ජ්‍යෙතිෂය ට එල්ලවන අභියෝග

834
ජ්‍යෙතිෂය

ජ්‍යෙතිෂය සෘෂිවරුන් විසින් ලොවට හෙළිකර ඇති ශාස්‌ත්‍රයකි. මහාසෘෂි ගර්ග තුමන් ජ්‍යෙතිෂ්‍ය පිළිබඳව කියා ඇත්තේ මෙසේය.

ගිහිගෙයින් වෙන්වුණ තාපසයෝද ජ්‍යෙතිඃශාස්‌ත්‍රඥයාගෙන් කරුණු විමසති. හිරුනොමැති අහස ( අන්ධකාරය) යම්සේද දෛවඥයකු නොමැති රජුද අන්ධයෙකුමෙන් ඔබ මොබ යයි. නක්‍ෂත්‍රය අධ්‍යයනය කරන්නා අපායේ නොඋපදී යනුවෙනි.

“අවිදි නෛථවයඃ ශාස්‌ත්‍රං

දෛවඥත්වං ප්‍රපද්‍යතෙ

සපංක්‌ති දූෂනඃ

පාපොඥයෝ නක්‍ෂත්‍ර සුචතඃ(-

“යමෙක්‌ ශාස්‌ත්‍රය නොදැන දෛවඥයෙක්‌ යෑයි කියන්නේද, හෙතෙම සමාජ දූෂකයෙකි. පාපියෙකි. නක්‍ෂත්‍ර සූචතයෙකි.” යනුවෙන් එහි අරුත වෙයි.

පුරාණ සෘෂින් යනු භාවනාව මගින් අධ්‍යාත්මය දියුණු කළ උතුමෝය. එතුමන් විසින් ලොවට හෙළිකළ ජ්‍යෙතිශාස්‌ත්‍රය අද මහත් අභියෝගයන්ට ලක්‌ව පවතී. මේ ලිපිය ඒ ගැනයි.

ජ්‍යෙතිෂ විවේචනය

පසුගිය දිනෙක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවකින් විකාශනය කරන ලද ධර්මදේශනයක්‌ මගින් කියෑවුණේ ජ්‍යෙතිෂය අනුගමනය කරන්නා නිරර්ථක ක්‍රියාවක යෙදෙන බවකි. දේශකයාණන් වහන්සේ ජ්‍යෙතිෂය ගැන කොතරම් විවේචනය කලේද යත් මෙරට සිටින උගත් ජ්‍යෙතිර්වේදියෙකු තම නිවසේ පවුලේ අය සමග හෝ හිතවතුන් සමග සිටියේ නම් බොහෝ අපහසුතාවයට පත්වනු නිසැකය.

ජ්‍යෙතිෂය

කුරුණෑගල ප්‍රදේශයේ වාසය කළ එක්‌තරා චීවරධාරියෙක්‌ නිතර පුවත්පත් හා රූපවාහිනියේ ජ්‍යෙතිෂය හා ගුරුකම් පිළිබඳව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළේය. ලක්‍ෂ ගණනින් මුදල් ඉපයීය. වසරකට වරක්‌ විශාල දානයක්‌ පවත්වා අසල්වැසි පන්සල්වලට සංග්‍රහ කළේය. අවසානයේ ස්‌ත්‍රී දූෂණයකට බන්ධනාගාරගත කරන ලදුව දැනට සිරගතව සිටී.

ප්‍රේම සබඳතාවක්‌ නිසා මානසික අසහනයකට ගොදුරු වී සිටි එක්‌තරා යුවතියක්‌ මා හමු වී මෙසේ ප්‍රකාශ කළේය.

“මට මේක නැතුවම බෑ. මම මේ ගැන අහවල් හාමුදුරුවන්ටත් කෝල් කලා. යන්තරයක්‌ හදල එවන්න විසිතුන්දාහක්‌ ඕන කීවා. මම ඒක කරගත්තා. යන්තරේ එවල තිබුණෙ තැපෑලෙන්. ඒ උනත් ප්‍රතිඵලයක්‌ නෑ.

මේ යුවතිය කීවේද ජ්‍යෙතිෂය හා ගුරුකම් ගැන නිතර නිතර පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කරන චීවරධාරියකු පිළිබඳවය. නමුත් ඇය රැගෙන ආ පෙම්වතාගේ කේන්ද්‍රය ඇයට ගැලපෙන්නේ නැත. මෙය පැහැදිලි කරදී ඇයගේ අසහනය දුරු කරන්නට දිගුවේලාවක්‌ සාකච්ඡා කළ යුතු විය. මේ සේවාදායකයකු විසින් එක්‌තරා ප්‍රසිද්ධ දෛවඥයෙකු ගැන පැවසු කතාවකි.

