පත්තිනි දේවිය හා බැඳි කිරි අම්මා දානය

2344
පත්තිනි
පත්තිනි

[ratings]

සබරගමු පළාතට අයත් රත්නපුරය, කෑගල්ල දිස්‌ත්‍රික්‌ක හා ඌව පළාතට අයත් මොණරාගල හා බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක තුළ පවත්නා ශාන්ති කර්මයන් බොහෝය. එහි පුද පෙත් ලබන දේවතාවන්, යකුන් හා වෙනත් භූතාදීන්ගේ විස්‌තර විවිධයි. නමුත් ප්‍රදේශාන්තරව සමානයි. කෙසේ වෙතත් දෙවියන් සඳහා පවත්වන ශාන්තිකර්ම නවග්‍රහ ශාන්ති කර්ම, යක්‍ෂාදි භූත ප්‍රේත කොටස්‌ සඳහා කරන ශාන්ති කර්මයත්

ශ්‍රී ලංකාවෙහි පවත්නා පොදු ධර්මතා අනුව හැම පළාතකටම නෑකම් කියයි.

ඌව මෙරට සම්ප්‍රදායික ශිෂ්ටාචාරයේ ප්‍රමුඛත්වය දැරුවද සබරගමුවේද ඓතිහාසික සම්ප්‍රදායන් පසුබිම් කොටගත් ප්‍රදේශයකි. මෙහි මිනිසාට සෙත් සලසන ශාන්ති කාරක දේව මඬුල්ලක්‌ද වින කරන යක්‌ෂ කොට්‌ඨාසයක්‌ද සිටී. එහි ශාන්ති කාරක දේව මඬුල්ල අතරින් පත්තිනි දේවිය මුළු සිරිලක පුරා පුද පෙත් ලබයි. ඇය වෙනුවෙන් පුදනු ලබන කිරි අම්මා දානය බොහෝ හාස්‌කම් බල ඇති මිනිසාට මෙන්ම කුඩා අතදරුවන්ගේ සියලුම රෝගා බාධාවන් හා ආරක්‌ෂාවටත් අතුරු ආන්තරාවන්ගෙන් මිදීමට දරුපල නැති අයට දරුවන් ලැබීමට පිහිට වෙයි. සමහර ගෘහාධිපතීන් සෑම වසරක්‌ පාසාම කිරිඅම්මා දානයක්‌ පිදීම චාරිත්‍රයක්‌ වශයෙන්ම කරන්නේ එම නිවසට රෝ බිය පහව නිවසට කිරි ඉතිරෙන්නාක්‌ මෙන් සෞභාග්‍ය උදාකර ගැනීම සඳහාය.

කිරි අම්මා උදෙසා පවත්වන දානය කිරි අම්මා දානය නමින් හැඳින්වේ. මෙම දානය පුදන විට කිරි අම්මාවරුන් හත්දෙනකුගෙන් සමන්විතයි. වැදි ජනතාව කිරි අම්මා දානය අදත් ඉහළින් පවත්වන අතර ඔවුන් කිරි කොරහේ නැටුම කියා රංගනයක්‌ද කරයි. අප රටේ තිබූ පුස්‌කොළ පත්ඉරු ඇසුරෙන් බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයකු වූ හිවු නෙවිල් මහතා “කිරි කොරහේ උනා පාන කිරි අම්මා කවි නම් කෘතියක්‌ “කිරි කොරහේ කවි” නම් කෘතියන්හි පත්තිනි සහ කිරිඅම්මා ගැන මෙසේ දක්‌වා ඇත.

වලාව මතුකරන එ වැසි කන්දා

බලන් මෙකි අම්මගේ ගුණ කන්දා

ගලා කඳුළු සළුවෙන් පිස දැම්මා

උනා පාන කිරි අම්මට වැන්දා

උනා උනා වරලස බඳිමින් දා

සලා පානු මේ තෙද රැස්‌ බින්දා

ගලා කඳුළු දෙනුවන් වා සින්දා

උනාපාන කිරි අම්මට වැන්දා

වලාව වට කරන එන වැසි කන්ද

නළා පිඹින ලෙස යට සක බින්ද

බලා මෙතන අම්මගෙ ගුණ කන්ද

උනාපාන කිරි අම්මට වැන්දා

මෙයින් අපට පෙනී යනවා උනාපාන කිරි අම්මා කිරි කොරහේ දී පුද ලබන්නියක්‌ බව. මේ නිසා මේ දෙකම එකම මූලාශ්‍රයකින් පවත්නා ඇදහිල්ලක්‌ බවද අපට පෙනේ. තවද කිරි අම්මා කවි ගායනා කරන විට උයන්ගොඩ කුමරු හා මංගර කුමරු අතර සම්බන්ධතාවක්‌ ඇති බවද පෙනේ.

