දීඝායු ලබන්න ඔබටත් වාසනාව හිමිද?

1800
දීඝායු
දීඝායු

නිරෝගී සුවයක්‌ ලැබීමටත්, දීර්ඝායු විඳීමටත්, කෙනෙකුට හිමිවේ නම් එය කොතරම් වාසනාවක්‌ද? අපි කාගේත් පැතුම එය වුවත් ජන්ම කේන්ද්‍රයේ පිහිටි ග්‍රහ බලපෑම් අනුවමයි එය සිදුවන්නේ. ජන්ම ලග්නාධිපති පාපයන් සමඟ යෝගවී එකොළොස්‌වැන්නේ පතිතවී සිටියේ නම් මුළු ජීවිත කාලයම නිරෝගීව ජීවිතය ගතකිරීමේ වාසනාව අපිට උරුම වේ. ලග්නයේ ලග්නාධිපති ජනිතව, බ්‍රහස්‌පති, සිකුරු යෝගව හෝ සතර කේන්ද්‍රයේ රැඳී උපත ලද්දේ නම් රාජ උණුසුමද, ධනවත්කමද, දීර්ඝායුෂද විඳ තමා පතන්නාවූ ප්‍රාර්ථනාද ඉටුවෙයි. දැන් අපි බලමු අපේ ආයුෂ ගෙවන්නේ කුමන අයුරින් ද කියා.

ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාප බැල්මට, දර්ශනයට ලක්‌ නොවුණ ලග්නාධිපති බ්‍රහස්‌පති ලග්නයේ සිටියේ නම් එසේ උපන්නාට නානාප්‍රකාර සැප සම්පත් විඳ, නොයෙක්‌ පුණ්‍ය කටයුතුවල යෙදෙමින්, නිරෝගී භාවයද හිමිව අවුරුදු සියයක්‌ කල් ජීවත්වීමට හැකිවේ. රවි, මේෂ, රාශිය ජනිතව ලග්නාධිපති සුබව නව වැන්නාධිපතිදුද, ස්‌වක්‍ෂේත්‍රව හෝ උච්ච බලයෙන් යුතුවීද, එවැනි යෝගයන් පෙරටුව ජනිත වූ පුද්ගලයාට බොහෝ යස ඉසුරින් හා කීර්තියෙන් යුතුව බැබලි බැබලී ජීවත්වීමට වාසනාව යෙදේ. ගුරු, සිකුරු යෝගව සිටියාවූ හෝ ඔවුන්ගේ දර්ශනයට ලක්‌වූ ලග්නාධිපතියා සතර කේන්ද්‍රයේ කොතනකදී වැජඹුණත් එකල්හි උපන් ජන්ම පත් හිමියාට ද දීර්ඝායු විඳීමේ වාසනාව හිමිවෙයි. ග්‍රහයින් දෙදෙනකු උච්ච ක්‍ෂේත්‍රගතව ලග්නාධිපතියා අෂ්ඨමපතියා යෝගවීද, එසේ අටවැන්නේ පාපයින් නොසිටියේද එය ජනිත කේන්ද්‍ර හිමියාද, දීර්ඝායු සැප විඳීමේ වාසනාව ලබයි. උච්ච මිත්‍ර ස්‌වක්‍ෂේත්‍ර ගතවූ ග්‍රහයන් තිදෙනකු අට පතිතවී ලග්නපතියා බලවත්ව වැජඹුන කල්හිත් සෙනසුරු හෝ අටවැන්න උච්ච ග්‍රහයෙකු සමඟ යෝගවීමත්, තුන, හය, එකොළහ යන ස්‌ථානයන්හි පාප ග්‍රහයන්ද සතර කේන්ද්‍රය හා ත්‍රිකෝණයන්හි සුබයන්ද ලග්නාධිපති බලවත්ව සිටි කල්හිත් උපන් අය දීර්ඝායුෂ ලබන්නෝය. ලග්නයට දෙපැත්තවූ දොළහ දෙකෙත් හතට දෙපැත්ත වූ හය අටේත් පාපයන් සිටියදී උපන්නා වහා මැරෙයි. එය දරු ප්‍රසූතයේදී විය හැකිය. මෙම ස්‌ථාන හතරේ සියලුම ග්‍රහයන් ශුභ පාප මිශ්‍රව සිටියදී උපන්නේ මේෂ, කටක, තුලා, මකර ලග්නයවී නම් සිංහාසන යෝගයෙන් උපන්නේ වෙයි. බාල කාලයේ නොමැරුනොත් සිංහාසනයේ වාඩිවීමට තරම් සුදුස්‌සෙක්‌ වේ හෙවත් ඉතා ප්‍රබල තේජවන්ත ධනවතෙක්‌ වෙයි.

