ඔබ වෘෂභ ලග්නයේ නම් උපතේ සිට මරණය දක්‌වා මෙසේ සිදුවිය හැකිය

3244
වෘෂභ
වෘෂභ

ගොනකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා විසිතුනකින් සමන්විතය. කැති නැකතේ පාද තුනක්‌ද, ඝටාකාර තරු පහකින් සැදුම්ලත් රෙහෙණ නැකතද, මුව හිසකට සමානව පිහිටි තරු තුනකින් සමන්විත මුවසිරස නැකතේ මුල් පාද දෙකද මෙයට ඇතුළත් වේ. රාශි චක්‍රයේ දෙවැන්න වෘෂභයයි. වෘෂභය, පඨවි හෙවත් තද ගුණයෙන් යුතු රාශියකි. ලග්නාධිපති ග්‍රහයා වනුයේ සිකුරුය. සිකුරු ග්‍රහ මඬුල්ලේ මනාලියයි. එහෙයින් වෘෂභ ලග්නයෙන් උපන් අය අලංකාරයට, ආදරයට මුල් තැනක්‌ දෙයි. නිතරම පිරිසිදුවටත්, ලස්‌සනටත් සිටීමට ඔවුහු වඩාත් රුචියක්‌ දක්‌වති.

මෙම ලග්නයෙන් උපන් අයගේ මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක්‌ විශාලවන අතර නළල පළල බවක්‌ පෙන්නුම් කරයි. දත් පෙනෙන සේ හඬ නගා සිනාසීම ඔවුන්ගේ විශේෂ ලක්‍ෂණයකි. අඟපසඟ මනාව ලස්‌සනට පිහිටා ඇත. මහත් වූ බෙල්ලකට හිමිකම් කියන පිරුණ උරහිස්‌තලයකින්ද යුක්‌තය. කම්මුල් සහ මුඛය පිරුණ බවක්‌ පෙන්වයි.

වෘෂභ ලග්නයෙන් උපදින අය උතුම් ගතිගුණ ඇති ගුණවත් ඇත්තෝය. යුද කටයුතුවලට මෙන්ම කෝලාහල කිරීමටද ප්‍රිය අය වේ. පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද සූරයෝය. ඉක්‌මනට කෝපවෙති. තමාගත් දැඩි තීරණයේම එල්බගෙන සිටීම ඔවුන්ගේ විශේෂ ලක්‌ෂණයකි. සුළු සිද්ධියකින් පවා ඔවුහු මහත් කැලඹීමකට හා බියට පත්වෙති. සුළු සිද්ධියක්‌ විශාල සිද්ධියක්‌ ලෙස සිතීමට ඔවුහු පුරුදු වී සිටිති. උසස්‌ ඉගෙනීමක්‌ ලබා උසස්‌ තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. මොවුන් ඉතා ඥානවන්ත බැවින් ඕනෑම ගැටළුවකට පිළිතුරු දීමට සමත් ය. හොඳ ඉගෙනීමක්‌ ඇතිනමුත් උඩඟු ගතියක්‌ද පෙන්නුම් කරති. අන් අයට සංග්‍රහ කිරීමට වඩා කැමැති වේ. තම බිරිඳට හෝ සැමියාට ඉතාමත් ආදරය කරයි. වස්‌තුව රැස්‌ කිරීමටද වඩා උනන්දු වෙති. දක්‌ෂ කථිකයන්, පණ්‌ඩිතයන්ව පොත්පත් කතුවරුන්, ශිල්ප ශාලා හා මුද්‍රණශාලා හිමිකරුවන්, ආචාර්ය පදවි ලැබූවන් බොහෝවිට මෙම ලග්නයෙන් උපත ලැබූ අය වෙති. තමන්ගේ අදහස අනුව කටයුතු කරනවා හැරෙන්නට අන් අයගේ අදහස්‌ අනුව කටයුතු කිරීමට වෘෂභ ලග්න හිමියන් අකැමැතිය. තමා දන්නා කෙනෙකු සේ හැමවිටම සිතයි. සිතිවිලි ලෞකික පැත්තටම බර වේ. අනුන්ගේ මතයට ගරු නොකිරීම දුර්වලකමකි. කෘෂිකර්මය, ඉංජිනේරු ශිල්පය, හෝටල් පරිපාලනය, නීතිය, සත්ව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, ගෘහ නිර්මාණ ශිල්පය ආදියට වෘෂභ ලග්න හිමියෝ විශේෂ කුසලතා දක්‌වති. වෘෂභ ලග්න හිමි කාන්තාවන් මනාලියන් හැඩගැන්වීම, මල් කලාව, ගෙතුම් ශිල්පය ආදියට දැඩි රුචියක්‌ පෙන්වයි. සදාචාරසම්පන්නව හැදුණ වෘෂභ ලග්න හිමියෝ කල්‍යාණ මිත්‍රයෝය. ස්‌ථිර අදහස්‌ උදහස්‌ ඇති, නොසැලෙන, ප්‍රතිපත්තිගරුක, උසස්‌ අදහස්‌ ඇත්තෝද වෙති. වෘෂභ ලග්න හිමියන් ස්‌වභාවයෙන්ම වෙළෙඳාමට හා කෘෂිකම_යට දක්‌ෂ මෙන්ම, හොඳ කාර්ය සංවිධායකයන් වීමටත්, දේශපාලනඥයන්, පාලකයින්, නායකයින් බවට පත්වීමටද හොඳ පිහිටීමකි. දුර පෙනෙන ඥානයකින් යුත් මෙවැන්නෝ ගුප්ත ශාස්‌ත්‍ර, වෛද්‍ය ශාස්‌ත්‍ර හැදැරීමටත් ආශා කරති. වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ විට කැමැති වන්නේ ආදරය මුල්කරගත් විවාහයකටය. සමහරු පාසල් යන සමයේදී පවා පෙම් සබඳතාවල පැටලෙති. පෙම් සබඳතා කීපයක පැටලීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය. පාසලේදී ඇතිකරගත් පෙම් සබඳතා බොහෝ විට විවාහයෙන් කෙළවර වෙයි. විවාහයේදී සිකුරු, කුජ, සඳු ප්‍රබල තැනක්‌ ගනී. ඒ අනුව වෘෂභ ලග්න හිමියන් අධික කාමුක බවකින් යුක්‌තය. ලෝකෝත්තර සැපයට වඩා ලෞකික සැපය අගය කරති. යහපත් ග්‍රහයෝග පිහිටි වෘෂභ ලග්න හිමියන්හට මැති, ඇමැති තනතුරු පවා ලබා ගැනීමට වාසනාව ඇත.