උතුරු මැද පළාතේ කිරි අම්මා දානය පුදන විට පළමුව මංගර කුමරුගේ නම සිහිකර කිරි ඉතිරීමේ සිරිතක්‌ ඇත. සබරගමු පළාතේද මංගර මඩු වලදීද, කිරිමඩුවේද මංගර දෙවියන් පුදයි. ඒ අනුව වැදි ජනතාව පවත්වන කිරි කොරහේ පූජාවේ දී ද කිරිඅම්මාවරු හත්කට්‌ටුවක්‌ද, ඌව සබරගමුව සහ උතුරු මැද පළාත්වල කිරි පට්‌ටි උදෙසා පවත්වන මංගර කුමරුන් ළදරුවන් ලබාදෙන, දරුවන් රැකබලා ගන්නා උයන්ගොඩ බිසෝවරු ඇතුළු සියලු දෙනා පත්තිනි දේවියගේ ශාන්ති කර්ම මුල්කොට පහළ වූවක්‌ බව සැලකේ.

උපන් ගමය කිරි අම්මගේ වැදිරට
සපත් කමින් ඇවිදින් දැන් මේ රට
දිපන් පට පඬුරුත් කිරි කොරහට
සැළකරපන් මේ වග කිරි අම්මාට

වෙල්ලස්‌සට අන-සක පවතිනවා
මල්වත්තට දෙවි බැල්ම කරනවා
තිසේ සුදු මල් ගෙන පළඳිනවා
වෙල්ලස්‌සේ කිරි අම්මා එනවා

හඳුන් කුමාරි නුඹෙ කිරිඅම්මා
කන්ද කුමාරි මතු බුදු වෙම්මා
වෙල්ලස්‌සෙන් දළු මුර ගෙන් අම්මා
හඳුන් කුමාරි වැඩියද අම්මා

සොරබොර වැව බන්දලා සොඳ ලෙසට
වැද්දෝ මුරජාම කරවති සොඳ ලෙසට
සොර බොර වැවෙන් පැන් ගෙන යති පිරිවරට
සොර බොර වැවේ වැඩ සිටි කුමරු කොයි රට

කුකුළාපොල තලමල පිපුණා වාගේ
බිම්තැන්නේ රජකම ගත්තා වාගේ
මනී කනට ආවා මරුවකු වාගේ
කුකුළාපොල කිරි අම්මාත් සොබාගේ

වෙල්ලස්‌සේ හිමි රට පර වෙනියා
එම මැද්දේ මල බුලතට කැමතියා
ගඟ මැද්දේ තැලුනය අත වැරැදියා
වෙල්ලස්‌සේ රජු නිති අප රැකියා

සැදී මුදලිවරු පෙළට සිටිනවා
ඇවිලූ විලක්‌කුවෙ එළිය පෙනෙනවා
ආවුද අව් අතු දුරට පෙනෙනවා
ඔන්න මොඩරවෙල දෙවිඳු වඩිනවා

සොළී රටෙන් කුමාරයෙක්‌ වැඩ මෙපුරට
බැලුවයි වෙල්ලස්‌සෙන් රට මැද සිට
නමින් ගිරාන්දම එතනින් සහතුට
සොළී කුමරු සිටියේ දෙවි අසුපිට

මෙම කාව්‍ය තුළින් කිරි කොරහේ ඇදහීම, මංගර දෙවියන් පිළිබඳ විශ්වාසය, උයන් ගොඩ බිසවුන් පිළිබඳ විස්‌තර සියල්ලක්‌ම පත්තිනි දේවතාවිය මුල්කොට ගත් අනු ශාන්ති කර්මයක්‌ බව පෙනේ.

කිරි අම්මා දානයක්‌ දෙන විට පළමුව අඩුක්‌කු දීමේ ඇපයක්‌ මත දානය දීමට දිනයක්‌ වෙන්කර ගනී. පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදෑසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්, අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්‌ෂාව සඳහා බව වේ.

