නව නිවසට ළිප සෑදීමේදී සමෘද්ධිය ගෙනෙන අග්නි චක්‍රය

1648
ළිප
ළිප

[ratings]

මෙලොව උපත ලබන මිනිසාගේ හිතසුව පිණිස ජ්‍යෙතිෂයෙන් ලබාගත හැකි අපමණ රහස්‌ සමුදායක්‌ අතීතයේ සිට තුන්කල් දක්‌නා ඉසිවරයන් විසින් ප්‍රකාශ කරන ලදුව ඇති බව ජ්‍යෙතිෂ ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ජ්‍යෙතිෂ රහස්‌

මෙම ජ්‍යෙතිෂ රහස්‌ භාරතයේ ජ්‍යෙතිෂ ගුරුකුල විසින් සඟවාගෙන රහසේ ප්‍රයෝජනයට ගන්නා ලදී. එහෙත් භාරතයේ ජ්‍යෙතිෂ ග්‍රන්ථ ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය වූවාට පසු ලෝකයේ බොහෝ දෙනෙක්‌ ඒවායින් ප්‍රයෝජන ගන්නට වූහ.

එසේම මෑතක සිට ඉංගී්‍රසියෙන් පළවන්නට වූ පර්යේෂණාත්මක ජ්‍යෙතිෂ ග්‍රන්ථ ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේ සැඟවුණ වැදගත් රහස්‌ හෙළි කරමින් නව මංපෙත් පෑදුවේය.

සූර්ය නමස්‌කාරය

මිනිස්‌ ශිෂ්ටාචාරය ඇති වූ දා පටන් හිරුට වැඳීම මිනිසාගේ දවසේ පළමු කාර්යය විය. භාරත වැසියෝ කෝටි ගණනින් හිරු නැගී එන මොහොතේ සූර්ය නමස්‌කාරය කරති.

එසේම හින්දු භක්‌තිකයන්ගේ විවාහයේදී පවා කෙරෙන පළමු කාර්යය වන්නේ ගිනි දෙවියා පිදීමය. ඒ සඳහා සඳුන් දරින් ගිනි දල්වා ස්‌තෝත්‍ර ගයමින් ගිතෙල් වක්‌කරති.

ගින්නට සූර්යයා අධිපති බව පිළිගැනේ.

අඳුරු මහද්වීපය වන අප්‍රිකාවේ වනචාරී ගෝත්‍රිකයන් අදත් හිරු දෙවියා පුදන්නේ ගිනි ගොඩක්‌ ගසා ඒ වටා නැටීමෙනි. ඔවුන් හිරු දෙවියන් හඳුන්වන්නේ රා නමිනි. ඔවුන්ට ගින්න රා ගේ පුත්‍රයාය. ඒ නිසා ඔවුහු ගින්නට පුදති. හිරු දෙවියා වඳින, පුදන මිනිසුන් සිටින රටවල් ලෝකයේ බොහෝ ඇතත් අපේ රටේ ඒ සිරිත නැත.

ළිපි ගිනි මෙළවීම

එහෙත් අතීතයේ පටන් අපේ රටේ ගෙවිලිය හිමිදිරි උදයේ ළිප ගිනි මෙළෙව්වේ තුන් වරක්‌ ළිපට වැඳීමෙන් පසුවය. බොහෝදෙනකු නොදනිතත් අපේ රටේ හිරු නමස්‌කාරය කෙරුණේ එසේය. එසේම අතීතයේ බොහෝ නිවෙස්‌වල ළිප බැඳ තිබුණේ නැගෙනහිර හෝ ගිනිකොන බලාගෙන ගිනි මෙළවීමටය. නැගෙනහිර හා ගිනිකොනට අධිපති වන්නේ හිරුය.

නිවසේ සම්පත

සෘෂිවරුන්ගේ මතය වන්නේ මුල්තැන්ගෙයි ඇවිළෙන ළිප නිවසේ සම්පතක්‌ බවය. නිවසට සම්පත, සතුට හා සෞභාග්‍ය, ගෙන එන ළිප මුල්තැන්ගෙයි ඇතුළතම පිහිටිය යුතුය. දිනපතා ළිප ගිනි මෙලවිය යුත්තෙත් ළිප ගිනි ඇවිළිය යුත්තෙත් කුස්‌සිය තුළය. කුස්‌සිය පිටත නොවේ. අද බොහෝ සේ කෙරෙන්නේ කුස්‌සියේ බිත්තියකින් පිටතට පන්නා ළිපක්‌, දුම්කවුළුවක්‌ බැඳීමය. එවිට සිදුවන්නේ නිවසේ ඇතුළත දැල්විය යුතු ගින්න හා ගින්න දැල්වෙන ළිප පිටතට දමා නිවසේ සම්පත පලවා හැරීමය.

