ග්‍රහ සංයෝග ඔබට බලපාන අයුරු

2640
ග්‍රහ සංයෝග
ග්‍රහ සංයෝග

ග්‍රහ සංයෝග යනු එක්‌ රාශියක ග්‍රහයින් දෙදෙනකුට වැඩි පිරිසක්‌ සිටීමය. මෙම ග්‍රහ සංයෝගයන්ගේ වඩාත් ඵල සහිත තත්ත්වයක්‌ උදාවන්නේ කේන්ද්‍රස්‌ථානයකුත්, ත්‍රිකෝණ ස්‌ථානයකුත් අධිපති ග්‍රහයන් එවැනිම තැනක එකට සිටීමෙනි. එකම රාශියේ ග්‍රහයන් දෙදෙනකු සිටියද අංශක 28 කට දුරින් සිටිවිට ග්‍රහ සංයෝගයේ නියම ඵල නොලැබෙයි. සංයෝග ඵලද ශුභ අශුභ ලෙස ගිණිය හැකිය. ද්වි ග්‍රහ සංයෝගයේදී ග්‍රහයන් දෙනොගේ උච්ච රාශියක්‌, නීච රාශියක්‌ වීමෙන් එහි සංකෝචන බලය වැඩී ග්‍රහයන් දෙදෙනාට අදාළ රාශි උච්ච, නීච වීමද යහපත්ය. එසේම එකී රාශිය උච්ච රාශියකුත් මිත්‍ර රාශියකුත් වීමෙන් ප්‍රතිඵල අඩුවීමට හේතුවන නමුත් ඉෂ්ට ඵල ලබාදෙයි. උච්ච රාශියකුත් ස්‌ව රාශියකුත්වීමෙන්, වඩාත් යහපත් තත්ත්වයක්‌ උදාකරයි. උච්ච හා සතුරු රාශියක්‌ (ග්‍රහයන් දෙදෙනාට) වූ විට සතුරු වූ ග්‍රහයාගේ බලය අනුව ප්‍රතිඵල උදාවෙයි. සංයෝග ඵල කේන්ද්‍ර හිමියාගේ ස්‌ථාන හා රාශි අනුව සිදුවෙයි.

ශනි – කුජ සංයෝගය – ශනි – කුජ (අඟහරු) දෙන්නාගේ එකතුව ඉතාම ප්‍රබලය. මෙම දෙදෙනා එකට සිටීමෙන් ඉවසිලිවන්ත වෙයි. ගතිගුණ යහපත් වේ. ධාරණ ශක්‌තිය ඇති වේ. නිරෝගී වේ. මේ ග්‍රහයන් දෙන්නා රවිගෙන්, සඳුගෙන්, ලග්නයෙන් කේන්ද්‍ර ගතව යෙදී සිටීනම් ඉතාමත් වාසනාවන්තයි. උනන්දුවත් ක්‍රියාශූරත්වයත් නිසා තම බලය පැතිරේ. එසේම මේ ග්‍රහයන් දෙදෙනා නරකට සිටීනම් දරුණු පුද්ගලයකු වෙයි. කේන්ද්‍ර සටහනේ 06-08-12 03.11 අධිපතියන් බලය වැඩිවූ කල මේ තත්ත්වය ලග්න ගතවූ විට දාමරිකයකු වන්නේය.

බුධ – සිකුරු සංයෝගය – මෙය යහපත් සංයෝගයකි. කේන්ද්‍ර සටහනේ 06-08-12-03-11 හිමිවීමත් එහි සංයෝගය සිදුව තිබීමත් ශුභ ඵල අපේක්‍ෂා කළ නොහැක. කේන්ද්‍රයේ යහපත් ස්‌ථානයක මෙම ග්‍රහ සංයෝගය සදන කල කථාවෙන් අන් අයගේ සිත් දිනාගනී. සාහිත්‍ය කලා සංගීත ආදී කටයුතු වලට දක්‍ෂතා දක්‌වයි. කේන්ද්‍රගතව මෙම යෝගයයේදී ඇති අය දක්‍ෂ කථිකයන් වන්නේය.

කුජ – සිකුරු – සංයෝගය (- මෙම යෝගය කාමය අවුස්‌සන්නකි. මෙම සංයෝගය සිදුව ඇති රාශිය භාවය අනුව ප්‍රතිඵල අත්වෙයි. සිකුරුගේ බලය විකෘති තත්ත්වයට පත්කරන රාශියක යෙදුණ විට යෝගයේ ප්‍රතිඵල නරකයි. කටක, කන්‍යා, වෘශ්චික වැනි රාශියක මෙම යෝගය යෙදුන විට ඒ තැනැත්තා කාම වින්දනය අයුතු ලෙස යොදවා ගනී. එසේ නමුත මිථුන, සිංහ, තුලා, ධනු, මකර, කුම්භ රාශියක මෙම යෝගය යෙදුණ විට ඉතාමත් වාසනා වන්තයි. මකර රාශියේ මෙම යෝගය යෙදුන විට දේපළ අතින් දියුණුවත්, කම්සැප විඳීමේ භාග්‍යයක්‌ උදාවෙයි. ස්‌ත්‍රී පක්‍ෂයේ සිත් දිනාගනී.

