ප්‍රීතිමත් ජිවිතය ඉදිරියේ රාගය කෙසේ විය යුතුද?

1727
රාගය

තරුණ ඇස දඩාවතේ දුවයි. ඇස පමණක්‌ නොව හිතත් එසේය. ගැටවර වයසට එළැඹෙන විට විරුද්ධ ලිංගිකයා සමග හිනැහීමට, පෙම් බස්‌ දෙඩීමට, වැළඳගැනීමට, සිප ගැනීමට ඇති ආශාව පිනුම් ගසයි. එහෙත් ශිෂ්ටාචාරය විසින් අප වටා බැඳ ඇති තහනම් වැට පැන ගෙන යැමට බියක්‌ සැකයක්‌ ඇතිවේ. ඒ නිසා හැංගිමුත්තං ක්‍රමයට ඒ ආශාවන් ඉටුකරගන්නට බලයි. ඒ වූ කලී තාරුණ්‍යයේ චිත්ත ස්‌වභාවයයි. එතැන ඇත්තේ හුදෙක්‌ රාගය හෙවත් කාමයයි. ඒ නිසා එතැනදී බුද්ධි ඇස අන්ධය.

විවාහ වීමේ හැබෑ පරමාර්ථය බොහෝ ගැඹුරුය. අහසේ හැදූ මාලිගාවට ගෙවැදී සාලිය අශෝක මාලා රංගනයට පණ දීමට ඇති ආශාව එහි ප්‍රමුඛ පරමාර්ථය වෙයි. යුග ජීවිතයක්‌ අරඹා තමාගේම නිවසක තමාගේම රාජධානියක අභිසේක ලබමින් දරුවන් සමග පැතුම් ලොවට පිවිසීම ඒ පසුපස ඒ දෙවැනි අරමුණයි. අපේ යන හැඟීම මගේ යන හැඟීමට පරිවර්තනය කරමින් මගේ බිරිඳ මගේ පුතා, මගේ දුව, මගේ ගෙදර, මගේ වාහනය ආදී වශයෙන් පළල් අපේක්‍ෂාවක්‌ තුළට පිවිසීම ඊළඟ පරමාර්ථයයි. එහෙත් ඒ සඳහා දඩාවතේ යන ඇසට හිතට අවනත නොවී බුද්ධියට ප්‍රධානත්වය දෙතොත් පමණක්‌ අපේක්‍ෂිත ගමන සුන්දරය.

ඒ සඳහා විවාහයට බිරියක පතන තරුණයා පුරුෂාධි පත්‍යය ඉක්‌මවා නොයන හිත් ගන්නා පසන් ඉරියව් සහිත නිරතුරුවම මුහුණින් හිනාව ගලන බුද්ධිමත් කාන්තාවක්‌ම තෝරාගත යුතුය. විවාහයට සැමියකු පතන තරුණිය පුරුෂ වීර්ය ඇති ශාරීරික ශක්‌තියෙන් හෙබි නිරෝගී එසේම පවුලක්‌ නඩත්තු කිරීමේ සමත් පිරිමියකුම පැතිය යුතුය.

විවාහය හා රාගය

විවාහයෙන් පසු ප්‍රශ්නයකට මුහුණ දෙන ස්‌වභාවයෙන් බිරිය හඳුනා ගත හැකිය. නිදසුනක්‌ ගනිමු.

මේ රස්‌සාව කරල දියුණු වෙන්න බැහැ පහළ වත්තේ ඉඩම විකුණලා ව්‍යාපාරයක්‌ කරන්න තීරණය කළා යෑයි සැමියා බිරියට කියයි. ඒ පිළිබඳ තම අදහස කීප අයුරකින් පැවසිය හැකිය.

”ඊට නරකද බෙල්ලෙ ගලක්‌ එල්ලාගෙන ගඟට පනින එක.”
”ඇයි මොලේ අමාරුවක්‌ හැදීගෙන එනවද?”
”සෙනසුරු අපලයක්‌ ලබලා වගෙයි.”
”ඇය ඔයාට දරුවෙක්‌ බිරියක්‌ ඉන්නවා කියල හිතෙන්නෙ නැද්ද?”
”තව ටිකක්‌ කල්පනා කරල බැලුව නම් නොවෙද හොඳ?”

