පහතරටින් එන ශාන්ති මේවා

351
ශාන්ති කර්ම
ශාන්ති

මෙම ශාන්ති කර්ම කිරීමේදී අධිෂ්ඨාන ත්‍රීදේවි සහ රති දේවිය ප්‍රධාන වන බව වේදයෙහි සඳහන් වේ. ඊශාන දිශාව ශාන්ති කර්මයන් සඳහා තෝරා ගැනීමට නියමිත අතර හේමන්ත සෘතුව, මේ සඳහා සුදුසුම කාලයයි. සුදු වර්ණය යෝග්‍යම වර්ණය වේ.

ශාන්ති කර්මවලින් නියම ප්‍රතිඵල උදා කර දීමට සහ ලබා ගැනීමට අඩුම තරමින් පන්සිල්වත් ආරක්‍ෂා කළ යුතුය. මත්පැන් පානයෙන් සහ වෙනත් අකටයුතු කරමින් ආගමත් දහමත් කෙලෙසමින් ක්‍රියා කරන ඇදුරන් ලවා මෙවැනි දේ කරවා ගැනීම ශාන්තියට වඩා උපද්‍රව ළඟා කර විශේෂයෙන් මෙවැනි කටයුත්තක්‌ කිරීමේදී මුදල් ගරා ගැනීමේ ෙච්තනාව මුළුමනින්ම අත්හල යුතුය. ලෝක සත්වයාට සෙතක්‌ ශාන්තියක්‌ ලබා දෙනවායි පවිත්‍ර ෙච්තනාව පෙර දැරි කරගෙන කරන මෙවැනි ශාන්තිකර්මවලින් ලැබෙන ප්‍රතිඵල ද ඉතා විශිෂ්ටය.

මෙහිදී ඇති තවත් විශේෂයක්‌ වන්නේ කටහඬය. කරුණාව, මෛත්‍රිය පෙරදැරිකරගෙන ශබ්ද මාධූර්ය ඇතිවන සේ අක්‍ෂර ශුද්ධිය ඇතිව නිවැරැදිව කටපාඩමින් තාලයකට මෙම කවි ශ්ලෝක සහ යාදිනි කීම වැදගත් කරුණකි.

මෙතුළින් අර්ථවත් වන්නේ අසන්නා තුළ ශ්‍රද්ධාව භක්‌තිය ආශාව සහ සොම්නස ඇතිවීමෙන් බොහෝ දුරට රෝග නිවාරණය වීමට පහසු වන බවකි. තුණුරුවන් හා දෙවියන් කෙරෙහි අචල විශ්වාසයෙන් මෙම ශාන්තිකර්ම සිදු කරවා ගැනීම මෙන්ම සිදු කිරීම තම අරමුණ සාර්ථක කර ගැනීමට ප්‍රධාන හේතුවක්‌ වෙයි.

ශාන්ති

වංචාවෙන් බොරුවෙන් කපටිකමෙන් අනුන්ගේ මුදල ගරා ගැනීමට මාන බලන අඥ්ඥනයන්ට මෙම ශාස්‌ත්‍රය නොගැළපෙන අතර එමගින් රෝගියාත් යකැදුරාත් විනාශ වන බව අමුතුවෙන් කිවයුත්තක්‌ නොවේ. විශේෂයෙන් ශාන්තිකර්මයක්‌ සිදු කිරීමේදී දෙපක්‍ෂය ම මත්පැන් හා මස්‌ මාංශවලින් වැළකී සිටීම ඉතාමත් යහපත්ය.

හත්අඩිය කැපීමේ ශාන්ති කර්මය

හත්අඩිය කැපීමේ ශාන්තිකර්මය පොදුවේ පහතරට ප්‍රදේශයට ආවේණික වූවක්‌ යෑයි කිව හැකිය. ගුප්ත විද්‍යාවට අයත් අංග අටකින් යුත් මන්ත්‍ර ශාස්‌ත්‍රයෙහි ශාන්තිකර්ම ගනයෙහිලා සැලකිය හැකි බලි තොවිල් යාග හෝම පූජාදිය අතුරෙන් හත්අඩියේ දෙහි කැපීම ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී.

මෙහිදී සිදුහත් කුමරුන්ගේ පියුම් හත සිට වැඩම කරවීම මුල් කරගෙන ආරම්භ කළ එකක්‌ බව ඇතැම් තැනෙක දක්‌නට ලැබේ. එහෙත් යම් යම් අවස්‌ථාවලදී මෙකී විවිධ ස්‌වරූපයක්‌ ගත්තත් පොදුවේ අනුපිළිවෙළට ගැලපෙන අයුරින් ක්‍රමවත්ව සකස්‌ කර ගැනීම ඇදුරන්ගෙන් දැන උගත්කම් තරමට සිදුවන්නකි.

