දැන කසාදේ නොදැන විලාපේ අතරමං නොවී මංගල්‍යයක්‌ කර ගමුද?

876
කසාදේ
කසාදේ

කතරගං ගිහිං අතරමං වෙනව කියල පරණ මිනිස්‌සු කියපු කතාවකුත් තියෙනවා. එදා කතරගං ගියේ පයින්. අද යන්නේ වාහනවල නිසා අතරමං වුණත් ප්‍රශ්නයක්‌ නෑ. හැබැයි කතරගං ගිහිං අතරමං වෙනව කියල කීවේ ඇත්තටම කතරගමදී අතරමං වෙන හින්දම නොවෙයි. ඒක ප්‍රස්‌ථා පිරුලක්‌ විදියට ඉස්‌සර මිනිස්‌සු කීවේ, තමන් එළඹෙන කටයුතු වලින් තමන්ට පාඩුවක්‌ සිද්ධ වෙයි කියන එකටයි.

ජොබ් එකක්‌ නැතුව ලතවෙවී හිටපු සිරා කල්පනා කරල දියුණුව ගැන හිතල ආප්ප කඩයක්‌ දැම්මා. මාස දෙකයි ගතවුණේ. සිරා නැවතුනේ තාච්චියත් විකුණලයි. අන්න මිනිහටත් වුණේ කතරගං ගිහින් අතරමං වීමම තමයි. මහ මෙරක්‌ තරං සිහින මැව්වා දියුණුව ගැන. ඒකට අනුව ප්ලෑන් කරලා පාර අයිනේ පොඩි ආප්ප කඩයක්‌ පටන්ගත්තා. අන්තිමේ දී අතිනුත් පාඩුවුණා. හැබැයි එහෙම දෙයක්‌ වුණාට පස්‌සේ, හරි පාර හොයාගෙන යන්න පුළුවනි.

ඒත් එහෙම කරන්න බැරි දේවලුත් තියනවනේ. අනේ අපේ කොල්ලෝ කෙල්ලෝ හුඟක්‌ දෙනෙක්‌ පාර වරද්දා ගෙන ගිහින් අනාගන්නව ජීවිතේම. කොහොම හරි දුක්‌විඳගෙන පස්‌සෙන් ගිහිං හරි, කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ව යාලු කරගන්නවා. කෙල්ලොත් ඒ විදියෙම තමයි. ඉතිං ටික කාලයක්‌ පෙම්වතෙක්‌ පෙම්වතියක්‌ වෙලා වැලන්ටයින් රෝස මල් හුවමාරු කරගෙන දෙමවුපියන්ගේ කැමැත්ත ගන්නවා. ඒක කරන්න ඉඩදුන්නේ නැත්තං වහ බීල මැරෙනව කියල කිව්වම දෙමවුපියෝ දුක හින්ද ඉඩ දෙනවා.

කසාදේ
කසාදේ

ඉතිං විවාහය කියනා කතරගමට තමයි මේ දෙන්නත් මේ යන්නේ. අතරමං වෙයිද කියලා ඒක වෙනකම්ම හිතාගන්න නම් බෑ. හුඟක්‌ දෙනෙකුට එහෙම වෙනවා. ඉතිං මේ ලිපියෙන් තරුණ ඔබට එහෙම අතරමං වෙන්න සිද්ධ වෙයිද කියලා කලින්ම දැනගන්න එක්‌ මගක්‌ තමයි ඉදිරිපත් කරන්නෙ.

හැබැයි කේන්දරෙන් තමයි ඕගොල්ලන්ට මේක දැනගන්න කියා දෙන්නේ. හොඳට අහගන්න. ඔබේ කේන්දරේ 5 වන කොටුව තමයි ඔබේ ආදර සම්බන්ධවලට උදව් දෙන්නේ. හත්වන කොටුව තමයි ඔබේ විවාහය ගැන කියන්නේ. ඉතිං මේ කොටු දෙකෙන්ම ඔබ කතරගං ගෙනියන්න උදව් දෙනවා. මේක කරන්නේ ඔය කොටු දෙකේ ඉන්න ග්‍රහයෝ තමයි.

හත්වන කොටුව හාා කසාදේ

ඔබේ හත්වැනි කොටුවේ, ඒ කියන්නේ විවාහ ස්‌ථානයේ සඳු දුර්වලව පිහිටියොත්, එනම් කුජ, ශනි, රාහු, කේතු වගේ ග්‍රහයන්ගේ සතුරු දෘෂ්ඨි සංයෝග වලට සඳු අසුවෙලා. එහෙම හිටියොත් ආදරේ කරන කාලයේ අවහිර බාධක වැඩියෙන් දැනෙනවා. විවාහය බොහොම සතුටෙන් සිදුවුණත් දුක්‌මුසු දේවල් දෙන්නටම ඇතිවෙලා වෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්තං දියුණුව කඩාවැටිලා උග්‍ර ප්‍රශ්නවලට මූණ දෙන්න හරි සිද්ධ වේවි. ඉතිං ඒ විදියට දහසක්‌ පැතුම් බොඳවෙලා යාවි.

