[ratings]
ගුප්ත විද්‍යාව අනුව කළුකුමාරයා භූත කොටසට අයත් යක්ෂයෙකි. මෙම යක්ෂයා කාන්තාවන්ට නොයෙකුත් ලෙඩ රෝගයන් කරන අතර ඔවුන්ගේ දරු ගැබ විනාශ කිරීමේ බලයක්ද ඇත. මොහුගේ බැල්ම දිෂ්ටිය ඇති කාන්තාවක් ඔල්මාදයෙන් විකාරයෙන් දොඩවයි. මොහුගේ උපත ගැන නොයෙකුත් මතයන් ඉන්දියාවේ මෙන්ම අප රටේ ජන කතාවලද සඳහන්ව ඇත. එයින් කතා කීපයක විස්තරයන් මෙසේ සඳහන් වේ.
මොහු ඉන්දියාවේ එක් ප්‍රදේශයක මහා රාජමාළිගාවක විසූ කුමරියකගේ ප්‍රථම මල්වරයේ කිළිටි රෙද්දක් රජකයෙක් සේදීමේදී එය දැක ඇගේ ආදරය පතා එය ලබා ගැනීමට නොහැකිව සියදිවි නසාගත් පසු කළු කුමාරයා යක්ෂයකු වූ වගයි. මෙය කළු කුමාරයාට දොළ, පිදේනි, පුද තටු පුදන විට රොඩී බිසවුන් වහන්සේ කෙනෙකු සඳහා පුද තැබීමෙන් අපට එය පිළිගැනීමට හැකිය.
මොහු ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක රජ කළ “නාගමාල” නම් තම පියා මරන්ට තමපියා නාන පොකුණේ උල් හිටවූ බවත් එය නිශ්ඵල වී පියා මරණයෙන් බේරුණ නිසා කන්දකින් පැන මියගිය පසු කළු කුමාරයාවී ඉපදුන බවත් සඳහන් වේ. එය යාග හෝම කරන විට ගයන කාව්‍යයන් ගෙන් මෙසේ පැහැදිලිවේ.
පසන් නාග මාලය පිය නර නින්දා
තමන් හට නොදී රජ කරනා සින්දා
මරන්නට නාන පොකුණේ උල් ඉන්දා
සිටින්නට නූනි මෙනුවර මේ සන්දා
මෙම කුමාරියගේ කුසේ විජය රජුට දාව උපන් බවත් දිවැස් තෙද බලා සත් මුහුදෙන් එතෙර සිටින බවත් යස්සගිරි දිවයිනේ උපන් බවක්ද කියවේ.
මහා වංශයේ සඳහන් පරිදිත් මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ ප්‍රකාශයක් අනුව මොහු වැලිගම්පුර “රාජකුලවඩන” විහාරයේ ඇති සෙල්ලිපියේ සඳහන් පරිදි බුවනෙකබාහු චක්‍රවර්ති මහෝත්තමයන් 6 වන වර්ෂයේදී රජවූ බවත් ඒ අනුව ඔහු ඉන්දියාවේ විල්ලෝඩි ප්‍රදේශයෙන් පැමිණි බවත් බිසව දෙමළ මාලාවූ බවද තද කළු පාට නිසා කළු කුමාර නම්වූ බවද කියවේ. ඉතිහාසඥයෙක් වන “කොඩ්රින්ටන්” මහතාගේ මතය අනුව ඔහු විසූ මානවලු පුරය උඩරොටේ, පල්ල රොටේ යන පරිවාරයෙන් යුතු ගම්දනව් ඇතුළුවූ බව කියවේ. ඔහු ජීවත්ව විසූ උස් ගොඩනැඟිල්ල උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්ටුය. ඒ කාලයේ ඇතිවූ කැරැල්ලක් මැඬලීමට යැමේදී තමා පැරැදුනොත් කළු කොඩියක් එනවිට ඔසවන බව කියා පිටව ගොස් කැරැල්ල පහසුවෙන් මැඩලා ජය ලබා ආපසු එන විට කුමරියන්ට විහිළුවක් කරන්ට ඕනෑයි හිතා කුමරියන් රැවටීමට කළු කොඩිය ඔසවා ආවේය. මෙය දුටු බිසෝවරුන් ළඟම තිබූ දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ. තම ආභරණ පිටින්ම දියඇල්ලට පැන්න නිසා එය “ආභරණ ඇල්ල” නමින් හැඳින්වෙන බවත් පසුව මෙම බිසෝවරුන් යක්ෂණියන් වූ බවද ජන කතාවලින් කියවේ.
