මහානුභාව රතන සූත්‍රය මගින් රෝදුක් අපල විපත් නැති බැරිකම් දුරලන්න

820
රතන

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත් අලුතම විසාලා මහනුවර තුන්බිය රතන සූත්‍රය මගින් දුරුකළ අයුරු සෑම බෞද්ධයෙක්‌ම දන්නා කරුණකි. විසාලා මහනුවර යක්‍ෂ බිය, රෝග බිය හා දුර්භික්‍ෂය නැති කිරීමට එදා පාලකයන්ට තබා දෙවියන්ටවත් නොහැකිවුණ බව සඳහන් වේ. අමනුෂ්‍ය බිය යනු මනුෂ්‍යයන් ගෙන් තොරව යක්‍ෂ භූත ආදීන් ගෙන් සිදුවුණ දෝෂයකි. භූත යනු නොපෙනෙන බලයක්‌ බැවින් අපල උපද්‍රවද ඒ ගණයටම වැටේ.

රෝග බිය යනු කවුරුත් දන්නා දෙයකි. එසේම අද වන විට නන්නාඳුනන රෝග බියවල් හිටි ගමන් වර්තමානය තුළද තාමත් පැතිරෙන දෙයකි. දුර්භික්‍ෂ යනු නැතිකමය. මේ කරුණු තුන නැති කිරීමෙන් නිදුක්‌, නිරෝගී සුවපත් භාවය පතා එදා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළ සේක.

මෙම සූත්‍ර දේශනාවේ අඩංගු වී ඇත්තේ අධිෂ්ඨාන බලයකි. එනම් සත්‍යයේ බලයයි. සත්‍යය වසන්කොට අසත්‍යය ජය ගන්නා මේ කලියුගයට රතන සූත්‍රය එතරම් වටිනා දෙයක්‌ නොවීමද අරුමයක්‌ නොවේ. එබැවින්ම එහි ඇති අනුපමේය වටිනාකම ගැන පාඨක ඔබට ගෙනහැර දැක්‌වීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි.

රතන සූත්‍රයේ අර්ථය

“ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු” රතන සූත්‍රයේ සෑම ගාථාවකම අවසානයට එසේ සඳහන් වීමෙන් පැවසෙන්නේ ඒ සත්‍යයේ ආනුභාවයෙන් නුඹලාට සෙත්වේවා” යන්නය. ඒ කුමන වූ සත්‍යයක්‌ද යන්න ඒ ගාථාවේම සඳහන් වෙයි. අපේ ප්‍රධාන අරමුණට ප්‍රවිෂ්ට වීම සඳහා රතන සූත්‍රයේ එන 06 වැනි ගාථාවට යොමුවන්න. “යේ පුග්ගලා අට්‌ඨ සතම්ප සත්ථා…” මෙම ගාථාවෙන් පැවසෙන අර්ථය වන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගියාවූ ආර්ය පුද්ගල තෙමේ සියලු ලැබීම් ලැබීමට එකම සුදුස්‌සාය. ඒ ආනුභාවයෙන් නුඹලාට සෙත්වේවා යන්නය.

එසේ නම් ඒ ආර්ය පුද්ගලයා කෙබඳු කෙනෙක්‌ විය යුතුද යන්න එම සූත්‍ර දේශනාවේම අන්තර්ගතය වී තිබේ. එය එහි තවත් එක්‌ ගාථාවකින් පැහැදිලි කිරීම කාලෝචිතය. ඒ අනුව එහි 10 වැනි ගාථාවට යොමු වී බලන්න. “සහාවස්‌ස දස්‌සන සම්පදාය” යන ගාථාවයි. එහි සඳහන් වන සරලම තේරුම වන්නේ සතර අපායෙන් මිදෙන පුද්ගලයා යන්නය. සතර අපායෙන් මිදීමට අවම සුදුසුකම වන්නේ පංචශීලය රැක ගැනීමය. එවන් පුද්ගලයා සියලු ලැබීම් සඳහා සුදුස්‌සා වන බව එයින් පැවසෙයි. ඒ සත්‍යයේ අනුභාවයෙන් නුඹලාට සෙත්වේවා යන්න අදහස්‌ වෙයි. එනම් එය විශ්වයේ පරම සත්‍යයකි.

