කන්‍යා ලග්නයේ ඔබ ගැනමයි මේ

1941
කන්‍යා
කන්‍යා

විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා රාශිය රාශි චක්‍රයේ හයවෙනි රාශිය හැටියට සැලකේ. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි දෙකටම අධිපතිත්වය දරයි. මෙම රාශි දෙකින්ම උපන් අය බුධ ග්‍රහයාගේ පාලනයට යටත් වේ. ධාන්‍යකරලක්‌ අතින් ගත් කාන්තාවක්‌ ලග්නය සංකේතවත් කරයි. බුධගේ උච්ච රාශියද කන්‍යා රාශියයි. පඨවි ගුණයෙන් යුක්‌ත වූවත් උභය රාශියක්‌ බැවින් ඔවුන්ගේ ස්‌ථීර ගති ලක්‍ෂණ අඩුවේ.

කන්‍යා ලග්නයෙන් උපත ලැබූ බොහෝ දෙනා මනා පැහැපත් රූපසම්පත්තියෙන් යුක්‌තය. පිරිමි අය කඩවසම් පෙනුමකින් යුක්‌ත වන අතර ඔවුන්ට ශක්‌තිමත් සිරුරක්‌ද හිමිය. රවුම් මුහුණක්‌ හිමි ඔවුන්ගේ අත් පා දික්‌වන අතර උසේ තරමට මහත් වුණ ශරීරයක්‌ ඇත. ඔවුන්ගේ ගමන් විලාශය අමුතුම ආකාරයක්‌ වන අතර ගතිගුණ දෙයාකාර වෙයි. එක්‌ අවස්‌ථාවක වඩා හිතවත්කමක්‌ පෙන්නුම් කරන අතර තවත් අවස්‌ථාවක ඊට හාත්පසින් වෙනස්‌ ගතිගුණ පෙන්නුම් කරයි. හොඳට හොඳ හිත පෙන්වන අතර නරකට වඩාත් නරකයි යන්න ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. කන්‍යා ලග්න හිමියන් චංචල අදහස්‌වලින් යුක්‌තය. ඔවුන්ගේ අදහස්‌ සිතුවිලි පොරොන්දු ගිවිසුම් ආදිය වරින්වර වෙනස්‌ කරයි. බුද්ධිමත්ය. ඉගෙනීමට වැඩි උනන්දුවක්‌ දක්‌වයි. කන්‍යා ලග්න හිමියන් තම පෙම්වතාට හෝ පෙම්වතියට දැඩිසේ ආදරය කරයි. අවිශ්වාසයද නිතර හිතේ රඳවන ගතිය ඔවුන් තුළ ඇත. කන්‍යා ලග්නයෙන් උපන් අයගේ එකේ හෙවත් ලග්නයේ රවි, බුධ, සිකුරු යෝගය ඉතා බලවත්වේ. රූමත්, බුද්ධිමත් අය උපදිනුයේ මෙම යෝගයෙනි. තම බලය අන්‍යයන් අතර පැතිරවීමට ඔවුහු ඉතා දක්‍ෂ වෙති. කන්‍යා ලග්නයෙන් ඉපදී පස්‌වැන්නේ කුජද, නමවැන්නේ ගුරුද, පිහිටා තිබීම ඉතා වාසනාවන්තය. මෙවැනි අයට රැකියා ලැබීමේ ඉඩ ප්‍රස්‌ථාවන් වැඩිය. එහෙත් කාන්තා කේන්ද්‍රයක පස්‌වැන්නේ කුජ, රාහු යෝගය දරුවන්ට අපල ගෙන දීමක්‌ ලෙස සලකයි. කේන්ද්‍රයේ හතේ රාහු, කුජ, ශනි යෝගයද ඉතා අවාසනාවන්තවේ. අටවැන්නේ ශනි සිටීමද එතරම් යහපත් නොවේ. කන්‍යා ලග්න හිමියෝ ඉගෙනීමට වැඩි දක්‍ෂතාවයක්‌ දක්‌වති. බොහෝ විට ඔවුන් විද්‍යා අධ්‍යාපනය කෙරෙහි වැඩි නැඹුරුතාවයක්‌ පෙන්වයි. රජයේ පොදු විභාගවලින් විශිෂ්ට ලෙස සමත් කම් දක්‌වති. බොහෝ දෙනෙක්‌ සරසවි වරම් ලබයි. සිවිල් ඉංජිනේරු විද්‍යාව, සාගර