මේ කුමරියන් සත් දෙනා කොණ්ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල නමින් හැඳින්වේ. මේ හැර කළු කුමාරයාට බිසෝවරු 32 ක් සිටි බවටද සඳහන් වේ. මෙවන් බිසෝවරුන් ගණනාවක් සිටියද මොහු යෞවනියන්, කාන්තාවන් පසුපස මෙලොවදීත් හඹා යන්නේ අධික කාමයෙන් මත්වූ රාගාධියෙන් අන්ධ වූ යක්ෂයෙක් නිසාය. මොහු ආත්මයෙන් ආත්මයට මේ පුරුද්ද ඇතිකරගෙන ඇත.
මොහු වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස්යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්, බිත්තර බැද කා යන විට වතක් ගලවා වතක් අඳින තැන් ආදිය වේ.
මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇතිවූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇතිවේ. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයි. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටය. මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයි. මෙම කාව්‍යයෙන් එය අපට මනාව වැටහේ.
මල්වර වෙලා ඉස් නානට යන ගමනේ
මනකල් වෙලා හඬ තලමින් නානතුනේ
මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ
ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ
එමෙන්ම කළු කුමාරයා ස්ත්රීන්ට දරුවන් ලැබෙනවාට කැමති නැත. එනිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ය.
“ඕං වඳකාම දළ සේන් නීල මදන දැල කේෂ්වර මදන පිරිවර සහිත දැළ කාම රකුසු යක්ෂයා වර වර මේ පුද කැපගං දිෂ්ටිගං යන මන්ත්‍රයෙන්ද දැක්වෙන්නේ ඔහු වඳ බව ඇති කරන බවට සාක්ෂියකි.
වඳ මල් වද පොකුණේ සැතපෙන්නේ
වඳ අඟනන් සිහිනෙන් පෙනෙමින්නේ
මේ කාව්‍ය පද දෙකෙන්ද එය සනාථකරයි.
එබැවින් ගුප්ත විද්‍යාවේ දැක්වෙන පරිදි අපේ යෞවනියන්, තරුණියන් කළු කුමාර යක්ෂයාගෙන් බේරීමට සදාචාර විය යුතුයි. අශෝභන හැසිරීම් වලින් වැළකීම, තනිමග යැම කෑකෝ ගැසීම, දුටු තැන වස්ත්‍ර ගැලවීම ඇඳීම, තොටුපල ළිඳ ළඟ නෑම අනිසි වේලාවල්වල පුළුටු මස් වර්ග බැද කා යැම ආදියෙන් වැළකිය යුතුයි.
සමහර විටෙක කළු කුමාරයාගේ බැල්ම දිෂ්ටිය තදින් ඇතිවූ විට තමා අඳින ඇඳිවත පවා ගලවා ඉවතට විසිකර පිරිමින් වැළඳ ගන්නා තත්ත්වයට ඔල්මාදය ඇතිවේ.
එවැනි රෝගියකුගේ කළු කුමාර යක්ෂ බැල්ම නැති කිරීමට කළු කිකිළි බිත්තරයක් රැගෙන ලෙඩාගේ ඇඟිල්ලෙන් ලේ ටිකක් ගෙන කළු කුකුළකුගේ පිහාටු පුළුස්සා එයින් අනා බිත්තරයේ රූපය ඇඳ කිකිළියට උඩින් පැන බිත්තරය සොහොනක් උඩ බිඳීමෙන් කළු කුමාර දිෂ්ටිය පහවී ගොස් යන්ත්‍ර මන්ත්‍ර බෙහෙත් තෙල් ආදියෙහි බලයෙන් දෝෂය පහවී යන බව කියා ඇත.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here