විසාලා මහනුවරදී බුදුන් වහන්සේ ආනන්ද තෙරණුවන්ට මේ කාර්යය පැවරූ සේක. බුදුන් වදාළ පරිදි ආනන්ද තෙරුන් පාත්‍රයට පැන් පුරවා රතන සූත්‍රය දෙසමින් විසාලා මහනුවර පැන් ඉස්‌සේය. ආනන්ද තෙරුන් රහත් බව නොලබා සිටි පෘථග්ජන භික්‍ෂුවකි. රතන සූත්‍රයේ 10 වැනි ගාථාවෙන් කියෑවෙන පරිදි ආනන්ද තෙරුන්ද සතර අපායෙන් මිදුණු කෙනෙක්‌ ලෙස ඒ මොහොත තුළත් සිටි වග පෙනේ. එසේ එම තත්ත්වයෙන් ඔහු නොසිටියා නම් කිසි විටකත් බුදුන් වහන්සේ එම කාර්යය ආනන්ද තෙරුන්ට නොපවරනු ඇත්තාහ.

රතන

රතන යන්ත්‍රය

එබැවින් හැම විටකම රතන සූත්‍රය සත්‍ය ක්‍රියාවක්‌ ම විය. අද වර්තමාය තුළ රතන යන්ත්‍රය පිළියෙල කොට නොයෙක්‌ කටයුතුවලට පාවිච්චි කරති. ග්‍රහ අපල, රෝග පීඩා, බලාපොරොත්තු මුදුන් පත් කරගන්නට යක්‌ෂ භූතාදි දෝෂවලට දියුණුව ඇති වීමට වශයෙන් රතන යන්ත්‍රය පිරිත් කරති. එසේ නම් ඒ පිරිත් කරන්නාද ආනන්ද හාමුදුරුවෝ මෙන් පංච දුශ්චරිතයෙන් මිදුණු සතර අපායට නොයන පරිදි සකස්‌ වූ මනසකම සිටින්නෙක්‌ විය යුතුය. මුදල් හම්බ කිරීමේ තෘෂ්ණාධික සිතින් තොර විය යුතුය. මෙහිදී අද වර්තමාන තත්ත්වයන් අනුව එයට සාධාරණ පඬුරක්‌ ගැනීම වරදක්‌ නොවේ. පස්‌ පවේ ගිලෙමින් හතර අපායට පාර කපා ගන්නා උදවිය (ඇතැම් යතිවරුන්ද සිටිති) පිරිත් කරන රතන සූත්‍රයෙන් ගුණයක්‌ සෙතක්‌ ලැබේදැයි සැක සහිතය. මක්‌නිසාද එවැනි ඇත්තන් ගෙන් එහි සත්‍යය විකෘති වන බැවිනි. එවිට ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු යන්න ක්‍රියාත්මක නොවන බැවිනි.

නිසි අන්දමට ඇඳ නිසි ලෙස පිරිත් කරන රතන යන්ත්‍රයක නිශ්චිත ප්‍රතිඵල ලැබීමට නම් එය පිරිත් කරන්නා තුළ ඉහත කී මනෝ භාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. යන්ත්‍රය තඹ පත්ඉරුවේ නිසි පරිදි ඇඳ නිසි ලෙසට වතාවත් කළ යුතුය. රතු නෙලුම් දඬු කඩා එයින් ලබාගන්න දුහුල් කෙඳිවලින් සකසා ගත් පහන් තිරවලින් පහන දැල්විය යුතු අතර පිරිසිදු ගිතෙල් පහනක්‌ විය යුතුය.

එසේ රතන යන්ත්‍රය නිවැරැදි පිළිවෙළට සකස්‌ කර ගත්තද එය කරන පුද්ගලයා අධික වූ තෘෂ්ණාවෙන් යුතුව අනුන්ට කරදර හිරිහැරවලට තුඩුදෙන දේවල් කරන ඊර්ෂ්‍යා වෛර, ක්‍රෝධ සිතේ පවතින සතුන් මරා දමන, හිංසා කරන, කුඩුකේඩු ගතිවලින් යුක්‌ත වන, මත්පැන් පාවිච්චි කරන නොසරුප් වදන් පරුෂ වචන පවසන හිස්‌ වචන දොඩන කල දුටු කල වළ ඉහගන්න දඟලන අන් අඟනන් දෙස රාගයෙන් බලන වැනි අදහම් ගතිවලින් යුක්‌ත වුණ පුද්ගලයෙක්‌ එය දස දහස්‌ වර පිරිත් කළද කිසිදු යහපතක්‌ ඇති නොවේ. එවැනි පුද්ගලයෙකු “ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතු” යනුවෙන් පැවසීම නිෂ්ඵල දෙයක්‌ වන බැවිනි.

