පසුගිය කලාපයේ හස්ත රේඛා විද්‍යාව යටතේ වූ ලිපියෙන් විවිධ තරාතිරමේ අයට හිමිවන අත්වර්ග පිළිබඳව හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව මූලික, චතුරස්‍ර, කාර්මික, දාර්ශනික, කලා, චෛතසික, මිශ්‍ර ආදී වශයෙන් වර්ෂ හතකට අයත් අත් වර්ගවලින් අත් වර්ග දෙකක් පිළිබඳව පසුගිය ලිපියෙන් විස්තර කළා ඔබ කියවන්න ඇති. අනිත් අත් වර්ග පිළිබඳවයි අද විස්තර කරන්නේ.
කාර්මික හස්තය
කාර්මික යන වචනයේ තේරුම අනුවම ඔබට හිතෙන්න ඇති කාර්මික අංශයේ සේවය කරන අයගේ අතක් කියා. සැබැවින්ම කාර්මික අත පිහිටන්නේ ඉංජිනේරුවන්, විද්‍යාඥයින්, වඩු, මේසන් බාස්වරුන්, කම්හල් කරුවන්, මෝටර් කාර්මිකයන් වැනි කාර්මික අංශයේ සේවය කරන අයටයි. කාර්මික අත් හිමියන්ගේ අත්ල බොහෝ විට ප්‍රමාණයෙන් විශාලයි. තද මාංශ පේශීන්ගෙන් නිර්මාණය වී ඇති බව දැකිය හැකියි. කාර්මික අත්වල පිහිටීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක. සමහර කාර්මික අත් මැණික් කටුව අසලදී පළල්ව ඇඟිලි දෙසට යනවිට ක්‍රමයෙන් පටුවන අතර, තවත් කාර්මික අත් ඇඟිලි මුල ප්‍රදේශයේදී පළල්ව මැණික් කටුව දෙසට පටුවන බවද දැකිය හැක. සමහර අත්වල සම මෘදුවන අතර ගොරෝසු සමක් ඇති අත්ද ඇතැම්විට දැකිය හැක. කාර්මික අත්වල මහපට ඇඟිල්ල විශාල බවක් පෙන්නුම් කරයි. එම ඇඟිල්ල බලවත් වගේම ඇඟිලි තුඩු පැතලියි. සෑම ඇඟිල්ලක්ම පහසුවෙන් නැමෙන සුළුවේ. දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් විහිදා හැරිය විට ඇතිවන දල කෝණය බොහෝ පටුය. කිසිම ලතාවකට නැති කාර්මික අත් වකුටු හැඩයකින් යුක්තය. ජීවන රේඛාවෙන් මතුවන ප්‍රබල දෛව රේඛාවක් පිහිටීම, ශීර්ෂ රේඛාව දීර්ඝ ලෙස විහිදී ගොස් ශාඛාවලට බෙදීයැම කාර්මික අතක දැකිය හැකි විශේෂ රේඛා ලක්ෂණ වෙයි. කාර්මික අත් හිමියන් බොහෝවිට තීක්ෂණ බුද්ධියෙන් යුතු අය වෙති. විශේෂයෙන් ඇඟිලි මුල පළල් අල්ල ඇති අය නව නිර්මාණයන් සොයා ගැනීම උදෙසා මහත් කැපවීමකින් ක්‍රියා කරන්නෝය. පැරණි මතවලට ගරු සැලකිලි දැක්වීමේ අඩුව මොවුන් තුළ පවතී. එසේම සැප පහසුකම් පිළිබඳවද, අලංකාරත්වය සහ ක්රමානුකූලතාවය පිළිබඳවද දැඩි උනන්දුවක් දක්වති. බොහෝ කාර්මාන්තාදියෙහි දක්ෂයෝය. එකවර කටයුතු කිසිපයක නිරතවීමෙහි හැකියාවක් ඇත. යුක්තිය, සාධාරණත්වය අගය කරන ඔවුන් අසාධාරණයක් සිදුවෙනු දුටුවහොත් චතුරස්‍ර අත්හිමියා මෙන් ඉක්මන් නොවෙයි. සෙමින් වුවද සාර්ථක ක්‍රියා මාර්ගයකට එළඹෙයි. පොදු යහපත සඳහා ක්‍රියා කිරීමට බෙහෙවින් කැමැති ජාති හිතෛෂියෙකු වන අතර දේශ සංචාරයටද නැඹුරු කෙනෙකු වෙයි. මිල මුදල් ගනුදෙනු ඉතා සුපරික්ෂාකාරී ලෙස කටයුතු කිරීමෙහි දක්ෂයෙකි.