” අපි එයා හම්බවුණා. අපේ කේන්දර වැරදියි කීවා. හදාගන්න ඕන කීවා කේන්දර හදන්නෙ එයාගෙ නෝන. කොම්පියුටර් එකෙන් කේන්දර පහම හැදුවේ රුපියල් අටසීය ගානෙ අරගෙන එතකොට හාරදාහයි. බැලුවේ. එකක්‌ දාහ ගානෙ. රුපියල් නවදාහක්‌ ගියා. පැය දෙකක්‌ යන්න ඇති. ඒ උනත් අහන්න දෙයක්‌ නෑ.

මේ වූ කලී ජ්‍යෙතිෂ කළුකඩකාරයෙක්‌ විය යුතුය. මෙවැනි අයගෙන් රැවටෙන සේවාදායක දායිකාවන්ගෙන් ජ්‍යෙතිෂ්‍ය ගැන ලැබෙන පුළුල් ප්‍රචාරය ඉතා අයහපත් බව කිවයුතු නොවේ. සමහර වෙළෙඳ දැන්වීම් ඉතා පිළිකුල් සහගතය.

“විදේශ ගත දරුවන්ට විශේෂ සේවා. ඔබ කැමති පෙම්වතා හෝ පෙම්වතිය සති දෙකක්‌ වශී කරදෙමි, සතුරන් පරාජය කිරීම, බහිරව දෝෂ අණවිණ දුරුකිරීම, හැරගිය සැමියා හෝ බිරිඳ දින තුනෙන් ඔබ ළඟ දනගැස්‌වමි. විභාග සමත් වීම, සුරාසූදුව සදහටම අත්හැරීම, කල් ගිය රෝග සුව කිරීම, කොතරම් කල් ගියත් ඔසප් දෝෂ මඟහරවා දීම, දරුපල, මහහුලවාලියා රෝඩී ගුරුකම්, අප ළඟ පමණයි. අසරණ දරුව මා වෙත එන්න.”

ඉහත සඳහන් කළේ ජ්‍යෙතිෂය යන වචනය ද ඇතුළත් වන බහුලව දැකිය හැකි පුවත්පත් දැන්වීම්ය. පුදුමය වන්නේ මෙවැනි දැන්වීම් ජනප්‍රිය ජ්‍යෙතිෂ පුවත්පත්වලද පිටුගණනින් ඵල වීමයි. මේ අනුව ජ්‍යෙතිෂයට අභියෝග කිරීමට මිනිසුන් පොළඹවන්නෝ මෙවැනි දෛවඥ සූකරයෝම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජ්‍යෙතිෂය ගැන පරිණත දැනුමක්‌ ඇත්නම් දැන්වීම් මගින් මිනිසුන්ට අඬගැසීම අවශ්‍ය නොවේ. කෑගසා අඬගැසිය යුත්තේ ” කුණුමාළු” විකිණීමටය. මේ රටේ පතල කීර්තියක්‌ ඇති කරගන්නා වූ යටිපව්වේ හරමානිස්‌ අප්පුහාමි ග්‍රන්ථ කර්තෘවරයෙක්‌ වූ දෛවඥයෙකි. දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි ඈපාලිත ලංකාවට දායාද කල පරපුරක්‌ ආරම්භ කළේය. බණ්‌ඩාරවෙල ඇස්‌. ඩබ්. කස්‌තුරිරත්න ශූරීන් මෙරට සියගණනක්‌ ජ්‍යෙතිර්වේදීන්ගේ ගුරුවරයෙකි. එතුමා ලංකා පංචාංග ලිත බිහිකළේය. ඉන්දියාවේ ඇස්‌ට්‍රොලොජිකල් මැගසින් නම් සඟරාව බිහිකර ලොව වටා යවන ලද රාමන් මහතා ජාත්‍යන්තර කීර්තියට පත් පඬිවරයෙකි. මේ අයත් මෙකල ලංකාවේ විවිධ පළාත්වල ජනතාවට සේවාවන් සලසන ජ්‍යෙතිර්වේදී උගතුන් පිරිසක්‌ කිසිදු පත්‍රයක හෝ රූපවාහිනී නාලිකාවක දැන්වීම් දමන්නේ නැත. මා ළඟට එන්නැයි අඬබෙර ගසන්නේද නැත.