කුස්‌සියේ ඇතුළත වුවද ළිප බඳින විට කුස්‌සියේ අවසාන පිටුපස බිත්තියේ මුළු අල්ලා ළිප නොබැඳිය යුතුය. එසේ කළහොත් මර්මස්‌ථානවලට අසුවී දැඩි අශුභතා ඇති වේ. ඒ නිසා ජ්‍යෙතිෂ විද්‍යාවේ එන වාස්‌තු විද්‍යාව පිළිබඳ පුළුල් අවබෝධයක්‌ ඇති ශාස්‌ත්‍රඥයකු ලවා ශුභ පාදයකට වැටෙන සේ ළිප බැඳීමට උපදෙස්‌ ලබා ගත යුතුය. එසේ කිරීමෙන් නිවසට සැපත, සම්පත හා සතුට උදාවී සිත්තුළ සමගියද රැඳෙන බව ජ්‍යෙතිෂ රහසක්‌ වශයෙන් මෙහි සඳහන් කරනු ලැබේ. කුස්‌සියේ පිටුපස බිත්ති මුළුවල කුණු කසළ එකතු කර නොතැබිය යුතුය. කොස්‌සද නොතැබිය යුතුය. නිවසේ සාලය මෙන් කුස්‌සියද නිතර පිරිසිදුව අලංකාරව තබා ගත යුතුය. උදේට ළිප ගිනි මොළවන විට තුන් වරක්‌ වැඳිය යුතුය. නිවසේ සිරිකත රැඳෙන්නේ කුස්‌සියේය. ඒ නිසා පැරැණි ගැමියා අටු කොටු පිරෙව්වේ කුස්‌සිය තුළය.

අග්නි චක්‍රය

නව නිවසක ළිප් බැඳීම හා ගිනි දැල්වීම කරන අවස්‌ථාවේ පිළිපැදිය යුතු රහසක්‌ උත්තර කාලාමෘතය නම් ජ්‍යෙතිෂ ග්‍රන්ථයේ සඳහන් වේ. එය හඳුන්වන්නේ අග්නි චක්‍රය යනුවෙනි.

1. ළිප් බඳින මොහොතේ හෝ පළමුවරට ලිප ගිනි මොළවන අවස්‌ථාවේ,

ක උදාව පවතින තිථියෙ අංකය ලියන්න.

ක සතියේ දින අංකයද ලියන්න.

ක තව වැඩිපුර එකක්‌ එයට එකතු කරන්න.

ක මේ සියල්ල එකතු කර හතරෙන් බෙදන්න.

ශේෂය 01 හෝ 02 නම් ධන විනාශය,

ශේෂය 03 හෝ 0 නම් ප්‍රීතිය.

2. රවි සිටින නැකතේ සිට සඳු සිටින නැකතට ගැන නවයෙන් බෙදන්න.

එවිට ගොඩකට නැකැත් තුන බැගින් වැටේ.

ඒ අනුව

01 වැනි නැකැත් 03 රවි හිමිය.

02. වැනි නැකැත් 03 බුධ හිමිය.

03. වැනි නැකැත් 03 ශුක්‍ර හිමිය.

04. වැනි නැකැත් 03 ශනි හිමිය.

05. වැනි නැකැත් 03 සඳු හිමිය.

06. වැනි නැකැත් 03 කුජ හිමිය.

07. වැනි නැකැත් 03 ගුරු හිමිය.

08. වැනි නැකැත් 03 රාහු හිමිය.

09. වැනි නැකැත් 03 කේතු හිමිය.

මේ ක්‍රමයේදී තත්කාලීන සඳු සිටින නැකත ශුභ ග්‍රහයකුට අයත්වීම ඉතා ශුභය.

එවිට සමෘද්ධිය ගෙන දෙයි.

විශේෂයෙන් මෙම අග්නි චක්‍රය භාරතයේදී යාග හෝම සඳහා ළිප් බැඳීම සඳහාත් දැල්වීම සඳහාත් රහසේ භාවිත කරනු ලැබේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here