බෝධි පූජාව ගැන මේ කරුණුත් දැන ගන්න

225
බෝධි
බෝධි

ජ්‍යෙතිෂයට බෝධි පූජාව සමීපය. අපල උපද්‍රවයන් දුරු කරන්නේ එමගිනි. බෝධිය ලෙස අප නම් කරන ගස ඇහැටු වර්ගවලින් එක්‌ විශේෂයකි. බෝ ගස ලෙසින් ව්‍යවහාර කරන්නෙමු. මෙහිදී බෝ – බෝධිය වශයෙන් නම් කරන්නේ විශේෂණ පදයක්‌ ලෙස ය. බෝධිය යන්නෙහි තේරුම වන්නේ දකින්නා වූ දෙය ප්‍රත්‍යක්‍ෂ ලෙස – පැහැදිලි ලෙස සම්පූර්ණ ලෙස දැකීම යන්නය. විශේෂයෙන් සම්මා සම්බුදුවරයෙක්‌ සර්වඥතා ඥානය එලෙස දක්‌නා පිණිස සෙවණ කොට ගන්නා ගස බෝධිය ලෙස බෞද්ධයා අතර ප්‍රචලිත වෙයි.

ඒ අනුව විසි අටක්‌ බෝසතුන් බුදු වුණ බෝධීන් වහන්සේලා විවිධ වර්ගවලට අයත් ගස්‌ වූහ. ඒ අනුව දීපංකර බුදුන් නෙරලු හෙවත් පුලිල ගසද, කොණ්‌ඩඤ්ඤ බුදුන් ශාල කල්‍යාණි නම් ගස ද, මංගල බුදුන් නා ගසද, සුමන – රේවත – සෝභිත යන බුදුවරුන් නා ගසම බෝධිය කර ගත් සේක. අනෝමදස්‌සී බුදුන් වහන්සේ කුඹුක්‌ ගස ද, පදුම හා නාරද බුදුවරුන් මහාසෝන නම් ගස ද, පදුමුත්තර බුදුන් සල් ගස ද සුමේධ බුදුන් බක්‌ මී ගස ද, සුජාත බුදුන් හුන නම් ගස ද බෝධිය කර ගත් සේක.

පියදස්‌සී බුදුන්ට ද කුඹුක්‌ වෘක්‍ෂය බෝධිය වූහ. අත්ථදස්‌සී බුදුන්ට සපු ගස ද, ධම්මදස්‌සී බුදුන්ට රත්කරව් ගස ද, සිද්ධත්ථ බුදුන්ට කිණිහිරිය ගසත්, තිස්‌ස බුදුන්ට කොහොඹ ගසත්, ඵුස්‌ස බුදුන්ට නෙල්ලි ගසත්, විපස්‌සී බුදුන්ට පලොල් ගසත්, සි‚ බුදුන්ට ඇට ගසත් වෙස්‌සභූ බුදුන්ට සල් ගසත් කකුසඳ බුදුන්ට මාරට ගසත් කෝණාගම බුදුන්ට දිවුල් ගසත් – කස්‌සප බුදුන්ට නුග ගසත් ගෞතම අප බුදුන්ට බෝ (ඇහැටු) ගසත් වශයෙන් බෝධි වෙනස්‌ ය.

බෝධි

චතුරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය ආදී වශයෙන් දීර්ඝ කාලීනව පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වන සෑම බුදුවරයකුටම බුදු බව ලබන්නට බෝධියක්‌ අවශ්‍ය වේ. පසේ බුදුවරුන්ට පමණක්‌ මෙය වෙනස්‌ වෙයි. මුලින් ප්‍රකාශ කළා වූ ප්‍රත්‍යක්‍ෂ ලෙස, පැහැදිලි ලෙස සම්පූර්ණ ලෙස දැකීම නම් වූ සම්මා සම්බුද්ධත්වය ලැබීමේදී මාර සෙනග පැරදවීමට විශේෂයෙන් මෙම බෝධිය වන වෘක්‍ෂය බලපායි. මුළු විශ්වයේම සත්‍යය අනාවරණය වන අවස්‌ථාව තුළ මෙම ගසෙන් ලැබෙන අනුපමේය ශක්‌තිය ඉතා වැදගත් වෙයි. බුද්ධත්වය ලැබූ පසු බුදු කෙනෙකුගෙන් ප්‍රථම කොට ගෞරව ලබන්නේ ද එම ගසය. ඒ අනුව අප ගෞතම බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලැබීමෙන් පසු දින හතක්‌ ඇසිපිය නොසලා තමන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධිය දෙස නිසොල්මන්ව බලා සිටිමින් ප්‍රථමයෙන් ම බුදුවරයකුගේ ගෞරවයට පාත්‍ර විය. එසේ බෝධි බවට පත් වූ වෘක්‍ෂ අදටත් යම් විශේෂ තත්ත්වයකට අපගේ සිත්වල ඇඳී පවතී. නුග – නා – සල් ආදී වශයෙන් එකී ගස්‌ කෙරෙහි අපට යම් අමුත්තක්‌ ද ස්‌වාභාවිකව පවතී.

