ලෙඩට දුකට නිති පිහිටවන පත්තිනි දේවි

2853
පත්තිනි
පත්තිනි

[ratings]

ශ්‍රී ලංකාවේ පත්තිනි දේවිය පිදීම පිළිබඳ කථාව ගජබා රජ දවස දක්‌වා පැතිරී යයි. දකුණු ඉන්දියාව ජයගත් ගජබා රජු සොළින් මෙහි ගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වෙයි. එසේ ගෙනා සොළින් හට බෝවෙන රෝග පැතිරෙන්නට විය. සිය රට දී පත්තිනි දේවිය පිදීම ආදියෙන් එවැනි රෝග සුවවන බව ඇසූ රජතෙමේ පත්තිනි දේවිය පිදීමට කටයුතු යොදා පත්තිනි හළඹ ද ඉන්දියාවෙන් ගෙනා බව ද කියෑවෙයි. පත්තිනි දේවිය දයානුකම්පාවෙන් යුතු බෝවෙන රෝග නිවාරණයෙහි නියෑලී දෙවඟනක ලෙස සැලැකේ. අං කෙළිය, පොල් කෙළිය, අඹවිදීම – ඇසළ පූජා, අම්මා වරුන්ගේ දානය ආදිය පැවැත්වෙන්නේ පත්තිනි දේවිය උදෙසාය.

පත්තිනි දේවිය පිළිබඳව පවත්නා ජනප්‍රවාද සංඛාව ඉතා විශාලය. මේ කතා අතර අංකෙළි උපතේ කියෑවෙන කතාව මෙසේය.

සපුමලක්‌ කඩා දීමට විස්‌කම් විසින් ගෙන එන ලද රන් හිණිමඟක පත්තිනියගේ ස්‌වාමියා වූ පා ලඟ නැංගේය. එහෙත් ඔහුට මලට කිට්‌ටු විය නොහැකි විය. එවිට විස්‌කම් සඳුන් කෙක්‌කක්‌ ගෙනවුත් පාලගට දුන්නේය. පාලග මල කඩා ගත්තේය. මෙතනදී පළමු වන අං ඇදීම පාලග හා පතිතිනි අතර සිදුවූ බව ද, පාලග සමග දෙවියන් දාහක්‌ ද, පත්තිනිය සමග දේවතාවියන් දාහක්‌ ද, එක්‌ වී කළ අං ඇදීමෙන් පත්තිනිය ජය ගත්තාය. ඉන්පසුව, වෙල්ලස්‌සේ සිදුවූ දෙවැනි අං කෙළියේ දී ද පාලගගේ පක්‍ෂය පරාජය වීය. වසූරිය, පැපොල, සරම්ප ආදී රෝග ඇති කරන්නේත් නැති කරන්නේත්, පත්තිනි දේවිය බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

තවත් ජනප්‍රවාදයක්‌ අනුව ආනන්ද නම් නාග රාජයාත්, සුළඟට අධිපති වාතදේව රජුත් අතර මහා සටනක්‌ විය. වාත දේවයන් යෑවූ තුන්වැනි සුළං සැරයෙන් නා රජුගේ පෙණය කැඩී බරණැස්‌ නගරයෙහි පතිත විය. මේ නාග හිස තවුසකු විසින් අහුලා ගන්නා ලදී. ඒ තවුස්‌ තෙමේ එම නාග පෙණය භාජනයක දමා ආරක්‍ෂා කෙළේය. එයින් පත්තිනිය උපන්නාය. පසුව ඇය පාලග සමග විවාහ විය. රන් කරුවකුගේ ෙද්‍රහිකමක්‌ නිසා පාලග මාරු මුවට ගොදුරු වීය.

සත්වරක්‌ උපන් නිසා සත් පත්තිනි නමින් ද, දොළොස්‌ වරක්‌ උපන් නිසා දොළොස්‌ පත්තිනි නමින් ද හැඳින්වේ.