මෙය පහත රටටම ආවේණික වූ නමුත් ප්‍රාදේශීය වශයෙන් සුළු සුළු වෙනස්‌කම් නැත්තාමත් නොවේ. මෙහි අරමුණ එකක්‌ වුවත් පෙළ පාලි තුළින් දක්‌නට ලැබෙන වෙනස්‌කම් කිහිපයකි.

මෙහිදී කළුතර, බෙන්තොට, අම්බලන්ගොඩ, ගාල්ල, බද්දේගම හා මාතර වැනි ප්‍රදේශවලදී සාම්ප්‍රදායික විෂමතා රැසක්‌ ඇතිබව පෙනී යන්නේ එය නිරීක්‍ෂණය කිරීමෙන් පසුවය. විශේෂයෙන් රයිගම් කෝරලයේදී මෙම හත්අඩිය කැපීමේ ශාන්තිකර්මය ග්‍රහ තොවිලයකට සම්බන්ධ කරනු ලැබේ. මෙමගින් අපේක්‍ෂා කරන්නේ ග්‍රහයන්ගෙන් ඇතිවන අපල උපද්‍රවයන් මෙන්ම ඇස්‌වහ කටවහ ඇවොල් දෙවොල් හදි හූනියම් ඇත්නම් ඒවා ඉවත් කිරීමයි.

ශාන්ති

හත්අඩිය කැපීමේ ශාන්තිකර්මය ගාල්ල, අම්බලන්ගොඩ, හා බද්දේගම ආදී ප්‍රදේශවල වෙනම තොවිලයක්‌ වශයෙන් කරනු ලබන අතර එම ප්‍රදේශවල ප්‍රචලිත හූනියම් කැපිල්ල ශාන්තිකර්මයට අනුගතව සිදු කරන පෙළපාලි ක්‍රමයක්‌ සේ සලකයි.

ත්‍රිවිධ රත්නය ඇතුළු සියලු දෙවි දේවතාවුන්ට මල් පහන් සුවඳ දුම් දී නමස්‌කාර කොට මඟුල් බෙර වයා තොවිලය ආරම්භකරනු ලබන්නේ රයිගම් කෝරලයේ හත්අඩිය කැපීමේදීය. ඉන් අනතුරුව සියලු නමස්‌කාර ගායනා ස්‌තෝත්‍ර ගායනා කර අවසානයේ පෙළපාලි ඇරඹේ.

පොල්, තොලබෝ, හීරැස්‌ස හා මෝල් යන පෙළපාලි මෙහිදී කරනු ලබන අතර එයට නියමිත උපත්කවි ගායනා කොට පෙළපාලි ආරම්භ කිරීම සිදු කරයි. අනතුරුව කඩතුරා හැර හත්මාළුව, දොළ බත, ගිතෙල්, මීපැණි, කැවිලි 5 ක්‌ පලතුරු 5 ක්‌ ග්‍රහදොළ වශයෙන් කැපකරනු ලැබේ.

මෙහිදී නවග්‍රහයන්ට ස්‌තෝත්‍ර ගායනා කිරීමත් අවසානයේ බුදු ගුණ, දෙවියන්ගේ ගුණ ගායනා කර හත්අඩිය කැපීමේ පෙළපාලියක්‌ ආරම්භ කරයි. ඉන් අනතුරුව පියුම් දොළ, ගොටු, බුලත් මල්, පඬුරු හා විලක්‌කු හත බැගින් තබනු ලැබේ. ඉන්පසු පියුමෙන් පියුමට ක්‍රමයෙන් යමින් දෙහි කපන අතර ගිරය, දෙහි, බුලත්, පඬුරු හා විලක්‌කු ආදී පූජා භාණ්‌ඩවල උපත් කවි ගායනා කරමින් හත්අඩිය කපනු ලැබේ.

අවසානයේ අලුයම් කාලයේදී උණවීදියේ කවි ගායනා කර පහන් තිර නිවා අටකොණ කියා ගෙවල් ආරක්‍ෂා කර දෙවියන්ට පින් දීමෙන් මෙම ශාන්තිකර්ම අවසන් කරනු ලබයි.

We found this article from Divaina on 2013/10/06.