විශේෂයෙන් අප ගෞතම බුදුන්ට සෙවණ දුන් බෝ ගස කොපමණ ගෞරවාදරයකට පත්ව තිබේද? මනුෂ්‍යයාගේ ගරු බුහුමන් එම බෝ රුකට ලැබෙන්නේ එහි යම් ගුණයක්‌ හේතු කොට ගෙන ය. එය මනුෂ්‍යයා නිවැරැදි ලෙස තේරුම් නොගත්තත් පඨවි, ආපෝ, තේජෝ – වායෝ යන මේ අස්‌ථිර විශ්ව මූලධර්මයන්ට යම් බලපෑමක්‌ කළ හැකි ශක්‌තියක්‌ බෝධියට පවතී. මේ සංසිද්ධිය පසුබිම් වූ බෞද්ධ ශිෂ්ටාචාරයට බෝධි පූජාව එක්‌වන්නේ එහි ඇති ගුප්ත ක්‍රියාකාරිත්වයෙන් යහපතක්‌ ම උදාකර ගත හැකි බැවිනි.

උදැසන ගුවන් විදුලි නාලිකාවකින් මිහිරි කටහඬකින් ලස්‌සන තාලයක්‌ දමා යම් යම් අන්දමේ බුදුගුණ වන්දනාවක්‌ කරන්නාක්‌ මෙන් බෝධි පූජාව ද සංකර තත්ත්වයට අද පත්වී ඇත. එය නිෂ්ඵල අරුත් සුන් ක්‍රියාවකි. බෝධි පූජාවක නිසි ඵල ලැබීමට නම් එය අර්ථාන්විතව, කළ යුතු ආකාරයට නිවැරැදිව කළ යුතුය.

බෝධි

බෝධි පූජාව බෝධීන් වහන්සේට පවත්වනු ලබන්නක්‌ මිස බුද්ධ පූජාවක්‌ නොවේ. ලොව්තුරා බුදුවරුන්ට මරුන් පරදවා බුද්ධත්වය ලබාදීම බෝධියේ සුවිශේෂී ගුණාංගයකි. ස්‌ථාන ඵලයකි. එසේ වූ බෝධියට සෙසු අයගේ රෝග පීඩා – අපල උපද්‍රවයන් – දරුඵල, රැකියා සපලවීම්, නොයෙකුත් අන්තරායන්ගෙන් මිදීම් ආදී දුක්‌ කරදර බාධකවලට බෝධියකින් අප්‍රමාණ ප්‍රයෝජන ලැබිය හැක.

පළමුවෙන් කළ යුතු කාර්යය වන්නේ බෝමලුව ඇමද පිරිසිදු කිරීමය. මලසුන සෝදා පවිත්‍ර කළ යුතුය. එය කළ යුත්තේ එයට අදාළ පුද්ගලයාමය. ඔහු දැඩි අපහසුවක ඇත්නම් පමණක්‌ අන් අයෙක්‌ කළාට වරදක්‌ නැත. බෝ මළුවේ ලද පස්‌ මල් ඉස, බෝධියට හානි නොවන සේ කොඩි – මල්මාලා එල්ලා බෝධිය සරසා පූජාව කළ යුතුය. අදාළ පුද්ගලයාම මලසුනෙහි පූජා ද්‍රව්‍ය තැන්පත් කළ යුතුය. එම පුද්ගලයාම ගාථා කීම වඩාත් ගුණදායකය. නැතිනම් අත ගස්‌වා අනෙකෙක්‌ විසින් කළ යුතුය.

පංච ශීලයේ පිහිටීමෙන් පසු පහත පරිදි බෝධිය වන්දනාව කරන්න. මේ ගාථා හඬනඟා කිය යුතුය. සිතින් මුමුණා කීමෙන් ඵලක්‌ නැත. ශබ්දය තරංගයක්‌ ලෙස බෝධියේ පත් අතරට වදී.

“සේවිතං ධම්ම රාඡේන – නර දේවේහි පූජිතං
වන්දාමි බෝධි රාජානං – නිබ්බාණසුඛ දායකං”

තේරුම – ධර්ම රාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද දෙව් මිනිසුන් විසින් පුදනු ලබන – වඳින පුදන ජනයාට නිවන් සුවය දෙන්නා වූ බෝධි රාජයාණන් වහන්සේ වන්දනා කරමි යන්නය. මෙය කළ යුත්තේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කරගෙනය.

පසුව මේ ගාථා ද ආතුරයා ලවාද කියවිය යුතුය.