පස්‌ වැන්නේ හරි හත්වැන්නේ හරි බුධ ග්‍රහයා අර කිව්ව විදියට පීඩාවෙලා ඉන්නවා නම් ආදරේ කරන කාලවල කනගාටුවට වේදනාවට පත්වෙන බොහෝ දෙවල් දෙන්නා අතර ඇතිවෙනවා. එකට එක කියන සහකාරයෙක්‌ හෝ සහකාරියක්‌ තමයි විවාහ ජීවිතේට හිමිවෙන්නේ. ඒකත් හොඳ දෙයක්‌ නොවෙයිනේ. අන්තිමේ ගුටිබැට වලටත් ඒක බලපාන්න පුළුවන්. බුධ ග්‍රහයා පස්‌ වැන්නේ මේ විදියට ඉන්නවා නම් ආදරේ කරන කාලයේ පෙම්වතා හරි පෙම්වතිය හරි අනුන්ගේ කේලාම් ඕප දූප අහල නින්දා අපහාස පවා තමන්ට ඇතිකරන්න ඉඩ තියෙනවා.

කසාදේ
කසාදේ

කුජ ග්‍රහයා 5 වැන්නේ හරි 7 වැන්නේ හරි පීඩාවෙලා හිටියොත් තමන්ගෙ සහකාරයා හරි සහකාරිය හරි තමන්ට හිතෛෂිවන්ත, ගෞරවනීය කෙනෙක්‌ වෙනවා. හැබැයි අනාචාරයේ හැසිරෙනවා. දරුණු වැඩවලටත් ඇදී යන කෙනෙක්‌ වෙනවා. ඔබ පෙම්වතියක්‌ නම් ගුරු ග්‍රහයා පහේ හරි හතේ හරි පීඩාවෙලා හිටියොත් ඔබේ හිත වැන්දඹු හෝ වැඩි වයසක්‌ ඇති අයට හෝ හිත ඇදිලා යන්න පුළුවන්. පරිස්‌සමෙන් ඒවා පාලනය කරගන්න වේවි.

සෙනසුරු 5 වැන්නේ හරි 7 වැන්නේ හරි අසුබව – පීඩාවී සිටිනවා නම් ඔබට රෝස මල දිගු කරන ආදර වන්තයා හරි ආදරවන්තිය හරි ගැන එක පාරටම කැමැත්ත ප්‍රකාශ කරන්න එපා. මොකද දන්නවද ඔහු හෝ ඇය ඔබ ඉදිරියේ ප්‍රසන්න ලෙසට පෙනී සිටියත් විවාහ දිවිය තුළ කම්මැලි කමෙන් පිරුණු කුඩු කේඩු ගති ඇති කෙනෙක්‌ වීමට ඉඩකඩ තිබෙන නිසයි.

රවි ග්‍රහයාත් එවැනි ස්‌ථානයක පීඩාවට පත්වෙලා හිටියොත් තමන්ට ලැබෙන සහකාරිය හරි සහකාරයා හරි අහංකාර ගති තියන පුහු මාන්නයක්‌ ඇති, තමන්ව පාලනය කරන්න උත්සාහ කරන කෙනෙක්‌ වෙන්න පුළුවන්.

එහෙම දේවල් වෙනකොට විවාහ ජීවිතේ අන්ධකාර වෙනවා. අවුරුදු ගාණක්‌ පෙම් කළේ, ලක්‍ෂ ගාණක්‌ වියදම් කරල මගුල් කෑවේ ඒ ටික කරගන්න නොවෙයිනේ. ඉතිං විවාහ ජීවිතේ එපා වෙලා කළකිරීමට දුකට පත්වෙනවා. කතරගං ගිහිං අතරමං වෙලා තිසා වැවෙන් නාලා ගලක්‌ උඩට වෙලා කල්පනා කරනවා වගේ, එක වහලක්‌ යට ලෝක දෙකක ජීවත් වෙන්න සිදුවෙයි. ඒක නිසා එක අතකින් පොරොන්දම් – විවාහ පරීක්‍ෂාව වුණත් වැදගත් වෙනවා.

සිරා අන්තිමට තාච්චියත් වික්‌කා වගේ සමහර අය විවාහ දිවියට හොර රහසේම තිත තියලා එකෙක්‌ තනි කරලා යනවා. ඒ නිසා යමු සෙල්ල කතරගං ඔබ එන්න යනව නම් කියලා කිව්ව පලියට යන්න එපා. මේ ඩිජිටල් සැටලයිට්‌ ලෝකේ වුණත් ඒ විදියට කේන්දරෙන් පාර හරියටම දැනගන්න. ඔබේම කේන්ද්‍රය ඔබට හරිපාර පෙන්වා තිබෙනවා.

We found this article from Divaina on 2014/01/26.