ධර්ම දේශනාවකදී ජ්‍යෙතිෂය විවේචනය කළ බව ඉහත සඳහන් කළෙමි. ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලා සමග විවාදයකට එළඹීම කිසිසේත් අපේ අදහස නොවේ. එවැනි විවේචනයක්‌ කිරීමට තරම් මෙම වෘත්තීය පිරිහී ඇති බවද පෙනෙන බැවිනි. එහෙත් මෙරට වැඩ වාසය කළාවූද, අදත් වැඩසිටින්නා වූ ද බහුශ්‍රැත උගත් ස්‌වාමීන්වහන්සේලා ජ්‍යෙතිෂයට කර ඇති සේවය සුළුපටු නොවේ.

ජ්‍යෙතිෂය

මේ අතර බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමි, බෙල්ලන ඥානවිමල මහනායක හිමි, ප්‍රමුඛය. මෙරට පැරණිතම විශිෂ්ට ජ්‍යෙතිෂ ග්‍රන්ථයක්‌ වන “දෛවඥ කාම ධෙනුව” ලියා ඇත්තේ අත්තනගල්ල විහාරයේ වැඩ වාසය කළ අනවමදර්ශී නම් සංඝරාජයාණන් වහන්සේ විසිනි. සංඝ පීතෘවරයාණන් කෙනෙකු වන අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියෝ ස්‌වකීය පුෙන්‍යාපදේශය නම් ග්‍රන්ථයේ බෞද්ධ යන්ත්‍ර වන අභිසම්බිධන, රතන, නවගුණ, ජලනන්දන ආදී යන්ත්‍ර රූපසටහන් සහිතව පළ කර තිබේ.

ජ්‍යෙතිෂය බුදුදහම විසින් ප්‍රතික්‍ෂේප කරයිද?

ජ්‍යෙතිෂය බුදුදහම විසින් ප්‍රතික්‍ෂේප කර ඇත්තේ ගිහියන්ට නොව පැවිද්දන්ටය. දිඝනිකාය ශිලක්‌ඛන්ධ වග්ගයේ සූත්‍ර ගණනාවක තිරශ්චීන විද්‍යා ගණනාවක්‌ ගැන කියෑවේ. රහත් බව පතන උතුමෝ ජ්‍යෙතිෂයට පෙර පන්සිල් ආරක්‍ෂා කරති. ඉන් නොනැවතී නැටුම් ගැයුම් ආදීයද මුදල් පරිහරණයද ගෘහස්‌ත දස සීලයේදීම අත්හරිති. ජ්‍යෙතිෂය, පමණක්‌ නොව වෛද්‍ය වෘත්තිය ද ඊට කැප නොවේ.මේ කාරණය ගැන විවෘත සංවාදයක ඒමට මෙම ලියුම්කරු සූදානම් බවද ප්‍රකාශ කරන්නේ බහුතර බෞද්ධයන් නොමග යන බැවිනි. ජ්‍යෙතිෂයට අභියෝග කරන බෞද්ධ අන්‍යාගමික පිරිස්‌ ද සිටී.

මුස්‌ලිම් හා කතෝලික බැතිමතුන් ජ්‍යෙතිෂය කෙරෙහි වැඩි නැඹුරුවක්‌ නොදක්‌වන්නේ බොහෝ ශූභ හෝ අශූභ සිදුවීමකට හේතුව ” දෙවියන්ගේ කැමැත්ත” බව ඔවුන් විශ්වාස කිරීමයි. දෙවියන්ට යාඥා කිරීම මගින් බලාපොරොත්තු ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරන ඔවුන් ජ්‍යෙතිෂයට ගරහන්නේද නැත. එහෙත් මුස්‌ලිම්වරුන්ගේ දින හා මාස ගණන් ගන්නේ හිරු සඳුගේ ග්‍රහගමන් මුල් කරගෙනය. ක්‍රිස්‌තුස්‌වහන්සේ ලොව පහළවන විට වල්ගාතරුවක්‌ දිස්‌ වූ බවත් ඒ අනුව අනාවැකි පලකර ඇති බවත් දනිමු.

ජ්‍යෙතිෂයට අභියෝග කරන තවත් පිරිසක්‌ වන්නේ භෞතික විද්‍යාව උගත් යථාර්ථවාදී පිරිසයි. ඔවුන් තර්ක කරන්නේ ජ්‍යෙතිෂය විශ්වාස කරන්නෝ හුදු මිථ්‍යා අන්ධකාරයේ ගැලී සිටින බවය. පසිඳුරන්ගෙන් දැනගත නොහැකි දෙයක්‌ ඔවුන් විශ්වාස කරන්නේ නැත. භෞතික විද්‍යාව නැතහොත් තාරකා විද්‍යාව උගත් අය එසේ උපාධි ලබා ඇත්තේ බටහිරින් අපට දී ඇති දැනුම ලබාගෙනය. ඒ අනුව විවිධ ග්‍රහ තාරකා සොයාගන්නේ බටහිර විද්‍යාඥයන් විසින්ම බව ඔවුහු කියති. ඔවුන්ට අනුව ගැලීලියෝ දුරේක්‍ෂය නිර්මාණය කළ පසුව ග්‍රහ තාරකා නිරීක්‍ෂණය කළ හැකි විය. පාසල් දරුවන්ට උගන්වන්නේද එසේය. මේ අනුව නූතන තාරකා විද්‍යාවට වසර 1000 ක්‌ වත් ගත වී නැත.

