කතාවෙන් අන්‍යයන් වශීකරන මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ…

0
778
අන්‍යයන්
අන්‍යයන්

කුජ හිමි සටන්කාමී උෂ්ණ රාශියක්‌ වන බැවින් මේෂ ලග්නයෙන් උපන් අය උසස්‌ අදහස්‌ ඇති තේජවන්ත භාවයෙන් යුතු වූවන් වේ. ක්‍රියාශීලීව ඕනෑම දෙයක්‌ වෙනුවෙන් ඉදිරියට යන කැපී පෙනීමේ ආශාව සිත තුළ තදින් ඇත්තෝ වන මොවුන් තමා ආශා කරන දේ කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ දරා අවසානයේ දී එය සිතැඟි පරිදි ඉටුකර ගනියි.

සටන්කාමී බව සහජයෙන්ම පිහිටන මේෂ ලග්න හිමියෝ සටන් කළ යුතු තැන සටන් කිරීමට පෙළඹෙන චරිතයක්‌ද හිමි බැවින් පටන් ගන්නා වාද විවාද අනවශ්‍ය ලෙස දුරදිග ගෙන යැමෙන් අනවශ්‍ය කරදරවලටද මුහුණදීමට සිදුවන අවස්‌ථා උදාවේ.

දැඩි ආත්ම ශක්‌තියකින් යුක්‌ත වේගයෙන් වැඩ කළ හැකි ඉතාමත් කඩිසර කාර්යශූර තැනැත්තන් මේෂ ලග්නයෙන් උපත ලබන අතර සමහර අවස්‌ථාවන්හිදී තැන නොතැන නොබලා කලබල වන අවස්‌ථාද බොහෝ ඇත. තමන් ඉදිරිපත් වන හැම දෙයකින්ම ජය බලාපොරොත්තු වන අතර කිසිවිටෙක පරාජය භාර ගැනීමට අකමැති වේ. ආඩම්බරකමින් තමන්ගේ මතයේම සිටිමින් අන්‍යයන්ගේ අදහස්‌ පිළි නොගත්තද මේෂ ලග්න හිමියා අනුන් ගැන සිතන පරාර්ථකාමී අයෙකි.

හැම විටම උසස්‌ පුද්ගලයන් ඇසුරු කිරීමට රුචිකත්වයක්‌ දක්‌වන මොවුන් තමන් හැසිරෙන සමාජය තුළ විශ්වාසවන්ත බව රැක ගනිමින් හැසිරෙන්නට උත්සාහ කරන්නා වූ යහපත් සිතුවිල්ලෙන් යුතු වූවන් වේ.

කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබීමේ දැඩි ආශාවකින් මතු බලාපොරොත්තු සහිතව ක්‍රියා කරන අතර දහසක්‌ දෙනා අතරට ගියද කෙසේ හෝ පෙරමුණෙහි රැඳෙමින් සිනහවෙන් කතාවෙන් අන්‍යයන් වශීකර ගැනීමෙහි සමත් බැවින් ඉතා පහසුවෙන් තමා වටා පිරිසක්‌ එක්‌රොක්‌ කර ගැනීමේ දක්‌ෂයෙක්‌ වේ.

දන්නා නොදන්නා කුමන කටයුත්තක්‌ පිළිබඳව වුවද ඉවකින් මෙන් කටයුතු කළ හැකි ශක්‌තිය සහජයෙන්ම උරුම අතර තමාට උදව් උපකාර කළ යම් කෙනෙක්‌ වේද ඔවුන් වෙනුවෙන් පෙරළා ප්‍රති උපකාර කිරීමේ මාහැඟි ගුණය නිසාම ඒ සඳහා මැළි නොවේ.

අපක්‌ෂපාතී යුක්‌තිගරුක මේෂ ලග්න හිමියෝ අනුන් අවනත කර ගැනීමට සමත් වුවත් තමන් නම්‍යශීලී බවක්‌ නොපෙන්වයි. කිසිවෙකුට යටහත් පහත්ව සිටීමටද මැළිකමක්‌ දක්‌වයි. එහෙත් ඕනෑම අවස්‌ථාවක පුරුෂයකු නම් තමාගේ භාර්යාව කෙරෙහිද ස්‌ත්‍රියක නම් තමාගේ ස්‌වාමියා කෙරෙහිද එම තද ගති ලිහිල් වීම නිසා විවාහ දිවියේ බොහෝ ගැටලු මඟහැරී යයි.

ඕනෑම දෙයක්‌ වහා අවබෝධ වන තීක්‌ෂණ නුවණ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට මහත් රුකුලක්‌ වන අතර සුළු දේවලට අකමැත්තක්‌ දක්‌වන මොවුන් විශාල ව්‍යාපාර කටයුතුවලට පෙළඹෙන්නෝය. කළ යුතු සියලු කාර්යයන් අංගසම්පූර්ණව මනා කළමනාකාරිත්වයක්‌ යටතේ සිදුකර ගැනීමේ දැඩි ආත්ම ශක්‌තියක්‌ තිබුණද මෙම ලග්නයෙන් උපන් අය එක පිට එක වැඩ කටයුතු රාශියක්‌ කිරීමට උත්සාහ කර අවුල් සහගත පැටලිලි ඇති කර ගැනීම ඉතා ප්‍රබල දුර්වලතාවක්‌ ලෙස දැක්‌විය හැකිය. එහෙත් අවස්‌ථානුකූලව උපායශීලී ලෙස කටයුතු කිරීමේ දී තමාගේ සැබෑ චරිත ස්‌වභාවය යටපත් කර ගැනීමේ අති දක්‌ෂයෝ වෙති.