අන්තිම පිළිතුර බිරියගේ අදහස වෙතොත් ඒ පිළිතුරේ ආක්‍රමණශීලි ගතියක්‌ නැත. සැමියාගේ අදහසට විරුද්ධ වීමක්‌ නැත. සැමියාගේ අදහස අනුමත කිරීමක්‌ද නැත. බුද්ධියට සමීපවී දුන් පිළිතුරකි. ඒ පිළිතුරෙන් සැමියා කිපෙන්නේ නැත.

නිවැරැදි ලෙස සිය පෙම්වතිය තෝරා ගත්තේ මහෞෂධ පඬිවරයා බව උමංදාවේ සඳහන් වේ. ඒ වූ කලී විවාහය සඳහා වූ පළමුවන සම්මුඛ පරීක්‍ෂණයයි.

මහෞෂධ පඬිතුමාට මග තොටේදී අමරාදේවිය මුණ ගැසී ඇත. ඇගේ පසන් ඉරියව් කෙරෙහි පැහැදුණු මහෞෂධ පඬිතුමා සුරතේ ඇඟිලි මිටමොළවා ඇයට දැක්‌වීමෙන් සස්‌වාමිකදැයි මනෝමය ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළේය. අමරාවෝ ප්‍රශ්නය තේරුම් ගෙන සුරතේ ඇඟිලි විහිදුවා තමා අස්‌වාමික බව හෙවත් විවාහවී නැති බවක්‌ පළ කළහ. ආදරය එසේ ගොඩ නැඟිණි.

දිනෙක හාල් පතක්‌ (හුණ්‌ඩුවක්‌) ගෙනැවිත්දි එයින් කිරිබතක්‌ හා අග්ගලා හදා තබන්නැයි නියෝග කළේය. අමරා දේවිය ඒ දෙකම ඉටුකර තැබීය. අහර මුවගට ගත් සැනින් රස නහර පිනා ගියත් ඒවා නීරසයෑයි චෝදනා කොට ඉවත ලෑවේය. දඬුවම් වශයෙන් තමා එන තුරු නිවසට නොයන්නැයි නියෝග කොට ගෙදරින් බැහැර ගියේය. අමරාදේවිය එයද ඉවසුවාය.

මහෞෂධ පඬිවරයා එසේ කරන්නට ඇත්තේ ඇගේ ඉවසීම, අවනත ගතිය විමසා බැලීමට විය යුතුය. අමරාවෝ කායික වාචික සම්මුඛ පරීක්‍ෂණ දෙකෙන්ම සමත් වූවාය.

වත්මන් මනාලිය

වත්මන තරුණියකට ඇගේ පෙම්වතා හාල් පතක්‌ ගෙනැවිත් බත පිළියෙල කරන්නැයි කීවේ නම් දීගය එතැනින්ම කෙළවරවෙයි. මේ යුගයේ විවාහයකට තරුණිය බැලීම සඳහා ඇගේ ගෙදරට මනාලයා හා මාපියන් යන සිරිතක්‌ වෙයි. එහිදී වැඩිහිටියන් පසෙකට වී කතා කරන විට ජෝඩුවටද අදහස්‌ හුවමාරු කරන්නට අවස්‌ථාවක්‌ ලැබේ. එතැනදී ඒ දෙපළ කරන්නේ ”කයිවාරු” කථාය. ජීවිතය විනිවිද දැකීමක්‌ නොකෙරේ. වැඩිහිටි මාපියන් විමසන්නේ දයාදාය ගැනය. මේ ඉඩමේ ඔප්පුව ඇත්තේ කා නමටද?. දැවැද්ද වශයෙන් ලැබෙන්නේ මොනවාද යන්නයි. වැඩිහිටියන් ලැබෙන දෙයට එකඟ වොතොත් විවාහය තීරණය වේ. මනාලය බලන්නේ ආදරය කිති කවා බැලීමකි. සමහර විට කුළුදුල් හාදුව ලබා ගැනීමට ”බල්ලොත් එක්‌ක බෑ” නාට්‍ය බලන්නට යෝජනා කරයි. ඇය එම යෝජනාවට තනි පයින් සූදානම්ය.