වෘෂභ ලග්න හිමියන්ට විවාහයට සුදුසු වන්නේ වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලින් උපන් තරුණ තරුණියන්ය. තමන්ට නොගැළපෙන සහකාරියක්‌ ලැබුණොත් ඇයගෙන් වෙන්වීම ඔහුට සාමාන්‍ය දෙයකි. ඒ ගැන ඔහුට පසුතැවීමක්‌ද නැත. වෘෂභ ලග්නයෙන් උපන් කාන්තාවන් බොහෝ විට කැමැති වන්නේ ව්‍යාපාරිකයන් සමඟ විවාහ වීමටය. එයට හේතුව ඔවුන්ගේ ජීවිතයේදී ලෞකික හා භෞතික යහපත වැඩි වශයෙන් බලාපොරොත්තු වන බැවිනි. මේ නිසා ඔවුන් ආදායමට වඩා විවිධ ඇඳුම්, ආභරණ සඳහා වියදම් කිරීමට යැමෙන් බොහෝවිට තම සැමියාගේ දෝෂ දර්ශනයට ලක්‌වෙයි. මේ නිසා විවාහ ජීවිතයේ සමගියට බාධා ඇතිවෙයි. අන් අයගේ මතයට ගරු නොකිරීමද ඔවුන්ගේ දුර්වලකමකි.

වෘෂභ ලග්න හිමියන්ට වයස අවුරුදු 40 න් පසු වායු, සෙම, පිත් එකසේ බලපායි. අලුයම සහ සවස්‌ භාගයේ නෑම නිසා සෙම ඉස්‌මතුවේ. නිරාවරණ හිසින් යුතුව තද අව්වේ යැම ඔවුන්ට හිතකර නොවේ. එසේ නොකිරීමෙන් සෙම කිපීමට මෙන්ම හිසකෙස්‌ ගැලවීමටද හේතුවෙයි. හිසේ රෝග, බෙල්ලේ රෝග, ඇදුම, පපුවේ රෝග ආදිය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන්ම වැලඳීමට පුළුවන.

වෘෂභ ලග්න හිමියන්ට ප්‍රධාන බාධක ග්‍රහයින්වන්නේ සඳු, සිකුරු හා ගුරුය. මෙම ග්‍රහයින්ගේ පිහිටීම අනුව ආයුෂ තීරණය වේ. ප්‍රධාන බාධක ග්‍රහයා වන්නේ ගුරුය. ගුරු මහ දශාවේ හෝ අතුරු දශාවේදී මාරක අනතුරු සිදුවිය හැකිය. සතුන්ගෙන්, ජලයෙන්, සෙම් රෝග වැලඳීමෙන් උගුරේ ඇතිවන රෝගයකින්, රථවාහන ආදියට යටවීමෙන්, ආයුධ පහර ලැබීමෙන්, සිරගතවීමෙන් හා තැළීම්වලින් ආදී ක්‍රියාවලින් උපන් ගමෙන් පිටතදී යම් දිනක මරණය සිදුවීමට පුළුවන.

අපල උපද්‍රව සඳහා ආරක්‌ෂක මන්ත්‍රවලින් ජපකරන ලද දියමන්ති, මැණික්‌ ගලක්‌ පැළඳීම ඉතා සුදුසුය. සෙනසුරදා, බදාදා, සිකුරාදා යන දිනයන් වෘෂභ ලග්න හිමියන්ට ශුභ දිනයන් වේ. වර්ණ වශයෙන් කොළ පාට සහ සුදු පාටයි. 5, 6, 8 අංක ශුභ වේ.

We found this article from Divaina on 2012/09/28.
Also Sinhala to English Google word to word translation can be found here