ජලෙනි දලෙනි සුරන් දමෙනි අඹෙනි උපන්නේ
ගලෙනි කුළෙනි සළුවෙනි එක්‌ වරෙක උපන්නේ
එවැනි සවැනි සත්වැනරන් අඹෙනි උපන්නේ
මෙවැනි පතිනි තෙදිනි මෙලක්‌ දිව බබ ළන්නේ

පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු දේවාල කිහිපයක්‌ ලංකාවේ ඇත. නව ගමුවේ දේවාලය පැරණිම පත්තිනි දේවාලය යෑයි සැලැකේ.

පත්තින් ශාන්තිය

නානා නාගා සුරනර වන්දන මාන නිරත්නර ලද්ධානං
නානා ජාතික පූජක භක්‌තික චින්තන කුන්ද විකාසිතං
නානා දෙශික නානා භූමික දෙවා මන්දිර පූජානාං
නානා ශොභන දෙහ විරාජිත දේවී පත්තිනි රක්‌ෂාතුරං

පීනා යන මෘදු නාගාභොගිව බාහුං යුග්මා රුචිරායං
දීර්ඝාලොවන මෘග අක්‌ෂි ඉව ප්‍රචාල අඬකුර අධරත්වං
දීර්ඝාංගුලි පංකජ පත්‍රානඛ විංශතියං සුමනා පුෂ්පං
දානාතී නිත්‍යාපත්තිනි ශුභ මංගලමා යුෂ ශාන්ති ශ්‍රී

අතතය විතතය විතතාතය ඝන සුසිරය පංචාංගික තුර්යං
ග්‍රාහික සුරනර පූජිත නිත්‍යාහිලාෂී පනා පූජාකෘත්‍යං
වාදන ගායන ගීතික ඝොෂා කිර්තති අශෙසා වීරකාලං
ආතුර රක්‍ෂතු තෙ ජයමංගල ආයුශ්‍රියා සුඛ දානකෘතං

මාතුර්ෂෂ්ඨක නාරිලක්‍ෂණ ශොභන ශ්‍රීධර දෙහායං
චාතුර්ෂ්ෂඨික භරණාරංජිත පූජිත නර සුර මධ්‍යායං
පාදාහරණික ශාන්ති සුඛ ප්‍රදාදනි නිත්‍යා නර නාගං
දෙවී පත්තිනි දදාතු ජයමංගල මුත්තම ආතූරයානං

ගංගා තරණාහිලාෂිව ගාමික හරණවංගුලි දානෙක්‌ෂනිකං
ගංගා ජලභින්නා පුලිනෙවය දෘශ්‍යති සුන්දර මාර්ගානං
ගංගා පර්වත ගිරිශිඛරායත පාදප ද්වීපා දෙවානං
වනේද තංපද පංකජ පත්ත්තිනි රාජිනි රක්‌ෂාතුර නිත්‍යං

සුන්දර වල්ලභයානං ආදර කාලක්‍රියාරං විශ්‍රැත්වා
චින්තන ශොකධරා සහකාලී ගාමිනිකී පාරාෂ්ට්‍රං
හින්න මුෂාභර ශ්‍රාවණ කරුතෙ අග්නි භයං දානාඝොරං
ශාන්ති සුඛ ශ්‍රී දාන සුමංගල ලක්‍ෂණ රාජිනි පත්තිනියං

පත්තිනි ශාන්තිය

නොයෙක්‌ නොයෙක්‌ නා දෙව් මිනිසුන්ගේ බැති පුද ලබනා
නොයෙක්‌ නොයෙක්‌ පූජක බැතිදන සිත් කොඳ පුබුදුවනා
නොයෙක්‌ නොයෙක්‌ දෙස්‌ රටවල දෙව් මැදුරින් පුද ලබනා
නොයෙක්‌ නොයෙක්‌ යුරු පත්තිනි දෙව් ආතුර රැකදේවා ෘ

රන්වන් නා දරණක්‌ බඳු බා යුවලින් බබළන්නා
මුවැත්තියක බඳු නෙත් පබලු මොටයි තොල් දීළිසෙනීන
දැසමන් මල් බඳු නිය දිගැඟිලි පියුමක පත් වැනි වූ
පත්තිනි දේවිනි යහපත් විපතට පත්හට දේවා