දානය දීමේදී පළමුව අඩුක්‌කු වෙන්කර පොල්ගහක කොළ බැඳ කිරි අම්මාලට දානයක්‌ දෙන බවට පොරොන්දු වී පඬුරක්‌ බැඳ දිනයක්‌ වෙන්කර බාරවෙයි. පසුව බුලත් දී කිරි අම්මලා හත් දෙනකු වැඩමවීමට ආරාධනා කරයි. දානය පිරිනමන දිනයේ පළමුව කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් සිඳ කැවුම් කිරිබත් උයා ඇඹුල් කෙසෙල් ගෙඩි, කිරිකෑලි නමැති විශේෂ පූපයද එක්‌ වර්ගයකින් හත බැගින් කෙහෙල් කොළවල තබා කිරි අම්මලා නිවසට වැඩිය පසු පැදුරු මත සුදු පිරුවට එළා වැඩ හිඳුවා දානය පිරිනමයි. මෙම අවස්‌ථාවේ කිරි අම්මාවරු කවි ගායනයෙන් සෙත් ශාන්තිය පතා කිසිවකු සමග කතා නොකර නිවසින් පිටව යයි.

පත්තිනි දේවිය මුල් කොටගෙන කරන පහන් මඩු පත්තිනි ඇදහිල්ලේ ප්‍රබලම අවස්‌ථාවයි. එය එකල “සේරමන්” නමැති රජුගේ හිසේ හටගත් රෝගයක්‌ සුව කිරීම සඳහා එම රජුගේ අගමෙහෙසිය වන පත්තිනි දේවිය මුල් කොටගෙන පැවැත්වූ ශාන්ති කර්මය පහන් මඩුව නමින් හැඳින්වේ.

එම කථාව මෙසේය. සේරමන් රජු දිනක්‌ රාත්‍රියේ නිදා සිටින විට ගෝනකුගේ දෙදරුම් කන හඬ ඇසීමෙන් රජුගේ නින්දට බාධාවක්‌ වී නින්ද නොයන නිසා, ගෝනා මරා ගෝනාගේ හිස මොළ කමියි හිතා, යහනාවෙන් නැගිට ගොස්‌ ගෝනා මරා කෑවේය. මැරුණු ගෝනා රජුට අයිති මානෙල් විලක දැකුම්කළු මානෙල් මලක්‌ යට ගෙම්බෙක්‌ වී ඉපදුණේය. දිනක්‌ රජු විලට ගොස්‌ මානෙල් මලක්‌ කඩාගෙන එය සිම්බේය. එවිට එහි සැඟවී හිටිය ගෙම්බා රජුගේ නාසය තුළට ඇතුළු වී මොළයට රිංගා ගත්තේය. එදින සිට රජුට තදබල වේදනා දෙනහිසේ අමාරුවක්‌ ඇතිවිය. එය සුව කිරීමට දන්නා වෙද හෙදකම් කොතෙක්‌ කෙරුවද ඉන් කිසිපලක්‌ නොවීය. එනිසා එය සුව කිරීම සඳහා රජු සිරි ලංකාවට කැඳවාගෙන ඇවිත් මෙම පහන් මඩු ශාන්ති කර්මය කිරීමෙන් පසු රජුට සුවයක්‌ වූ බවට කථාවක්‌ ඇත.

අංකෙළිය හා කිරි මඩුව නැටීමද පත්තිනි දේවිය මුල්කොට කරන තවත් ශාන්ති කර්මයකි. එම කථාවද මෙසේය. පත්තිනා හා පාළඟ යන දෙදෙනා සල්මල් කැඩීමට ගිය අවස්‌ථාවක මල් කැඩීමට ගත් කෙකි දෙක එකට පැටලීම නිසා ඇතිවූ අවුල් සහගත තත්ත්වය රූපණය කිරීමට මේ අංකෙළිය නමැති ක්‍රීඩාව අදත් පවත්වති. මෙය දෙවියන්ගේ සෙත ලබාගැනීම සඳහාත්, සමාජය විනෝදාත්මකව එකමුතු වී සාමයෙන් සමගිව සිටීම සඳහා මුල්කොටගත් දේව ක්‍රීඩාවකි. තවද කෘෂිකර්මයේ ප්‍රධාන සංකේතය වන ගවයන්ගේ විවිධ දුක්‌ කරදර වසංගත රෝගවලින් මුදාගෙන, කිරි වැඩිවීමට, ගව පට්‌ටිවල උපත් වැඩිවීමට කරන බව විශ්වාසයකි. එයින් ගමේ රටේ ගව පට්‌ටි හිමියා මහා ධනවතෙකුද වන්නේය.

පත්තිනි ඇදහිල්ලේ දී කිරි අම්මාවරු ගෙදරින් පිටව යන විට මෙසේ සෙත් පතා යයි.

කිරි අම්මාවරු වඩිනා වේලේ
මල් වරුසාවක්‌ වැස්‌සයි දෑලේ
ඒ මල් අවුලා අමුණන මාලේ
කිරි අම්මාකල ලෙඩ නැත ආලේ

We found this article from Divaina on 2011/11/11.
Also Sinhala to English Google word to word translation can be found here