දාර්ශනික හස්තය
ත්‍රිකෝණාකාර හැඩයකින් යුක්ත දාර්ශනික අත්වල අල්ලේ ඇට මතුවී පෙනෙන අතර නහරවැල් ඉලිප්පී ඇත. අල්ලේ සහ පිට අල්ලේ සම සිනිදු බවින් යුතුවෙයි. කෝණාකාර හැඩයක් ඇඟිලි දීර්ඝ වෙයි. ඇඟිලි තුඩු උල් ස්වභාවයක් ඇත. මහපට ඇඟිල්ල දිගු හා සෘජු බවක් පෙන්නුම් කරයි. මැදඇඟිල්ල දෙසට අනිත් ඇඟිලි සියල්ල එක්ව පිහිටා ඇත. ලෞකික සුවයට වඩා ලෝකෝත්තර සුවය අගය කරන බව එමගින් පෙන්නුම් කරයි. ජීවන, ශීර්ෂ, හෘදය සහ කීර්ති යන රේඛා පැහැදිලිව පිහිටීම දාර්ශනික අතක විශේෂ ලක්ෂණයක් වෙයි. ඇතැම් විට ශීර්ෂ රේඛාවන් දෙකක්ද දැකිය හැකිය. මදුරු දැලකට සමාන සියුම් රේඛා වැඩිවීමෙන් සිතිවිලි අධික බව ප්‍රකට වෙයි. එම අතක ගුප්ත කතිරය සලකුණ ද තිබිය හැක.
දාර්ශනික අත් හිමියන් සිය දැනුමත්, ඥනයත් දියුණු කරගැනීම සඳහා නිතර උනන්දු වෙයි. සැප පහසුකම් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නෙකු නොවේ. බොහෝවිට සමාජයෙන් ඈත්ව හුදකලාව සිටින්නට කැමැති වේ. අර්ථවත් ලෙස යමක් පැහැදිලි කිරීමේ දක්ෂයෙක් වන අතර තර්කානුකූල ලෙසද කරුණු දැක්වීමට සමතෙක් වෙයි. අධ්‍යයනය කිරීමේද, ගවේෂණයෙහිද දක්ෂයෙකු වේ. අත්දැකීම් බහුල දැනුමැත්තෙකි. ඇඟිලි පුරුක් හා මැද කොටස් මනාව පිරුණ බවින් යුතු නම් ඉතා වාසනාවන්තය. පෙර පිං බලය නොමදව ඇතිවේ. එමෙන්ම බුද්ධියත්, දාර්ශනිකත්වයත් මනාව පිහිටයි. නිරායාසයෙන්ම ප්‍රසිද්ධියත් ජනප්‍රිය භාවයත් හිමිවෙයි. දාර්ශනික අත් ඇති බොහෝ අයට දාර්ශනිකයන්, කෘතහස්ත ලේඛකයන්, බහුශ්‍රැත ගුරුවරුන් වැනි තත්ත්වයන්ට පත්වීමේ වාසනාව උරුම වෙයි.
කලා හස්තය
අත් වර්ග හතෙන් ලස්සනම හස්තය කලා හස්තය යෑයි කීවොත් නිවැරදිය. පියකරු පෙනුමකින් යුත් කලා හස්තය සුවිශේෂි ලතාවකට අනුව පිහිටයි. අල්ල කෝණාකාර හැඩයකින් යුක්තවන අතර කලාත්මක ලෙස ක්‍රමයෙන් සිහින් වෙන ඇඟිලි තුඩු විශේෂ ලක්ෂණයක් වෙයි. ඇඟිලි පුරුක් මතු වී නොපෙනෙයි. මධ්‍යම ප්‍රමාණයෙන් යුතු අත්ලක් කලා අත්හිමියන් සතුය. අල්ල රෝස පාට වන අතර මහපට ඇඟිල්ල කෙටිය. පුෂ්ටිමත් නොවුවද මසින් පිරි සිහින් දිගු ඇඟිලිය. පේශීන්ගෙන් යුතු අල්ල මෘදු වන අතර එහි සම සියුම්ව පිහිටා ඇති බැවින් සියුමැලි බවත් අලංකාර බවත් ගෙන දෙයි.
කලා අත්හිමියන් බොහෝවිට ආත්මාර්ථකාමීය. ඕනෑම අයෙකු තම වසඟයට ගැනීමේ පුදුම ආකර්ෂණ ශක්තියක් ඇති ඔවුන් දුක්, වේදනා, බාධක කොපමණ ආවත් විනෝදයෙන් කල් ගෙවන්නෝ වෙති. විවිධ කලාත්මක හැකියාවන්වලින් යුතුවෙයි. ප්‍රසිද්ධියට ජනප්‍රිය භාවයට ගිජුවෙයි. තමන් වසන සමාජයෙහි කැපී පෙනෙන්නට උත්සාහ ගනියි. නවකතාකරුවන්, නළු නිළියන්, චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන්, විසිතුරු දේ නිමවන්නන්, නාට්‍ය, සිනමා, නාට්‍ය ශිල්පීන් යනාදී අංශවල නිරත වූ අයට කලා හස්තයන් පිහිටයි. මොවුහු ජීවිතයේ දිගු කලක් තාරුණ්‍යය සමඟ රැඳී සිටීමට සමත්වෙති. ඉතා ඉක්මනින් අන්‍යයන් වසඟකර ගැනීමට සමත් බැවින් බොහෝවිට මොවුන්ගේ විවාහ ජීවිත අසාර්ථක වෙයි.
We found this article from Divaina on 2013/07/28.
Also Sinhala to English Google word to word translation can be found here