අද අපි විස්‌තර කරන්නේ අතක පුංචිම ඇඟිල්ල වූ සුළැඟිල්ල පිළිබඳවයි. මෙම ඇඟිල්ල බුද ග්‍රහයාට අයිති බැවින් බුධ ඇඟිල්ල යනුවෙන් හඳුන්වන අතර බොහෝ අය සුළැඟිල්ල නමින් ද හඳුන්වනු ලබයි.
සුළැඟිල්ල මගින් කථිකත්වය, උද්‍යෝගය, චිත්ත ආවේග ආදිය සංකේතවත් කරයි. එසේම ධනය, අදහස් හුවමාරුව, ව්‍යාපාර හා අන් අය හා ආශ්‍රය යන බුධගේ ගතිගුණ ද නියෝජනය කරන බව සාමුද්‍රක ශාස්‌ත්‍රයේ සඳහන් වෙයි.
පළමු පුරුක
ඒ අනුව සුළැඟිල්ලේ නිය පිහිටා තිබෙන කොටස අයත්වන්නේ තුලා රාශියටයි. එයට අදාළ සලකුණක් පෙන්නුම් කර ඇත. එම පුරුක අනෙක් පුරුක් දෙකටම වඩා දිගින් වැඩි නම් එයින් හෙළිකරන්නේ ඔහු හෝ ඇය සාධාරණ තීරණ ගැනීමේ හැකියාවක් ඇත්තකු බවය. දක්‍ෂ ලෙස කතා කිරීමට සමත් කථිකත්වයක් ඇති අයගේ අත්වල මෙම පිහිටීම දැකිය හැක.
මැද පුරුක
සුළැඟිල්ලේ මැද පුරුක වෘශ්චික රාශියට අයත් වන අතර, එම පුරුකට සලකුණ ද දක්‌වා ඇත. එම පුරුක අනිත් පුරුක් දෙකට වඩා දිගින් වැඩි වීම ඉතාමත් හොඳ පිහිටීමකි. කිසියම් අයකුට යටත් වීමට අකමැති නිර්භීතකමක් එම ලකුණින් පෙන්නුම් කරයි. එවැනි අය අන් අය යටතේ රැකියාවක් කිරීමට ද කැමැති නැත. ඔවුන් ස්‌වාධීනව ධනෝපායන මාර්යක් සකසා ගනී. එමගින් ඔවුන්ගේ මතු දියුණුව ද සකසා ගනී. එම අයට දියවැඩියාව, මුත්‍රා රෝග වැනි රෝග පහසුවෙන් වැළඳිය හැක.
තුන්වැනි පුරුක
සුළැඟිල්ලේ තුන්වැනි පුරුක අයත් වන්නේ ධනු රාශියටයි. එම රාශියට හිමි සලකුණත් දකින්න ඇතිනේ. එම පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිගින් වැඩි නම් ඔහු දාර්ශනික අදහස් අති කෙනෙකු විය හැකිය. අග පුරුක දිගුව පිහිටියහොත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති අන් අය වසඟ කර ගැනීමේ සමත් කතාවේ දක්‍ෂ ක්‍රියාශීලී අයකු වේ. එම පුරුකේ හක්‌ගෙඩියට සමාන සලකුණක් සටහන් වීම සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ අත්වල නොපිහිටන මහා භාග්‍යවන්ත වූ පිහිටීමකි. අප මහා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්‌තයේ එවන් මහා මංගල ලක්‍ෂණයක් පිහිටා තිබුණු බව කියෑවේ.

මසින් පිරුණු ශක්‌තිමත් සුළැඟිල්ල ඉතා වාසනාවන්ත ය. යමෙකුගේ සුළැඟිල්ල මුලට සෘජු රේඛාවක් විහිදීමෙන් ඔහු ඥානවන්තයකු වේ. මුල පුරුකේ සිට මැද පුරුකට සෘජු රේඛාවක් විහිදී යයි නම් හේ ලෝකයම පිළිගත් අයෙක් වේ. කෙටි සුළැඟිල්ල අදක්‍ෂයකුගේ ලක්‍ෂණයකි. මානසික තත්ත්වය පවා දුර්වල විය හැකිය. කලාකාමී අදහස්‌වලින් තොර උදාසීන පුද්ගලයකු වෙයි. අන් අය රවටන්නා වූ කපටි ආත්මාර්ථකාමියෙක් ද වේ. එහි මුල් පුරුකේ ඝන වූ රේඛාවක් සහ කතිර සටහනක් තිබේ නම් ඔහු සොරෙක් විය හැක. සුළැඟිල්ල මස් ගුලියක් මෙන් තර වීම ද යහපත් නොවේ. සොරුන්ගේ අත්වල මෙම සලකුණ දැකිය හැක.
යමෙකුගේ සුළැඟිල්ල උල්ව තිබේ නම් ඔහු ගුප්ත විද්‍යාවන්හි නිපුන ගුරුවරයෙක් වන අතර. එය හතරැස් ආකාර නම් පරීක්‍ෂාකාරී මෙන්ම අමුතු දේවල් සෙවීමේ නියුක්‌ත වනු ඇත. සුළැඟිල්ල වෙද ඇඟිල්ලේ නිය සහිත පුරුක පසුකොට යන සේ දික්‌වූයේ නම් හෙතෙම ධනවතෙකු වෙයි. බොහෝ විට ව්‍යාපාරිකයකු විය හැකිය. සුලැඟිල්ල වෙඳගිල්ලේ නිය ඇති කොටසට ළං වූයේ නම් දක්‍ෂ ලේඛකයෙක් හෝ දේශකයෙක් වෙයි. කර්මාන්ත හා වෙළෙඳ කටයුතු පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකුගේ සුළැඟිල්ලේ මුදුන් පුරුක අනෙක් පුරුක්‌වලට වඩා දික් වේ. එසේම විවිධ විද්‍යාවන් කෙරෙහි ආශා ඇති ඒවා හදාරන්නෙක් ද වේ. ශූර කපටි අදහස් ඇති පුද්ගලයාගේ සුළැඟිල්ලේ මුදුන් පුරුක මහතට පිහිටයි. කෙටි සුළැඟිල්ල අදක්‍ෂයකුගේ ලක්‍ෂණ පෙන්නුම් කරන අතර ඇතැම් විට මානසික තත්ත්වය පවා දුර්වල විය හැකිය.
We found this article from Divaina on 2013/09/29.