උච්චක්‍ෂේත්‍ර හෝ ස්‌වක්‍ෂේත්‍ර නොවී ශුභයින්ගේ රාශියක්‌ හෝ වර්ගයක්‌ නොවී හයේ හෝ පාපයකු සමඟ සිටි චන්ද්‍රයා පාපීන්ට පමණක්‌ පෙනෙතොත් එලෙස උපන්නෝ එවලේම හෝ එදා පටන් අවුරුද්දකට පළමු මැරෙයි. ශුභ, පාප දෙපක්‍ෂයටම පෙනෙතොත් සතර අවුරුද්දකට පළමු මැරෙයි.

ලග්නයේ පාපයකුත් හතේ පාපයකුත් සඳු සමඟ පාපයෙකුත් සිටියදී එසඳු සෞම්‍ය ග්‍රහයන් විසින් දකිනු නොලැබුවොත් එකල උපන්නේ නොබෝ කලකින් මැරෙයි. කුජගේ රාශියක්‌වූ මේෂ, වෘශ්චික, දෙකේ එකක වක්‍රව ශනි, හතර, හය, අට යන ස්‌ථානයක වේද, බලවත්වූ කුජට එම ශනි පෙනෙන්නේද එකල උපන් අය අවුරුදු දෙකකින් මිය යයි.

මේෂ, වෘශ්චික දෙකින් එකක්‌ අටවූ කල එහි සිටි ගුරු සිකුරුටත් නොපෙනේ නම් ලග්නය රවි, චන්ද්‍ර, කුජ, ශනි යන ග්‍රහයන්ට පෙනේ නම් තුන් අවුරුද්දකින් මැරේ. කටකය වූ ලග්නයෙහි බුධහු සිටියදී හයේ හෝ අටේ සඳු සිටියහොත් හතර අවුරුද්දකින් ආයුෂ නිමවේ. එක රැස සිටියාවූ රවි, චන්ද්‍ර, කුජ, ගුරු, කරණකොටගෙනද, එසේම එකරැස සිටියාවූ රවි, චන්ද්‍ර, කුජ, ශනි කරණකොට ගෙනද උපන්නේ නම් හෙතෙම වර්ෂ පහකට වඩා ජීවත් නොවේ. මේ අයුරින් ලග්නයෙහි රවි, ශනි, කුජ සිටිනවිට සතුරු රාශියක්‌වූ හතේ චන්ද්‍රයා සිටීනම් ගුරුටත් සඳු නොපෙනේ නම් එකල උපන් අය අවුරුදු හතකින්ද, රවි, කුජ සමඟ සඳු දෙවැන්නේ හෝ පස්‌වැන්නේ නම් ශුභයින් නොපෙනේ නම්, නම අවුරුද්දකින්ද මිය යා හැකිය. තිදෙනා එකට සිටියදී ඔවුන් ශුභයින්ට පමණක්‌ නොපෙනෙයි නම් දෛව ඇත්තේ නමුත් පැවැත්මට නිසි උපත ද වී නමුත් එලෙස උපන්නෝ දොළොස්‌ අවුරුද්දකින්ද මිය යන්නෝය.

හිරු ලග්නයේ සිටියදී දොළහේත් දෙකේත් පාපයෝ සිටිත්නම් එලෙස උපන් අය තිස්‌වෙනි විය නොඉක්‌මවයි. හතේ කුජ ද අටේ සිකුරුද නමයේ රවිද සිටිත්දී උපන් අය කොතෙක්‌ බලවත් වුවත්, මැදිවිය නොඉක්‌මවයි. (ස්‌ත්‍රියක නම් හතළිහේ සිට හතළිස්‌ පහ අතරද පුරුෂයෙකු නම් හතළිස්‌ පහේ සිට පනහ අතරද මරණය වේ.) මෙම ග්‍රහයෝ උච්චාංශකවල හෝ ස්‌වඋච්ච රාශිවල සිටිත්නම් වෙනස්‌වීමට ඉඩ ඇත. ගුරු සිකුරු එකට සිටියදී බුධවූ හතරේ හෝ දහයේත් සඳු ලග්නයේ, අටේ හෝ දොළහේත් සිටී නම් කොපමණ සැපෙන් ජීවත්ව සිටියත් පනස්‌වෙනි විය නොඉක්‌මවයි.

