ඔබේ සුරතල් සතුන් කියන සුබ අසුබ පෙරනිමිති

2179
සතුන්
සතුන්

මනුෂ්‍යයා සමඟ නිතරම එකට ජීවත්වන සතුන් අතුරින් බළලාට හා බල්ලාට හිමිවනුයේ අද්විතීය ස්‌ථානයකි. ගවයා ද මනුෂ්‍යයාගේ හිතවතෙක්‌ වුවද ඔහු බොහෝ දුරට ජීවත් වනුයේ නිවසින් බැහැරව ගෙවත්තේය. එහෙත් සුරතල් සතුන් ලෙස සෑම නිවසකම පාහේ බල්ලා බළලා ඇති කිරීම සිදු වෙයි. බල්ලාත් බළලාත් නැති නිවසක්‌ ඇත්නම් ඒ කලාතුරකිනි. අප රට තුළ පමණක්‌ නොව ලෝකයේ සෑම රටකම වාගේ මෙම සතුන් ජීවත්වන අතර ඔවුන් මනුෂ්‍යයාට සුබ අසුබ පෙර නිමිති කියන සත්ත්ව කොට්‌ඨාසයක්‌ හැටියට ඈත අතීතයේ සිටම විශ්වාස කරති. එසේ නම් බළලා කියන සුබ අසුබ පෙරනිමිති බොහෝ ඇතත් එයින් වැදගත් යෑයි සැලකෙන පෙරනිමිති පමණක්‌ මෙම ලිපියෙන් විග්‍රහ කරන්නට අදහස්‌ කරමි.

බළලා කියන පෙරනිමිති

ඔබ යම්කිසි ගමනක්‌ යැමට පිටත් වී නම් බළලකු මුඛයෙහි ගොදුරක්‌ නැතිව කෑ ගසමින් ඔබ ඉදිරියට පැමිණියේද තමන් යන ගමනින් ප්‍රතිඵලයක්‌ අත් නොවන අසාර්ථක ගමනක්‌ වශයෙන් සැලකෙයි. බළලුන් දෙදෙනෙක්‌ තමන් ගමන් කරන මාර්ගයෙහි පොරකනවා දකින්නට ලැබුණේ නම් තමන්ගේ ගමනින් කිසිත් යහපතක්‌ සිදු නොවන අතර එයින් තමාට නින්දා අපහාස සමඟ පාඩු අලාභ ගෙන දීමට හේතු වෙයි. ගමනක්‌ පිටත් වී යන විට පාර හරහා ගමන් නොකර බළලකු පාරේ වම් පැත්තට වී සිටීම ඔබ බලාපොරොත්තු වන ගමනේ ප්‍රතිඵල අයහපත් වන්නට හේතු වෙයි. අපේක්‍ෂා ඉෂ්ඨ වෙයි. අපේක්‍ෂා සහගතව ගමනක්‌ ගොස්‌ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ආපසු එන විට බළලකු දකුණු පැත්තේ සිටීම ද තම අපේක්‍ෂා ඉටුවන බවට සුබ ලක්‍ෂණයකි.

සතුන්

බොහෝ දුරට තමන් ගමනක්‌ යන විට තමා ඉදිරියට බළලෙකු පැමිණීමද අසුබ ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන අතර පාර හරහා පැනීම ද අසුබ පෙරනිමිත්තක්‌ ලෙස සැලකෙයි. කටින් ගොදුරක්‌ ගෙන එන බළලකු ඉදිරියට පැමිණීම සුබ පල පෙර නිමිත්තක්‌ වන අතර ගොදුරක්‌ ගත් බළලා මුවින් ශබ්ද නඟමින් ඉදිරියට ආවේද යන නිගමනය ඉතාමත් සාර්ථක එකක්‌ වෙයි. තම නිවසේ සිටින බළලා යම්කිසි අවස්‌ථාවක තමාගේ හිස සිඹීම නැතිනම්, ලෙවකෑම කළහොත් ඔබ ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. බොහෝ දුරට එම අය රජයෙන් හෝ අධිකරණයෙන් දඬුවම් ලබන වරදකට අසුවීමට හේතු වන බව ද පැරැණි පොත්පත්වල සඳහන් වෙයි. සමහර විට තම විවාහ ජීවිතයේ බිඳ වැටීමක, වෙන් වීමක්‌ සිදුවීමට ද හේතු විය හැකිය. ඒ අයුරින් ස්‌ත්‍රියකගේ හිස සිඹීම, ලෙවකෑම සිදුÊවී නම් හදිසි අනතුරක්‌ හේතුවෙන් තම ස්‌වාමිපුරුෂයාට මාරක විපත් බලපෑමට පවා ඉඩ ඇති බව පෙන්නුම් කරයි.

ගමනක්‌ යැමට සූදානම් වූ අයෙකුගේ පාදයන්හි දැවටී බළලකු සිටීම එම ගමන තමාට යහපත් නොවන්නක්‌ බව පෙන්නුම් කිරීමකි. බොහෝ දුරට ඔහු ඉතා ඉක්‌මනින් බලගතු රෝග පීඩාවන්ට ලක්‌වන බව පෙර නිමිත්තකි. ස්‌ත්‍රියකගේ පපුව ප්‍රදේශය සිඹීම, ලෙවකෑම බළලකු කළේ නම් තම දරුවන්ට අපල උපද්‍රව රෝග පීඩා ගෙන දෙන බවට පැවසෙති. පාදය ලෙවකෑම තම ළඟම ඥාතියකුට හෝ මස්‌සිනාට තද බල අපල රෝග පීඩා ගෙන දෙන්නට හේතු වන බව කියන්නට පුළුවන.

සතුන්

නිවසක්‌ අසල රාත්‍රි කාලයේදී බළලුන් කෑ ගැසීම පොරකෑම දකින්නට ලැබුණේ නම් මාස හයක්‌ යන්නට පෙර එම නිවැසියන්ට තදබල අපර කරදර, රෝග පීඩා ගෙන දෙන බවට පෙර දැනුම් දීමකි. සමහර විට එම නිවසේ අයට මාරක විපත් පවා බලපෑමට හේතුවන බව පැරැන්නෝ විශ්වාස කළහ. බළලා පිළිබඳ කොතරම් දුරට විශ්වාසයක්‌ පවතීද? යන්න සැලකිල්ලට ගතහොත් ගමනක්‌ යන වාහනයට අහම්බෙන් හෝ බළලකු අසුවී නම් එම ගමන යන්නට පවා අකමැති වන අතර වාහනය ආපසු හරවාගෙන එන්නට පවා පෙළඹෙයි. අසුවූ වාහනයක්‌ වැඩි කල් නොගොස්‌ අනතුරට පත්වන බව ද කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

We found this article from Divaina on 2014/03/02.