එහෙත් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පැරණි ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයන් ග්‍රහ තාරකා හඳුනාගෙන ඇත්තේ ඊට බොහෝ පෙර බව සාධක සහිතව ඔප්පු කළ හැකිය. ජ්‍යෙතිෂය එහි අතුරු ඵලයකි. ග්‍රහතාරකා පිළිබඳවත් ඒවායේ ගමන් වේගය පිළිබඳවත් පුරාණ සෘෂිවරු හරිහැටි දැන සිටි බව ග්‍රහ චලනය දන්වන පුරාණ ග්‍රන්ථවලින් පෙනේ. මේ හැර මහාවංශය ආදී වංශ කථාවලද බොහෝ ඈත අතීතයේ පවා අප මුතුන් මිත්තන් සතුව තිබූ දැනුම පිළිබඳ උදාහරණ බොහෝ දැක්‌විය හැකිය. සිදු වී ඇත්තේ අපගේ ජාතික උරුමයක්‌ වූ මෙම දැනුම සඳහන් පොත්පත් හා ධර්ම ග්‍රන්ථ පවා විනාශ කර දමා පන්සලෙන් පිරිවනෙන් ලැබූ අධ්‍යාපන ක්‍රමය ඉවත් කර කළු සුද්දන් බිහිකරවන ලද බටහිර අධ්‍යාපනය මේ රටේ ස්‌ථාපනය කරවීමයි.

එකල ජනතාව පන්සලට ආකර්ෂණය කරගෙන තිබුණේ ධර්මය මගින් පමණක්‌ම නොවන බව පෙනේ. අකුරු කියවූයේද, බෙහෙත් දුන්නේද, නැකැත් හැදුවේද පන්සලේ හාමුදුරුවෝය. මේ නිසා සියලු වැදගත් කාරණාවලට අනුශාසනය ලබන මූලස්‌ථානය පන්සල විය. අද බටහිර අධ්‍යාපනය ලැබූ උගත් ගිහි පැවිදි පිරිස්‌ ජ්‍යෙතිෂ හා ආයුර්වේදය ආදී සම්ප්‍රදායික දැනුමට අභියෝග කරති.

ජ්‍යෙතිෂයට අභියෝග කරන තවත් පිරිසක්‌ වන්නේ වර්තමාන තරුණ පරපුරේ සමහර දරුවනුයි. ප්‍රේම සබඳතාවක්‌ හිතුවක්‌කාර ලෙස ඇති කරගන්නා ඔවුහු පොරොන්දම් නොබලන්නේ මේ සබඳතාව නතර කරන්නට සිදු වේදැයි බියෙනි. එහෙත් බටහිරට වඩා ආසියාතික රටවල විවාහ ජීවිත සාර්ථක වීමට ජ්‍යෙතිෂය බොහෝ දුරට ඉවහල් වී තිබේ. ලංකාව ඉන්දියාව විශේෂය. මේ සියවස තුළ අතිඋත්කර්ෂවත් මංගල්‍යය වූ චාල්ස්‌ ඩයනා විවාහයට ඛේදවාචකයක්‌ වීම වළක්‌වා ගැනීමට නොතිබුණේද යන්න විමසා බැලීම වටී. පොරොන්දම් 100% ගැලපෙන අයද නැත. එහෙත් වඩාත් නොගැලපෙන්නේ නම් එතැන සාර්ථක විවාහයක්‌ද නැත. මේ අපේ ප්‍රායෝගික අත්දැකීමයි.

තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජ්‍යෙතිෂය, ආයුර්වේදය ආදී විද්‍යාවන් ඉගෙනීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැත. ඊට හේතුව පාසල් තුළ ඒවා ඉගෙනීමට විෂය මාලා නැති හෙයිනි. එහෙත් ඒ නිසාම මෙම පාරම්පරික දැනුම සමච්චලයට ලක්‌ කිරීමට ඉක්‌මන් විය යුතු නොවේ. තාරකා විද්‍යා පාඨමාලාවලට පුරාණ ජ්‍යෙතිෂ කරුණු ඇතුළත් කිරීම, ග්‍රහ ගණිතය ඉගැන්වීම සුදුසුය.