විද්‍යාව, ප්‍රමතිකරණය වාස්‌තු විද්‍යාව, ගෘහ විද්‍යාව කෙරෙහිද සමහරු කුසලතා දක්‌වයි. කන්‍යා ලග්නයෙන් උපන් අයට බොහෝ විට රජයේ රැකියා ලැබීමේ වාසනාව ඇත. ආදරය, අනුකම්පාව ඔවුන් හොඳට හඳුනති. දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද සිදුවන විවාහයකට ඔවුහු කැමති වෙති. අවංක ආදරය වෙනුවෙන් සැමියාගේ නොමද ආදරය හා ගෞරවය ලබයි. කන්‍යා ලග්නය හිමි අයට විවාහය සඳහා සුදුසු වනුයේ වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමිකරුවන්ය. කන්‍යා ලග්න හිමියන් නිරතුරුවම ආහාර පාලනය කිරීමට පෙළඹෙන අයවේ. තමන් විසින් තෝරාගන්නා ලද ආහාර වර්ග කීපයක්‌ කෙරෙහි වැඩි යොමුවීමත්, ආහාර ආදියෙන් වඩාත් ප්‍රවේශම් වීමත්, ඔවුන්ගේ විශේෂතාවයකි. පලතුරු වර්ග, පලාවර්ග, මාංශයෙන් තොරව ධාන්‍යයෙන් සකස්‌ කළ ආහාර වර්ග කෙරෙහි වඩා අභිරුචියක්‌ දක්‌වයි. කන්‍යා ලග්න හිමියෝ ඉතා ඉක්‌මනින් කෝපයට පත්වෙති. සුළු දෙයකට වඩා අධිකව කෝපවත්වේ. ඉවසුම් නැතිව ක්‍රියා කරන බවක්‌ විටෙකදී පෙන්නුම් කළත් හේ බුද්ධිමත් වන නිසා වරකදී ඇති කරගත් කෝපය තවත් වරකදී අමතක කර ක්‍රියා කිරීමේ හැකියාවද පෙන්නුම් කරයි. කුමන හෝ සුළු අසනීපයක්‌ පිළිබඳව නිතර කියමින් එය මග හරවා ගැනීමට ක්‍රම සොයා යන අතර තුරෙහි තවත් වෙනත් අසනීප මතුවේ. එහෙයින් ඔවුනට වරින්වර ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවය ඇතිවේ. රෝගවැලක උත්පත්ති ස්‌ථානය උදරය හෝ පිත්තාශයවේ. පිත්තාශයෙන් ඇති වන රෝගවලින් පීඩාවන් ඇතිවේ. පිත්ත ප්‍රාණවල දුර්වලතා මතුවේ පිත අවරෝධ වීම නිසා නිරතුරුවම පිත්රෝගවලින් පීඩා ඇති කරවයි. වාත රෝගවලින්, මෙන්ම හර්නියා රෝග තත්ත්වයන්ද ඇතිවිය හැක.

කන්‍යා ලග්නයෙන් උපන් අයට මාරක ග්‍රහයින් වන්නේ කුජ, ශනි හා සඳුය, මෙම ග්‍රහයන්ගේ දශා, අන්තර් දශා කාලවලදී කන්‍යා ලග්න හිමියන් මෝටර් රථවාහන, ගින්දර, විදුලිය, ඉන්ධන වැනි දේවලින් ප්‍රවේශම් විය යුතුය. කන්‍යා ලග්න හිමියන්ට අටේ ශනි සිටීම ඉතාමත් අනතුරු දායකය. කන්‍යා ලග්න හිමි අයට බලපාන අපල සඳහා බල පිහිටවූ කොළපාට මැණික්‌ ගලක්‌ මුදුවකට සම්බන්ධකර පැලඳ ගැනීම ඉතා යහපත්ය. සුභ වර්ණ කොළ, කහ, සුදු වර්ණවේ. ජය අංක 2, 3, 5, 7 වේ.

We found this article from Divaina on 2012/11/16.
Also Sinhala to English Google word to word translation can be found here