යස්‌ස මූලේ මහා සත්තෝ
ජිත්වා මාරං මහබ්බලං
පපත්තෝ සබ්බඳ්ඳුතං සෙට්‌ඨං
වන්දේතං බෝධි මුත්තමං

යස්‌ස මූලේ නිසීදිත්වා
සත්තාහං ලෝක නායකෝ
විමුක්‌ති සුඛ සංවේදී වන්දේතං
බෝධි මුත්තම

යස්‌ස පූඡේසි සම්බුද්ධෝ
සත්තාහං සකලෝචනේ
පූජිතං නර දේවේහි
වන්දේතං බෝධි මුත්තමං

ආයුං ආරෝගතං වණ්‌ණං
යසං කිත්ති ධනං බලං
වඩ්ඩේටතං පූජයංතානං
වන්දේතං බෝධි මුත්තමං

දුක්‌ඛං රෝග භයාං වේරං
සෝකං ජානිං උපද්දවං
හරන්තං පූජයංතානං
වන්දේතං බෝධි මුත්තම

පුඳ්ඳකාමීහි විඳුදුහී
නර දේවේහි සාදරං
වන්දිතං පූජිතං සෙට්‌ඨං
වන්දේතං බෝධි මුත්තමං

සබ්බ කාමදදොa බෝධිං
සබ්බ දුක්‌ඛ විනාසකෝ
වන්දතෝ දේතු මේ සන්ති
බෝධි රාජා නමස්‌තු තේ

මේ ගාථා කියමින් බෝධි වන්දනාව නිතර කිරීමෙන් මහත් ඵල උදාකර ගත හැක .පසුව සුවඳ පැනින් බෝධිය නහවා සියල්ල බෝධියට පූජා කළ යුතුය. බුදුරජාණන් වහන්සේට මල්, පහන්, පැන් ආදිය පූජා කරන ගාථා බෝධි පූජාවට පාවිච්චි නොකළ යුතුය. එය වැරදිය. බුද්ධ පූජාවක්‌ විහාරයේ වෙනම පවත්වා බෝධි පූජාව පසුව පටන් ගත යුතුය. බෝධීන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම්, පැන් ආදිය පූජා කිරීමේදී සේවිතං ධම්ම රාඡේන යන ගාථා ඒ ඒ දෙයට අදාළව ගායනා කර පූජා කරන්න. එම ගාථා කවුරුත් දන්නා නිසා මෙහි සඳහන් නොකරමු.

පූඡේමි බුද්ධං කුසුමේන නේන ඝනසාරප්ප දිත්තේන… ආදී වශයෙන් පූජා කරන්නේ නැත. එය බුද්ධ පූජාවකි. බෝධි පූජාවට පෙර එසේ සියල්ල බුදුන්ට පූජා කර සිටින්න. බෝධියට පුදන ගාථා පමණක්‌ භාවිතා කරන්න. පසුව බෝධි පූජා ශාන්තිය අදාළ ආතුරයා සමඟ ශබ්ද නගා ගායනා කරන්න එය මෙසේය.

මහාදයෝ මහා සත්ථෝ
බෝධි මූලේ නිසීදිය
පංච මාරේ පරාජිත්වා
පත්තෝ සම්බෝධි මුත්තමං
ඒතේන සච්ච වඡ්ඡේන සොත්ථිතේ හෝතු සබ්බද

ජයෝහි බුද්ධස්‌ස සිරිමතෝ අයං
මාරස්‌සච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුන් බෝධි මණ්‌ඩේ පමෝදිතා
ජයං තද නාග ගනාමහේෂිනෝ
ඒතේන සච්ෙච්න සුවත්ථි හෝත

ජයෝහි බුද්ධස්‌ස සිරිමතෝ අයං
මාරස්‌සච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුන් බෝධි මණ්‌ඩේ පමෝදිතා
සුපන්න සංඝාපි ජයං මහේෂිනෝ
ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු

ජයෝහි බුද්ධස්‌ස සිරිමතෝ අයං
මාරස්‌සච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුන් බෝධි මණ්‌ඩේ පමෝදිතා
ජයං තදා දේව ගණා මහේෂිනෝ
ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු

ජයෝහි බුද්ධස්‌ස සිරිමතෝ අයං
මාරස්‌සච පාපිමතෝ පරාජයෝ
උග්ඝෝසයුන් බෝධි මණ්‌ඩේ පමෝදිතා
ජයං තදා බ්‍රහ්ම ගණාපි තාදිනෝ
ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු

බෝධි පූජාව පවත්වන්නේ රෝග සුව කර ගැනීමට නම් ඒ ගාථාවල අවසන් පදය වන ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු යන්න වෙනුවට ඒතේන සච්ච වඡ්ඡේන රෝගෝ තේ චූපසම්මතු කියා වෙනස්‌ කර ගත යුතුය. අනුන් උදෙසා කියන විට රෝගෝ තේ යනුවෙනුත්, තමන් උදෙසා නම් රෝගෝ මේ යනුවෙනුත් වෙනස්‌ විය යුතුය.

අනතුරුව බෝධියට අරක්‌ ගත් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට පිං දී අවසන් කරන්න. මෙසේ බෝධි පූජාව නිවැරැදිව කරගත යුතුය. බුද්ධ පූජාවත් බෝධි පූජාවත් දෙක පටලවා ගැනීම වැරදි බව දහම් පොත පතේ සඳහන් වේ. ඒ අනුව බෝධි පූජාවකින් තමා අදහස්‌ කරන අරමුණ ඉක්‌මනින් ම සාක්‌ෂාත් වනු ඇත.

We found this article from Divaina on 2013/11/10.