍රීන් වාසය කරන නිවෙස්‌ හි දුක, ශෝකය, භීතිය ආදිය සදහටම තුරන් වූ කෙටියෙන් කිවහොත් දිව්‍ය විමානයක්‌ ලෙසින් හඳුන්වා දීමට සුදුසු යෑයි මම අදහස්‌ කරමි. පද්මිණි ගණයට වැටෙන කාන්තාව කුඩා නාසයක්‌ සහිත සිහින් සිරුරින් යුක්‌ත වෙයි. දිගුවන් වූ කේශ කල්‍යාණයෙන් හෙබි, ලස්‌සන ප්‍රිය උපදවන නේත්‍රා යුගලයක්‌ හිමිව සුවඳවත් වූ ශරීරයක්‌ හිමි ඇය කරුණාව මෛත්‍රියෙන් හෙබි අයෙකි. අන්‍යයන්ගේ සිත් ඇද ගැනීමේ මිහිරි කටහඬක්‌ ඇත. මධ්‍යම ප්‍රමාණයෙන් යුක්‌ත ප්‍රියංකර ශරීරයකින් හෙබි මල් කැකුලක්‌ බඳු පියයුරු දෙකක්‌ හිමි වන්නීය. පත්මිණි ස්‌ත්‍රිය ස්‌වකීය පතිවත රකිමින් ගාම්භීර දිවියක්‌ ගෙවන තම ස්‌වාමිපුරුෂයාට දැඩි භක්‌තියක්‌ ආදරයක්‌ දක්‌වන ඕ තොමෝ අන් පුරුෂයන් පවා වශී කර ගැනීමට හැකියාව ඇත්තියක්‌ වෙයි. මෙම ස්‌ත්‍රීන් සමඟÊයුගදිවිය ගෙවන පුරුෂයන් ද වාසනාවන්තයන් ලෙස හඳුන්වා දීමට පුළුවනි.

යුග දිවිය සුදුසු නැති ස්‌ත්‍රීන් පිළිබඳව විග්‍රහයේදී සංණී නම් කාන්තාව පිළිබඳව කරුණු විග්‍රහ කර බලමු. තම ස්‌වාමි පුරුෂයාට හෝ වැඩිහිටි ඥාතීන්ට කිසිත් ගරු සරුවක්‌ යටහත් බවක්‌ නොදක්‌වන තම මතයට අනුවම කටයුතු කරන්නියකි. ලැඡ්ජා බිය වලින් තොර වෙයි. ස්‌වාමිපුරුෂයාට සොරෙන් පර පුරුෂයන් සොයා යැමට පෙළඹෙයි. සංඛනී ස්‌ත්‍රියගේ දේහ ලක්‍ෂණ දෙස බලන කල්හි උස්‌ වූ මහත් පයෝධර යුගලයක්‌ ඇති වෙයි. අධික උසින් යුක්‌ත නාසයක්‌ පිහිටයි. තම රූප ලක්‍ෂණ විනාශ වන අන්දමේ උසින් වැඩි ශරීරයක්‌ පිහිටා ඇත. ඇය අන්‍යයන්ගේ සිත් ඇද ගැනීමේ කථාවට දක්‍ෂ වුවද, මුඛයෙන් පිටවන දුගන්දය හේතුවෙන් අන්‍යයන් පිළිකුල් කරන තත්ත්වයට පත්වෙයි. අන්‍යයන්ගේ ගුණ දොස්‌ සොයමින් කේලාම් කියන ගතිය ද ඇයට උපතින්ම පිහිටා ඇත.

කාන්තාවන් වශී කිරීමේදී අසුබ ගණයට වැටෙන හස්‌තිනි නමින් හඳුන්වන කොටසක්‌ ඇත. ඔවුන් කාමාශාව නිසා තම පතිවත කෙළෙසා ගනී. සුරාව සූදුව වැනි දුෂ්චරිතයන්ට පවා පෙළඹෙන අන්‍යයන්ගේ දොaෂාරෝපණයට අප්‍රියත්වයට පත්කරන දුගඳක්‌ ශරීරයෙන් පිට කරයි. විශාල පළල් නාසයක්‌ ඇති හස්‌තිනි ස්‌ත්‍රියගේ පයෝධර විශාලව තදින් යුක්‌ත වෙයි. මහත් වූ ශරීරයක්‌ පිහිටන ඇයගේ නේත්‍ර තද රතු පාටට හුරු බව ද පැරැණි ජ්‍යෙතිෂ ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. හිසේ කෙස්‌ අඩු අවලස්‌සන කේෂ කලාපයකින් යුක්‌තය. එම ස්‌ත්‍රීන් විවාහ කර ගන්නා පුරුෂයන් පවා අකාලයේ විනාශයට පත්වන බව ද සඳහන් වෙයි.