හැබෑ මනාලිය බලන්නට නම් ඇය දිය රෙද්ද සහිතව ගඟුලට බැස දිය බේරෙන මුහුණ සහිතව ගොඩවන ඉරියව්ව බැලිය යුතුය. ඇගේ හැබෑ නාරි ලාලිත්‍ය දැකිය හැක්‌කේ එවිටය.

කුළුදුල් මනමාලියට දුර කථනයෙන් අමතන මනාලයා මට ඔයාගේ අතීතයෙන් වැඩක්‌ නැහැ. මා ඒ ගැන හාරා අවුස්‌සා බලන්නේ නැතැයි කියයි. ඔහු එසේ කියන්නේ තමාගේ අතීතයේ කිළුටු වසා ගැනීමට මිස අනෙකක්‌ සඳහා නොවේ.

විවාහය කෙරෙනවාද. එය ප්‍රොඩාවක්‌ද යන්න අකුරටම කිව හැක්‌කේ තාත්කාල කේන්ද්‍රයෙනි. විවාහය ගැලපීම් සඳහා පොරොන්දම් මාර්ගයෙන් හෙළි පෙහෙළි නොවන බොහෝ දේ තත්කාල කේන්ද්‍රයෙන් විවරණය වේ.

තත්කාල කේන්ද්‍රය ගොඩ නගන්නේ මනාලිය බැලීම සඳහා පැමිණෙන මනාලයා සිය පළමු පියවර නිවසට තබන වේලාව පදනම් කරගෙනය. එම තත්කාල කේන්ද්‍රයේ 7 වැන්න, 7 වැන්නාධිපති ලග්නාධිපති හා සිකුරුගේ පිහිටීම අනුව විවාහය පිළිබඳ හැබෑ නිවැරැදි තොරතුරක්‌ විවරණය වේ. බොහෝ දෙනෙක්‌ ඒ අවස්‌ථාව ගැන වැඩි අවධානයක්‌ නැතිවා මිස ඒ ක්‍රමය අත්හදා බලන්නේ නම් සාර්ථක නිගමනයකට එළඹිය හැකිය.

වත්මන් ඇතැම් කපටියෙක්‌ විවාහය වෘත්තිය බවට හරවාගත් අවස්‌ථා ගැන වාර්තාවේ. අනුන්ගේ රථයකින් කුළියට ගත් ඇඳුම් කට්‌ටලයකින් සිටුවෙස්‌ ගෙන මනාලිය බලන්නට යන්නේ මාපියන් සමග නොවේ. මිත්‍රයකු සමගය. ඔහු නම් කීපයකින් පෙනී සිටියි. එක්‌ එක්‌ නමින් එක්‌ එක්‌ ලිපිනයන් ඉදිරිපත් කරමින් පළාත් දෙක තුනකින් ලොකුවට දායාදය ලැබෙන තුන් හතර දෙනකුම නම් ප්‍රසිද්ධියට කැමැතිකර ගනී. මාසකින් හමාරකින් විදෙස්‌ රටක උසස්‌ රැකියාවක්‌ ලැබී ඇති බවක්‌ කියා ඒ සඳහා විශාල ඇප මුදලක්‌ බැඳිය යුතු බවක්‌ සඳහන් කර මාපියන්ට රහසින් ඇගේ බැංකුපොතේ මුදල් ටික රැගෙන මාරුවී යයි. තුන්හතර පළකින් මේ සෙල්ලම ක්‍රියාත්මක වූ විට ඔහු රටේත් නැත. මේ උපාවලට රැවටෙන කීදෙනෙක්‌ වෙත්ද? ඒ නිසා මනාලිය බැලීමට පැමිණෙන මනාලයා සිය මාපියන් සමගම ආ යුතුය. නම, ගම, වාසගම විමසා සස¹ බැලිය යුතුය. සොරුන් කපටියන් අවස්‌ථාවාදීන් බහුල සමාජයක විශ්වාසය ළඟින්ම අවිශ්වාසයද තබා කටයුතු කිරීම නුවණට හුරුය. බොහෝ දෙනකු විවාහය ඉදිරියේ රැවටීම්වලට ගොදුරුවන බවක්‌ දක්‌නට ලැබේ.

