ජීවිතය හසුරුවන්නේ ග්‍රහ බලයද පෙර කර්මය ද?

2085
කර්මය
කර්මය

[ratings]

ජීවිතය අනපේක්‍ෂිත සිදුවීම්වලින් පිරී තිබේ. එක්‌ අතකින් බලන විට එය විශ්මයජනකය. ගෙදර කුස්‌සියේ සිටි කාන්තාවක්‌ හිටි හැටියේම රජවන අතර රාජකීය තනතුරුවල සිටින කෙනෙක්‌ සියලු තනතුරු අහිමි වී ජනතා අප්‍රසාදයට පත්වෙයි. කෝටි ගණනක ලොතරැයි දිනුම් ලබා සැනෙකින් ධන කුවේරයෙක්‌ බවට පත්වන දුගීන්ද, පරම්පරාවෙන් උරුම වූ විශාල ධනස්‌කන්ධයක්‌ අහිමිව මහමඟට වැටෙන ධනවතුන්ද බොහෝය. දුක සැප හැම කෙනකුගේම ජීවිත කරා බොහෝ විට එන්නේ අනපේක්‌ෂිතවය. සත්ත්වයා විවිධත්වයට පත්කරන අදෘශ්‍යමාන බලවේයක්‌ තිබේ. ඒ පෙර කර්මයද නැතහොත් ග්‍රහ බලයද? මෙය විමසා බැලීම මේ ලිපියෙන් අපේක්‍ෂා කෙරේ.

සමහරු ධනවත්ය. සමහරු දුප්පත්ය. සමහරෙක්‌ දීර්ඝායුෂ විඳින අතර තවත් පිරිසක්‌ අඩු වයසින් මියයයි. සමහරු අල්පේශාඛ්‍යය. සමහරු මහේශාඛ්‍යය. ලස්‌සන රූපයක්‌ උරුම අයත්, දුර්වර්ණ අයත් සිටී. මෙයට හේතුව කුමක්‌දැයි ප්‍රශ්න කරන ලදුව එය “කර්මය” නිසා සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. චුල්ල කම්ම විභංග, මහා කම්ම විභංග, මල්ලිකෝවාද ආදී සූත්‍රවලින් වැඩි විස්‌තර දත හැකිය. පෙර ආත්ම භවවලදී කරන ලද කුසල කර්ම හා අකුසල කර්මවල විපාක වශයෙන් ඒ ඒ සතුන්ට විවිධ ජීවිත උරුම වේ. මේ කරන ලද කර්ම නිසා විවිධ සුබ හෝ අසුබ ඵල හෙවත් ලෙඩ දුක්‌ උරුම වන බව බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කථා ඇතුළු කතා වස්‌තූන්ගෙන් පැහැදිලි වන්නේය. එපමණක්‌ නොවේ විසිවැනි සියවසේ විසූ කීර්තිමත් මනෝ චිකිත්සකයකු වූ එඩ්ගා කේසී රෝග පරීක්‌ෂණ උදෙසා කර ඇති පරීක්‌ෂණවලින් තහවුරු වූ කර්ම විපාක පිළිබඳ උදාහරණ සිය ගණනක්‌ තිබේ. මෙම ග්‍රන්ථය “සංසාර මන්දිර” නමින් සිංහලයෙන් පරිවර්තනය කර තිබේ.

සත්ත්වයා විවිධත්වයට පත්කරන්නේ කර්ම බලය නම් ග්‍රහ බලය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද? ඒ අනෙකක්‌ නොව කර්ම බලයම බව සෘෂිවරුන්ගේ ඉගැන්වීමයි.

දේවියෝ ග්‍රහ රූපේන

මනුෂ්‍යාණං ශුභා ශුභම්

ඵලං ප්‍රාගාර්ජිනං යව්ව

නද්දදාති ස්‌වකීයනම්…”

යන ශ්ලෝකයෙන් දැක්‌වෙන්නේ එයයි. “මිනිසුන් විසින් පූර්ව ජන්මයෙහි රැස්‌ කරන ලද යම් බඳු වූ සුබා සුබ කර්මයක්‌ වේද එහි විපාකය දෙවියෝ ග්‍රහ ස්‌වරූපයෙන් සිට ඔවුනොවුන් කරා පමුණුවත්” යනු එහි තේරුමයි.

හඳහන හෙවත් ජන්ම පත්‍රය යනු යම් කෙනකු උපදින විට ඒ ඒ ග්‍රහ තාරකාවන් අහසේ පිහිටා තිබූ ආකාරය දක්‌වන සටහනක්‌ පමණක්‌ නොවේ. එය ඒ පුද්ගලයා රැගෙන ආ පින් පව් හෙවත් කර්ම විපාක දක්‌වන සටහනක්‌ද වන්නේය. ඔහුගේ හෝ ඇයගේ මේ ආත්මය පමණක්‌ නොව පසුගිය ආත්ම තුනක්‌ද, ඉදිරියේ උපදින ආත්ම භාව තුනක්‌ද පිළිබඳ විස්‌තර ද හඳහන බලා කිව හැකිය.