හැම විටම තම ආත්මාභිමානය දැඩිකොට සලකන මොවුන් අන් අයට ගෞරව කිරීමට මැළිකමක්‌ නොදක්‌වන අතර ඒ හා සමානව අන්‍යයන්ගෙන් තමන්ද ගෞරවය අපේක්‍ෂා කරයි. සෑම කටයුත්තක්‌ම සාධාරණව හා නිවැරැදිව කිරීමට මේෂ ලග්න හිමියන් තම හදවතට බලකරන නමුදු තමා තමාටම පාලනය කර ගැනීමට නොහැකි ලෙස ආත්මාර්ථකාමී බව මතුවීම නිසා ඇතැම් අවස්‌ථාවල නොසිතූ ආකාරයෙන් වැරැදි දේ කිරීමට පෙළඹේ.

නොඉවසිලිවන්ත බව නිසා ජීවිත කාලයේ බොහෝ අලාභහානි සිදු කර ගන්නා බව මේෂ ලග්න හිමියන් වෙතින් දක්‌නට ලැබෙන අයහපත් ගුණාංගයක්‌ බැවින් හැමවිටම ඉවසීම පුරුදු පුහුණු කර ගැනීමෙන් තමා බලාපොරොත්තු වන ඉලක්‌කයන් වඩාත් සාර්ථක කර ගැනීමට එය අතිශයින් ඉවහල් වන බව අවබෝධ කරගත යුතුය.

සිත තුළ දැඩි බවක්‌ පවතින නමුදු බොහෝ අවස්‌ථාවන්හි අන්‍යයන් කෙරෙහි කාරුණික සංවේදී බවක්‌ දැක්‌වීම තූළ ඇසුරු කරන්නන් අතර හෘදයාංගම හා සිත් දිනාගන්නා පුද්ගලයකු බවට පත්වන අතර තම පවුලට ඥතීන්ට දූ දරුවන්ට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් නියමාකාරයෙන් ඉටු කිරීමට නැඹුරු හදවතක්‌ ඇති අයකු වේ. අන් අයගේ බසට අවනත වීමේ ගුණය දුර්ලභ නමුදු අවනත වන බවක්‌ අන්‍යයන් ඉදිරියේ මවා පෑමට අති දක්‌ෂයෝ වෙති.

දුරදිග කල්පනා කර තෝරා බේරා සිතා බලා තීරණයන්ට එළඹීමේ ශක්‌තියක්‌ නොමැති මේෂ ලග්න හිමියෝ ක්‍ෂණිකව ගන්නා ඕනෑම තීරණයක්‌ සිතා බලා ගත් තීරණයකට වඩා බුද්ධිමත්ව ගැනීමේ හැකියාව ඇත්තන් වීම විශේෂ ලක්‌ෂණයකි.

මධ්‍යම ප්‍රමාණයේ සිරුරකට හිමිකම් කියන මෙවැන්නන්ට පියකරු අඟපසඟ සහිත සිහින් දිග ගෙලක්‌ පිහිටයි. පැහැපත් සිරුරක්‌ හිමි අතර ශරීරයේ පිත අධික වේ.

ත්‍යාගශීලී මේෂ ලග්න හිමියන්ට ජීවනෝපාය ලෙස ආරක්‌ෂක අංශවල, යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිත, ක්‍රීඩා අංශයට නැඹුරු, පොළව හා සම්බන්ධ (මැණික්‌ – වගාවන්) රැකියා උරුම අතර ව්‍යාපාරික අවස්‌ථාද හිමි වේ.

තම සහකරු හෝ සහකාරිය වශයෙන් සෞම්‍ය ගති පැවතුම්වලින් හෙබි රූමත් ප්‍රසන්න කලා අංශයට නැඹුරු අයෙක්‌ හිමිවන අතර සමහර අවස්‌ථාවල ඔවුන් ව්‍යාපාරික අංශයේද විය හැකිය.

මේෂය කුජට හිමි රාශියක්‌ බැවින් නිතර උෂ්ණ රෝග හටගැනීම සිදුවිය හැකි අතර දැවිලි රෝග, මොළයේ අසනීප, උදරය ආශ්‍රිත රෝග, නින්ද නොයැමේ අපහසුතා වැනි රෝගාබාධවලට ලක්‌වීමේ ප්‍රවනතාව ඉතා අධිකය.

සුළුවෙන් කිරීමට හැකි ඕනෑම කටයුත්තක්‌ මහා පරිමාණයෙන් කිරීමට පෙළඹීමත්, නොඉවසිලිමත්කම නිසා නිතර කෝපයෙන් පසුවීමත් සමගියට සමාදානයට එතරම් ගරු නොකිරීමත් මොවුන් තුළ ඇති දුර්වලකම් ලෙස පෙන්වා දිය හැකිය.

රාශි චක්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් බලවත්ම රාශිය ලෙස හැඳින්වෙන මේෂ ලග්නය එළුවකුගේ ස්‌වරූපයෙන් සංකේතවත් වේ. බ්‍රහස්‌පතින්දා දිනය මෙකී ලග්න හිමියන්ගේ සියලු කටයුතු සඳහා ශුභ වන අතර සුබ වර්ණය ලෙස කුජට හිමි රතු පැහැයද ජය අංක ලෙස 1 සහ 9 පෙන්වා දිය හැකිය.

We found this article from Divaina on 2013/06/23.
Also Sinhala to English Google word to word translation can be found here