ස්‌ත්‍රීන් වශී කර පෙන්වීමේදී උත්තමා, මධ්‍යම, අධම යනුවෙන් කොටස්‌ තුනකට වෙන්කර සුබ අසුබ පෙන්වා දෙයි. උත්තම වශියට අයත් ස්‌ත්‍රිය නිතරම ආගම ධර්මයට අනුව දිවි පෙවෙතක්‌ ගෙවන්නට ප්‍රිය කරන, තම ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වන්නට උත්සාහ කරයි. ලස්‌සන දන්ත යුගලයක්‌ හිමි ප්‍රිය උපදවන කන් දෙකක්‌ද ඇති වෙයි. උසට සරිලන මහත් ශරීරයක්‌ සහිත ප්‍රිය උපදවන ශරීරයකින් යුක්‌තය. තම ස්‌වාමි පුරුෂයාට දාසියක්‌ මෙන් සලකන නිතරම ඔහුග් දුක සැප දෙකේදීම එක්‌ව කටයුතු කරයි. උත්තම ස්‌ත්‍රී විවාහ කර ගත් පුරුෂයාගේ දියුණුව භාග්‍ය හිමි කර දෙයි.

මධ්‍යම ගණයට වැටෙන වනිතාව දිගින් යුක්‌ත කේශ කලාපයකින් හෙබි සමබරව පිහිටි ශරීරයක්‌ හිමි වෙයි. කථාවෙන් සමාජයේ සිත දිනා ගෙන කටයුතු කළ හැකි අර්ථයට ධර්මයට අනුව කටයුතු කරයි. නිතරම කම්මැලි අලස ගතියෙන් තොරව දැඩි උත්සාහයෙන් කටයුතු කරමින් තම බලාපොරොත්තු සාර්ථක කර ගනී. ප්‍රමාණය ඉක්‌මවා ආහාර ආදිය අනුභව නොකරන ක්‍රමානුකූලව සැකසුරුවම් අන්දමට කටයුතු කරයි. අන්‍යයන්ගේ නෙත් සිත් ඇද ගැනීමට සමත් නේත්‍ර යුගලක්‌ සහිත කන් පෙත් පිහිටයි. මධ්‍යම ස්‌ත්‍රිය දුකේදී මෙන්ම සැපේදී නොසැලී ස්‌ථිර අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් තම පවුලේ දියුණුව, භාග්‍ය උදාකර ගන්නට සමත් වෙයි.

විවාහයට නුසුදුසු ලෙස හඳුන්වා දී ඇති අධම ස්‌ත්‍රිය නිතර කළයුතු හෝ නොකළ යුතු යෑයි තෝරා බේරා ගැනීමකින් තොරව කතා කරන ඒ නිසාම අන්‍යයන් අතර සිනහවට පිළිකුලට පත්වන්නියකි. කිසිත් විලිබියක්‌ නැතිව කටයුතු කරයි. ශරිරයේ රෝම කූපයන් අධිකව පිහිටන මහත් වූ ශරිරයක්‌ ඇති වෙයි. තැන නොතැන නොබලා හඬනගා සිනාසෙන අනවශ්‍ය වචන කතා කරන දිගින් පළලින් යුක්‌ත දත් දෙපළක්‌ පිහිටයි. උදර ප්‍රදේශය මහත් වී ඉදිරියට පිහිටා ඇත. කෙටි කෙස්‌ වැටියක්‌ ඇති නිතරම ලැඡ්ජා බිය ඇති තැනැත්තියක්‌ සේ හැසිරෙයි. මෙම ස්‌ත්‍රීන් බොහෝ විට තම ශරීරයේ අවයව ස්‌පර්ශයට මෙන්ම දර්ශනය වන්නට කටයුතු කරයි. මෙම ස්‌ත්‍රීන් විවාහ කරගත් පුරුෂයා පමණක්‌ නොව සිය පරම්පරාවම විනාශයට පත් වන බව ද පැරැණි ජ්‍යෙතිෂ ග්‍රන්ථයන් හි සඳහන් වෙයි.

We found this article from Divaina on 2012/11/16.
Also Sinhala to English Google word to word translation can be found here