අතත, විතත, විතාතතය සුසිර ඝණාදී
පසතුරු ගත් දේවිය නිති දනන් පුද ලැබූ
කිතුගොස්‌ ගියෙන් ගැයුමෙන් වැයුමෙන් අඩුවක්‌ නොමපෑ
පත්තිනි දේවී ආයුෂ දී ආතුර රැක දේවා

දුර්ගා බඳුවූ නාරී ලක්‍ෂණ සිරි සිරුරේ හොබනා
සැරසුණු සූසැට බරණින් – දෙව් මිනිසුන් පුද ලබනා
නා මිනිසුන් හට නිරතුරු සුවසෙත ළංකර දෙවනා
පත්තිනි දේවී ජය සැපදී ආතුර රැක දේවා

ගංගා තරණය කැමැතිව යම් ගමනක්‌ යන්නාගේ
පිය සටහන් ජලබුන් වැලිතලයේ දිස්‌වන්නාසේ
ගංගා – ගිරි – පව් – රුක්‌ වැසි දේවියෝ නමදිති ඔබ පා
පත්තිනි රාජනියේ ආතුරයා නිති රැක දේවා

පෙම්බර ආදර සියහිමි පරලොව ගිය බව කනවැකි
සෝදුක දරමින් සහකාලී හා පඬිරට සපැමිණ
සියහිමි නිවැරැදි බව දැන පඬිරට ගොර ගිනි බියදුන්
සුමඟුල් ලකුණැති පත්තිනි රැජිනියෙ සුවසෙත දේවා

පත්තිනි දේව කන්නලව්ව

ආරෝග්‍ය මස්‌තු, ශුභමස්‌තූ, අපරිමිත දයාඅනුකම්පා පූර්වකව සකල මනුෂ්‍ය ප්‍රජාවගේ ඉෂ්ඨාර්ථ සිද්ධියෙහි යෙදී සිටින්නාවු පත්තිනි දේවීන් වහන්ස, ඔබතුමී දෙවඟනක ලෙසින් පළමු සත් වාරයක්‌ ද නැවත දොළොස්‌ වාරයක්‌ ද පහළව සුරාලොවින් අසුර ලොවට වරම් ගෙන, නාගමාණික්‍යයක්‌ අතින් දරා ගෙන රන් ගිගිරි වළල්ලක්‌ දකුණතේ තබාගෙන සිටින්නි සැබෑ නම්, සිද්ධ පත්තිනි දේවීන් වහන්ස. පුරාණ කලෙක නාග රජුන් මව් පිය වූ සිද්ධ පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්ස, පෙර දිවැස දුටු බෙලෙන්, හිමි තුමන් මැරූ රොසින් – සැරවරන් – පඬිරජුන් – තෙදමකා දිළිතෙදින් මෙසිරි ලක්‌ දිවයිනට, කාලී මහ නගරයට, නවගමුවේ පුද බිමට යහතින් දිවැස්‌ කරුණාකර වැඩ වදාරන්නා වූ සිද්ධ පත්තිනි මයුරමාල දිව්‍යාංගනාවුන් වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමින් කියා සිටින්නාවූ මේ කන්නලව්ව, දිව නෙතින් බලා, දිව කනින් අසා මෑණියෙනි, අදත් මොවුනට වැළදී තිබෙන්නා වූ යක්‍ෂ, භූත, පෙත, පිසාචාදී දෝෂද, වා, පිත්, සෙම්, කෝපයෙන් වැළදී ඇති සකල රෝගාබාධයක්‌ ද ඇස්‌වහ, කටවහ ආදිය නිසා හට ගන්නා වූ දෝෂාන්ධකාර ද යන මෙකී, නොකී සර්වෝපදාවයන් දුරින් දුරු කර හැරා උදු කොට, සුවසදා, රකින ලෙස සැමසදා දොහොත් මුදුනත තබා මෙසේ කන්නලව් කොට අනේ ඉල්ලා සිටිමි. එක්‌ වෙනුව, දෙවනුව, තෙවනුවත් ඉල්ලා සිටිමි. ඔබ කීර්ති පස්‌වා දහසකට ආයුබෝවේවා

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here