රවි, සෙනසුරු, අඟහරු මේෂ, කටක, තුලා, මකර රාශියකද, බ්‍රහස්‌පති, සිකුරු, වාෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශියකට යයිද අවශේෂ ග්‍රහයෝ මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශියක සිටිද්දී යමෙකු මෙලොව ජනිතවී නම් හෙතෙම අවුරුදු සියයක්‌ ජීවත් වේ.

සෙනසුරු රාශියක්‌ නමවැන්න වී රවි, ගුරු, අඟහරු පදිංචිව ඒ රාශියම නවාංශකය වී එම ග්‍රහයෝ වර්ගෝත්තමව සඳු බලවත්ව ලග්නයේ පිහිටා උපන් අය ශ්‍රීයෙන් යුතුව ඉතා දිගු කලක්‌ ජීවත්වීමේ භාග්‍යය හිමිවන්නාහ. මීන ලග්නය, මීන නවාංශකය උදාව පැවැති කල්හි රවි, කුජ, ගුරු, සිකුරු පරම උච්චගතවීද, බුධ ග්‍රහයා සිකුරුගේ රැසකවීද එසේ උපන් අයට අවුරුදු එකසිය විස්‌සක්‌ ආයුෂ හිමිය.

ලග්නය කටකවී බ්‍රහස්‌පති උච්චද, සඳු එම භවයේම වැජඹී බුද, සිකුරු, කෙන්ද්‍රයන් තුළද, රවි, කුජ, ශනි, 11, 6, 3 වන රාශි තුළ සිටියේ නම් ඒ උපන්නාද දීර්ඝායුෂ ලබයි. ලග්නය සිංහ රැසවී බ්‍රහස්‌පති පදිංචිවීද, සිකුරා කටක රාශියට යයිද, කන්‍යාවේ බුධ ග්‍රහයා උච්චවෙයිද, පාප ග්‍රහයින් අට, හය දහය, එකොළහ යන උපචය රාශිවල සිටියේද, ඒ උපන් තෙම්ද වර්ෂ 100 ක්‌ ජීවත් වෙයි. ත්‍රිකෝණයන්හි අසුබයන් පදිංචි නොවී කේන්ද්‍රස්‌ථානයන්හි සුබයන් පතිතව අටවැන්න තුළද පාපයන් සිටි කල්හි වුවද උපන් අය ද දීර්ඝායු විඳියි.

මීන ලග්නයේ නමවැනි නවාංශකය ලග්නය වූ කල්හි බුධ ග්‍රහයා වෘෂභ රාශියේ කලා විසිපහක්‌ ගත කල කල්හි අනිත් සියලුම ග්‍රහයෝ තම උච්ච රාශි තුළ වැජඹුනේද, එසේ උපන්නාද, අවුරුදු 120 ක්‌ ජීවත්වෙයි. කීට රාශියත්, ලග්නය වූයේද, ඒ ලග්නපතියා තම උච්චභාවයේ හෝ මුල ත්‍රිකෝණ රාශියක්‌ තුළ පතිතවී නම් මෙලෙස ජනිත වූවෝද භාග්‍යයෙන් යුතුව දිගාසිරි ලබයි. නමවැන්නේ දසවැන්නේ සිටියාවූ ගුරු, ශනි, දෙදෙනා බලයෙන් යුතු සුබයෙකුගේ දර්ශනයට ලක්‌වෙයිද, එකම නවාංශක ගතවීද ඉරු ලග්නයට යයිද මේ යෝගයෙන් උපත ලැබූ අය දීර්¨ඝායු ලබා සෘෂිවරයකුගේ තත්ත්වයට පත්වෙයි.

We found this article from Divaina on 2012/07/13.
Also Sinhala to English Google word to word translation can be found here