ඔබේ ලග්නය කුමක්‌ හෝ වේවා එය බලවත් නම් ඔබ පෙර පින් ඇති කෙනෙකි. ලග්නය නමින්ම නවාංශකයද තිබේද? ලග්නාධිපති ලග්නයේම සිටීද? ගුරු, බුධ, සිකුරු ආදී ශුභ ග්‍රහයන් ලග්නයේ බලවත්ව සිටීද? නැතහොත් ලග්නය දකීද? එවිට ලග්නය බලවත් වෙයි. ලග්නය නමින් හඳුන්වන්නේ ඔබේ ජන්ම පත්‍රයේ පළමුවැනි භාවයයි. එය උපත ලබාදුන් ජනක කර්මය ගැන කියන තැනයි. එසේ බලවත් අය ධනවත් හෝ බලවත් පවුලක උපදී. යහපත් සමාජ තත්ත්වයක්‌ ලබයි. පෙනුම ආකර්ෂණීය වෙයි. එමෙන්ම බුද්ධිමත් හා ප්‍රඥවන්තද වෙයි. අන්‍යයන්ගේ ගෞරවය ලබන අය වෙයි. රටේ කැපී පෙනෙන පින්වත්, ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ හිමි අයගේ හඳහනේ ලග්නය බලවත් බව නිරීක්‌ෂණය කළ හැකිය.

එමෙන්ම ලග්න භාවයේ කුජ හෝ ශනි කේතු වැනි පාප ග්‍රහයන් සිටීද? සුබ ග්‍රහයන් නොසිටීද, ලග්නය දුර්වල වෙයි. ලග්නාධිපති හා නවාංශකාධිපතිද සතුරු නීච ආදී දුර්වල තත්ත්වයක නම් ජන්මියාගේ පෙර ආත්මයද, තිරිසන් හෝ ප්‍රේත ආත්මයක්‌ බවද පෙන්වයි. එයින් කියනු ලබන්නේ ජනක කර්මය අකුසල කර්මයක්‌ බවයි. එවැනි අය අභ්‍යන්තර අසනීපවලින් පෙළේ. දුබල පවුලක උපත ලබයි. දුක්‌ විඳින කෙනෙක්‌ හෝ රෝගියකු වෙයි. සමාජයේ කැපී පෙනෙන කෙනෙක්‌ නොවේ. ඒ දුබල ග්‍රහ බලය පෙන්වන්නේ පෙර කර්මයකි.

ජනක කර්මය අනුවම ජීවිතය ගත කරන ආයුෂ ප්‍රමාණයද තීරණය වන්නේය. එනම් ආයුෂ තීරණය වන්නේ මව් කුස පිළිසිඳ ගන්නා විටමය. මේ ආයු කාලය ගතකරන විට ඊට ප්‍රධාන බාධාවන් දෙකක්‌ ඇති වන්නේය. එනම් සතුරුකම් සහ රෝගයි. සතුරුකම් නිසා ජීවිතය යහතින් පවත්වාගෙන යා නොහැකි වනවා මෙන්ම නිරෝගී භාවය නැතිනම්ද ජීවත් වීම නිශ්ඵල වේ. මේවාට “උප පීඩක කර්ම” යෑයි කියනු ලැබේ. පීඩා කරන අකුසල කර්ම විපාකයි. මෙම තත්ත්වය කේන්ද්‍රයේ හය වැන්නේ ග්‍රහ බලය අනුව වටහාගත හැකිය. හයවැන්න බලවත් නම් ජන්මියා නිරෝගී වේ. සතුරන්ගෙන් ජය ලබයි. එමෙන්ම හයවැන්න දුර්වල නම් නිරන්තරව රෝගී වන හෝ සතුරු උපද්‍රවලට ගොදුරුවන කෙනෙකු බිහිවේ. ලග්නපති හය වැන්නේ නම් තමන් විසින්ම සතුරන් ඇති කරගන්නා කෙනෙක්‌ වනු ඇත. හය වැන්නේ සෙනසුරු ගේ පිහිටීම ජන්මියා සතුරන්ට පරාජය කළ නොහැකි කෙනකු බව පෙන්වයි. උප ඝාතක කර්ම ගැන කියන හයවැන්න ජ්‍යෙdතිෂයේ දී හඳුන්වන්නේ සතුරු/රෝග ස්‌ථානය වශයෙනි. මෙම හයවැනි ස්‌ථානයට සම්බන්ධ ග්‍රහයන්ගේ දශා කාලවලදී ජන්මියා සතුරුකම් හා රෝගවලින් පීඩාවට පත්වනු ඇත.