ජ්‍යෙතිෂය පිළිබඳ ඔබ දැනුවත් ද?

අප මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස්‌ කළේ ඉතා ප්‍රයෝජනවත් වූ ජ්‍යෙතිෂයට, හතර අතින් එල්ල වන අභියෝග පිළිබඳවය. ගිහි පැවිදි උගතුන් යෑයි හිතාගෙන සිටින පිරිස්‌, ආගමික නායකයන්, තරුණ තරුණියන්, නූතන විද්‍යාව උගත් අය, යථාර්ථවාදීන් ආදී විවිධ අංශවලින් එල්ල වන මෙම අභියෝගවලට මුහුණ දීමට වර්තමාන ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයා ඉදිරිපත් විය යුතුය. සමත් විය යුතුය.

මෙහිදී කළ යුතු පළමු කාර්යය වන්නේ දැනුම අතින් සන්නද්ධ වීමයි. බොහෝ වෘත්තිකයන් අතර පවතින පොදු දුර්වලතාවක්‌ වන්නේ සමාන වෘත්තීන් කරන සගයින් හෙලාදැකීමයි. විවේචනය කිරීමයි. වෘත්තියේ දැනුමට නොව ශාරීරික ලෙඩ රෝග ගැන පවා කියමින් එසේ විවේචනය කිරීම හානිදායකය. තම දැනුම අනුන් සමග බෙදා ගැනීමටත් සහයෝගයෙන් ක්‍රියා කිරීමටත් ඔවුන් ක්‍රියා කළ යුතුය.

ජ්‍යෙතිෂය

එහෙත් වෘත්තියේ ගෞරවය කෙලෙසන අය ගැන කතා කිරීම වරදක්‌ නොවේ. කෙසේ නමුත් ජ්‍යෙdතිෂය යනු ජීවිත කාලය පුරා ඉගෙනගෙන වූවද නිමක්‌ දැකිය නොහැකි පුළුල් විෂයයකි. එබැවින් තමා සියල්ල දන්නේ යෑයි කිසිවකුට කිව නොහැකිය..

ජනතාවද ජ්‍යෙතිෂය යනු කුමක්‌දැයි දැන සිටින විට විවේචනය වුවද සාධාරණව කළ හැකි වේ. ජ්‍යෙතිෂය යනු ග්‍රහවස්‌තූන්ගේ දිලිසීමයි. එනම් ග්‍රහයන්ගේ චලනය අපට බලපාන ආකාරය උගන්වන ශාස්‌ත්‍රයයි. ජ්‍යෙතිෂය යනු අංජනම් බැලීම හෝ ආරූඪයෙන් ශාස්‌ත්‍රකීම හෝ ආවේෂ වීම නොවේ. යන්ත්‍ර, මන්ත්‍ර බලි තොවිල් යාග හෝමද ඊට අයත් නැත. පුරාණ සිවුසැට කලාශිල්පවල ජ්‍යෙතිර්ඥානය, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර වශයෙන් විෂයන් හතරක්‌ තිබුණි. මේවා එක ගොඩට දා ගනිමින් ප්‍රචාරය කරන දැන්වීම් නිසා ජනතාවට ජ්‍යෙතිෂය කුමක්‌ දැයි නිවැරදීව අවබෝධ නොවේ. ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥයකු යන්ත්‍ර පැළඳවීමද කරන්නේ නම් ඔහු ඒ පිළිබඳව වෙනම හදාරා තිබිය යුතුවේ. ජ්‍යෙතිෂයට විරුද්ධව අභියෝග කරන අයගේ අදහස්‌ හා ඒ පිළිබඳව ලියා ඇති පොත් පත් කියවන විටද පෙනීයන්නේ මේ අය ජ්‍යෙතිෂය යන විෂය කුමක්‌ දැයි නොදන්නා බවයි.

ජ්‍යෙතිෂය සමාජ සංවර්ධනයට බාධාවක්‌ නොවේ. එය ව්‍යාපාර, කෘෂිකර්ම, අධ්‍යාපන, ඉදිකිරීම්, දේශපාලන, දේශගුණික ආදී සෑම අංශයකම ප්‍රගතියට යොදාගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරය උසස්‌ තත්ත්වයක තිබූ සැම විටම ජ්‍යෙතිෂයද එසේ තිබු බව පැහැදිලි වේ.

We found this article from Divaina on 2014/03/02.