රාගය

ජ්‍යෝතිෂමය බලපෑම

පිරිමි පක්‍ෂයට වඩා ස්‌ත්‍රී පක්‍ෂයට ඉවසීමේ ශක්‌තිය හෙවත් විඳ දරා ගැනීමේ ශක්‌තිය අඩුය. ඒ නිසා බොහෝ විට අඹුසැමියන් අතර වාග් ප්‍රහාර ඇතිවේ. එයට ජ්‍යෝතිෂමය බල පෑමක්‌ද වේ.

නිදසුනක්‌ වශයෙන් බුද හිමි මිථුන හා කන්‍යා ලග්න හිමි අඹු සැමියන් අතර වාග් ගැටුම් අඩුය. නැති තරම්. ජන්ම කේන්ද්‍රයේ 6, 8, 12 අධිපති ග්‍රහයකුට අයත් ලග්නයක්‌ අනෙකාට වෙතොත් වාග් ගැටුම් විය හැකිය. හේතුව ලග්නාධිපති ග්‍රහයන්ගේ සතුරු බලපෑම් නිසාය. ඒ නිසා විවාහයක්‌ සඳහා කේන්ද්‍ර ගැලපීමේදී එම ලග්න ගැලපීම් කෙරෙහිද අවධානය යොමු කරන්නේ නම් වඩාත් යහපත්ය.

සැමියාගේ සහ බිරිඳගේ ජන්ම කේන්ද්‍ර දෙකෙන් ලග්න අයිතිය 1, 4, 5, 9, 10 වැනි රාශියකට සම්බන්ධ වෙතොත් දෙදෙනා අතර එකඟතාවක්‌ පෙන්නුම් කරයි.

ඇතැම් ස්‌ත්‍රී පුරුෂයෙක්‌ ස්‌වකීය ශාරීරික පවිත්‍රතාවය ගැන සැළකිල්ලක්‌ නැත. ඒ නිසා අප්‍රසන්නභාවය මතු වෙයි. අනියම් සබඳතා ගොඩනගා ගැනීමට එයද හේතුවකි. මුඛ දුර්ගන්ධය ප්‍ර්‍රධාන බාධකයකි. මේ පිළිබඳ කිසිදු වැදගත්කමක්‌ නොසළකන අයගේ යුග දිවිය අවුල්වු අවස්‌ථා අපමණය. දිනපතා නොමැතිනම් සතියකට දින දෙක තුනක්‌ වත් ස්‌නානය කිරීම, දිනකට යටත් පිරිසෙයින් දෙවරක්‌වත් ඇඟපතා සෝදා ගැනීම ගැන සැලකිලිමත් විය යුතුය.

දිනපතා ඇඳුම් මාරුකිරීමට අසීරුවක්‌ වෙතොත් ඒ ඇඳුම් හිඟයක්‌ වෙතොත් පමණි. එහෙත් තිබෙන ඇඳුම හෝ පවිත්‍ර කර ගැනීමට උනන්දු විය යුතුය. කිළිටි ඇඳුමෙන් සිටින විවාහකයාට කොහොමත් කැමති නැත.

ජන්ම කේන්ද්‍රයේ දුෂ්ඨ රාශි අධිපතියෙක්‌ ලග්න රාශිගතවීම, ලග්නාධිපති දුෂ්ට රාශි ගතවීම, සිකුරු පාප කර්තරීවීම නිසා අපවිත්‍රතාව පෙන්නුම් කරයි. ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්නන්ට යහපත් ජීවිතයක්‌ ගෙවීමට අපහසුවක්‌ නැත.

We found this article from Divaina on 2014/05/04.