ස්‌ථම්භය වශයෙන් හඳුන්වනු ලබන්නේ කණුවකි. එසේ නැත්නම් ආධාරකයකි. ජීවිතයට ලැබෙන උදව් උපකාර ආදිය පිළිබඳව උපස්‌ථම්භක කර්මවලින් විස්‌තර කෙරේ. පෙර ආත්මවලදී අන්‍යයන්ට උදව් උපකාර කළ අයට මෙම ආත්මයේ දී එවැනි අය ලැබේ. ජීවිතයට ලැබෙන ප්‍රධානතම උපකාර කරන්නා විවාහ සහකරු හෝ සහකාරියය. විවාහය ඇතුළු සහකරුවන් පිළිබඳව කේන්ද්‍රයේ හත්වන භාවය අනුව විස්‌තර කෙරේ. හත අධිපති ග්‍රහයා හත්වැන්නේම සිටීම දැකීම හෝ සිකුරු පුරසඳු බුධ ආදී ශුභ ග්‍රහයකු 7 වැන්නේ සිටීම අනුව ජන්මියා පෙර ආත්මවල උස්‌ථම්භක කුසල කර්ම කළ අයෙකු බව පෙන්වයි. එවැනි අයට ඉතා සුබ විවාහයක්‌ සිදු වේ. උදව්කරුවන්ද බොහෝ ලැබේ.

එමෙන්ම 7 වැන්නේ අව සඳු, කුජ, රාහු, කේතු ආදීන් තැන්පත් වී දුර්වල නම් ජන්මියා පෙර අකුසල් කළ අයකු බව පෙන්වයි. විශේෂයෙන් කාමයෙහි වරදවා හැසිරෙමින් අනුන්ගේ විවාහ ජීවිත කඩාකප්පල් කළ අයගේ හත දුර්වලව උපදී. එවැනි අයගේ කේන්ද්‍රයේ හත පාප පීඩිත යෑයි කියනු ලැබේ. හතේ කුජ දුර්වල වී වැන්දඹු දෝෂ ඇති වන්නට මෙවැනි අකුසල කර්ම හේතුවිය හැකිය.

ඉහත සඳහන් කරන ලද්දේ ජනක කර්මය අනුව ලැබෙන ආයුෂ ප්‍රමාණය ගෙවන අතරතුර ජීවිත කාලය තුළදී උදාවන සතුරු රෝග පීඩා හා සහකරුවන්ගේ ලැබීම පිළිබඳ කර්ම විපාක හඳුනා ගන්නා ආකාරයයි.

යම්කිසි ප්‍රබල අකුසල කර්මයක්‌ එළැඹීමෙන් මුලින් ලබාදුන් ආයුෂ කාලය ගෙවීමට පෙරද මරණයට පත්විය හැකිය. ජනක කර්මයේ බලය ඝාතනය කරන එවැනි කර්මවලට “උපඝාතක කර්ම” යෑයි බුදු දහමේ හඳුන්වනු ලැබේ. මෙම කර්ම බලය හඳුනාගත හැක්‌කේ කේන්ද්‍රයේ අටවැනි භාවයට එල්ල වූ ග්‍රහ බලයම විමසා බැලීමෙනි. අටවැන්න මෘත්‍යq ස්‌ථානය යෑයි හඳුන්වන්නේ එබැවිනි.

කේන්ද්‍රයේ අටවැනි භාවය, එහි අධිපති ග්‍රහයා හෝ වෙනත් සුබ ග්‍රහයකු තැන්පත් වීමෙන් ජන්මියා දීර්ඝායුෂ විඳින බව පෙන්වයි. එමෙන්ම අටවැන්නේ කුජ ආදී පාප ග්‍රහයකු තැන්පත්ව දුර්වල වූ විට හදිසි අනතුරු ආදියට භාජන වී අඩු වයසින් මියයන කෙනෙකු බිහිවෙයි.

ඉහත සංක්‍ෂිප්ත ලෙස සාකච්ඡා කළේ ජීවිතයේ විවිධ සිදුවීම්වලට බලපාන ග්‍රහ බලය ලෙස හඳුන්වන දේ අනෙකක්‌ නොව කර්ම බලයම බවයි. මේ පිළිබඳව ගැඹුරින් වටහා ගැනීම සැහැල්ලු ජීවිතයක්‌ ගත කිරීමට බොහෝ උපකාර වන බව කිව යුතුය. විවිධ දුක්‌, කරදර, චිත්ත පීඩා ඇති වන විට ඒ පිළිබඳව කළකිරී ආතතියක්‌ ඇති කර ගන්නවා වෙනුවට ඒවා කර්ම විපාක ලෙස සැලකීම මගින් ඉවසීම මෙන්ම ඒවාට මුහුණදීමේ ශක්‌තියද ඇති වේ.

තවද දුක්‌ ඉපදීමට හේතුව අකුසල කර්ම බලය බව වටහා ගත්විට ඒවා යටපත් කළ හැක්‌කේ කුසල කර්ම කර එනම් පින් රැස්‌කර ගැනීමෙන් බව අවබෝධ වේ. කෙතරම් කුසල කර්ම කළද සම්පූර්ණ ප්‍රතිපලයක්‌ අත්විඳීමට නම් ඉපදීම නතර කිරීම අවශ්‍ය බවද එනම් නිවන් දැක්‌ම අවශ්‍ය බවද අවබෝධ වනවා ඇත. ජ්‍යෙdතිෂයේ අවසාන පරමාර්ථයද ජීවිතය තුළින් පරම විමුක්‌තිය ලබා ගැනීම බවද ඒ පුරාණ සෘෂිවරුන්ගේ මතය බවද අවසාන වශයෙන් සඳහන් කරමු.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here