ශනි – සිකුරු සංයෝගය – මෙම දිවි ග්‍රහයෝගයෙන් රාගික – කාමුක හැඟීම් මැඬපැවැත්වෙයි. කේන්ද්‍ර ගතව හෝ ත්‍රිකෝණ ගතව හෝ උච්ච රාශිගතව වීමෙන් අධ්‍යාත්මික වශයෙන් දියුණු තත්ත්වයකට පත්වේ. බුද්ධිමතකු වන්නේය. මතක ශක්‌තිය වැඩිවේ. කේන්ද්‍ර – ත්‍රිකෝණ ස්‌ථානයක මාරක බලයකින් යෙදුණ විට ශ්‍රමණ – මහණ යෝගයක්‌ වීමටද පුළුවන්. කරුණාවන්තයි. කලබල නැත. පවුල් ජීවිතය යහතින් ගතකළ හැකිය. විවාහය කල්යැමටද පුළුවනි.

ශනි – බුධ සංයෝගය

මෙම සංයෝගයෙන් ජන්මියාගේ අධ්‍යාත්මික ගුණ වගාව යහපත් තත්ත්වයකට පත්කරයි. විශේෂයෙන් මිථුන, තුලා, කුම්භ, කන්‍යා, ධනු යන රාශිවල කේන්ද්‍ර – ත්‍රිකෝණ ආදී වශයෙන් මෙම සංයෝගය යෙදී තිබුණ විට ඉතා උසස්‌ දාර්ශනික ඥනයක්‌ ඇතිවෙයි. ගණිත මිනිත කටයුතු වලට දක්‍ෂයි. බැංකුකරුවන් ගිණුම් කරුවන් වීමට යහපති. සෘජුයි, සත්‍යවාදී වේ. ඉංජිනේරු තනතුරුවලටද යෝග්‍ය යෝගයකි. මෙම යෝගය කටක – මීන රාශිවල යෙදීමෙන් ඵලක්‌ නැත.

ශනි – ගුරු සංයෝගය – මෙම සංයෝගය කේන්ද්‍රයේ මිථුන – තුලා, කුම්භ ධනු – මීන, කන්‍යා යන රාශිවල යෙදීම (කේන්ද්‍ර – ත්‍රිකෝණ ගතව) ඉතා ශුභයි. මෙවන් අය උසස්‌ බුද්ධිමත් අය වෙති. ඥනවන්තයි. ගුණයහපත්කමින්ද ඉහළයි. තරුණ වියේ සිට ටිකින් ටික උසස්‌ තත්ත්වයකට උසස්‌ රැකියා අවස්‌ථා යෙදේ. දේපළ ඉඩකඩම් ලබයි. රවි – සඳුගේ දෘෂ්ටියට ලක්‌වීමෙන් ප්‍රතිඵල තවත් වැඩිවේ.

ශනි – චන්ද්‍ර සංයෝගය (- මෙම ග්‍රහ එකතුව ජන්ම ඒරාෂ්ඨකය ලෙස සැලකෙයි. මෙම යෝගය ඇතිව උපන් අය ළදරු වියේ සිට ළමා කාලය දක්‌වා දුක්‌කරදර, ලෙඩරෝග හදිසි අනතුරු ආදියෙන් අසහනයකට පත්නොවී බේරුණහොත් ඉතා ශුර දක්‍ෂ අය වන්නේය. තමන් කරන කියන රාජකාරියේම ඉතා දක්‍ෂ ලෙස නියෑළේ. වැඩිහිටි මාපිය උරුම හිමිකම් ලබයි. ගෙවල් දොරවල් ලැබේ. මුදල් වැයකර දේපළ ඉඩකඩම් ලබාගනී. කේන්ද්‍රයේ උච්ච – ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් සිටියහොත් ඉතාමත් වාසනාවන්ත ජීවිතයක්‌ ගත කළ හැකිය.

සඳු – ගුරු සංයෝගය – කේන්ද්‍ර හිමියාගේ මෙම යෝගය යහපත් ස්‌ථානයක පිහිටිය හොත් ඉතාමත් ශුභයි. නීරෝගී වේ. යහපත් මිත්‍ර ආශ්‍රය ඇතිකරයි. ප්‍රසිද්ධියට පත්වේ. හරිහම්බකරගන්නේ දූෂිත මාර්ග වලින් නොවේ. සාධාරණ නීත්‍යානුකූල මාර්ග වලින් ධනය උපයා ගනී. මෙම කේන්ද්‍ර යෝගය කේන්ද්‍රයේ නරක ස්‌ථානයක පිහිටි විට දේපළ නැතිවේ. ව්‍යාපාර වල යෙදී සිටී නම් පාඩු සිදුවෙයි. පවුල් දිවිය යහපත් නොවේ. මත්පැන් වලට රුචිය වැඩිවෙයි.

සඳු – බුධ සංයෝගය – මෙම යෝගය ශුභව පිහිටි විට කථාවට දක්‍ෂවෙයි. කථාවෙන් අන් අයගේ සිත් ඇදගනී. පෙනුම ප්‍රසන්නයි. කලාකාමී වේ. උභය පාර්ශ්වයේ සිත් ඇදගනී. සිත එක අරමුණක පිහිටුවා වැඩකටයුතු කර ගැනීම අපහසු වේ. අශුභව මෙම යෝගය පිහිටා තිබුණ විට මත්පැන් ප්‍රිය කරයි. රේස්‌ සූදු ආදියට පෙළඹේ. අන් අය රවටා මුදල් උපයයි.

We found this article from Divaina on 2013/02/22.
Also Sinhala to English Google word to word translation can be found here