රතන

අර්ථවත් ප්‍රතිඵල ලැබීමට කළ යුතු දේ

නමුත් ඉහත කී ගුණාංගවලින් අත්මිදුන ඉතාම යහපත් මනුෂ්‍යයන් අප අතර සිටිති. අනුන්ගේ දුකේදී කල දුටු කල වල ඉහගන්නට නොව සැබෑ කරුණාවෙන් අර්ථවත් ප්‍රතිඵලයක්‌ අනෙකාට අත්කර දීමට තරම් මුදිතා ගුණයෙන් යුතුව රතන යන්ත්‍රය විසිඑක්‌ වරක්‌ ජපකර පැළඳවීමෙන් පවා මහාර්ඝ වූ ප්‍රතිඵල අත් වන්නේය. එසේම පොතපතේ දැක්‌වෙන පරිදි රතන සූත්‍රයේ එක්‌ එක්‌ ගාථාවන් එක්‌ එක්‌ දේවල් සඵල කරන අන්දම පැරැණි පත පොතේ දැක්‌වෙයි.

ඒ අනුව රතන සූත්‍රයේ 08 වැනි ගාථාව වූ “යථින්දකීලෝ පඨවින් සිතෝසියා” යන ගාථාව 108 වරක්‌ සමන්පිච්ච මලකට පිරිත් කර එය මහා චෛත්‍යයකට හෝ මහ බෝමැඬකට හෝ පූජා කොට තම අදහස ඉටුවේවායි පැතීමෙන්ද එම කරුණ ඉෂ්ට වන බව පැවසේ. දෙවියන්ගේ බැල්ම ඇතිවී තමන් අපේක්‍ෂා කරන කාරණාවන් ඉටුවෙයි. එසේම 108 වරක්‌ තෙල්වලට මතුරා වේදනා කැක්‌කුම් ඇති තැන ආලේප කිරීමෙන් වේදනා නවතී.

සතුරු කරදර ඇති විට එම ගාථාවෙන් එසේ පිරිත් කළ තෙල් දෙපාවල ගා ඉදිරියට යැමෙන් සතුරන්ගෙන් අනතුරක්‌ නොවෙන බව පැවසේ. එසේම 06 වැනි ගාථාව වූ “යේ පුග්ගලා අට්‌ඨ සතම්පසත්ථා…” යන ගාථාව 108 වරක්‌ තෙල්වලට මතුරා ඇඟෙහි ස්‌පර්ශ කරගැනීමෙන් සැමදෙන වශීවීම, ශ්‍රියා ඇතිවීම සිදුවන බව පැවසේ. එසේම අනුන්ගෙන් ඉල්ලන දේ ලැබෙන බවද එහි සඳහන් වේ.

දරුවෙකු

දරුඵල පුමාදයට

දරුඵල ප්‍රමාද අයට රතන සූත්‍රයේ එන 5 වැනි ගාථාව වූ “යං බුද්ධ සෙට්‌ඨෝ පරිවන්නයී සුචිං…” යන ගාථාව පිරිසිදු පැන් බඳුනකට 108 වරක්‌ පිරිත් කර ඔසප් සිදුවූ පළමුවැනි දින පානය කිරීමෙන් දරුඵල අත්වෙන බවද පැවසේ. එම ගාථාව එලෙසම සපු මලට මතුරා ගවයන් සිටින ගාලට දැමීමෙන් ගවයන් බෝවෙන බවද සඳහන් වේ.

යම්කිසි සුබ කටයුත්තක්‌ කිරීමට පෙර රතන සූත්‍රයේ එන 3 වැනි ගාථාව වූ “යං කිංචි විත්තං ඉධවා හුරංවා..” යන ගාථාව 108 වරක්‌ පවසා බුදුන් වහන්සේට විළඳ පූජාකොට සංඝයා හටද කිරිබත් පුදා පැමිණ නැවත වරක්‌ එම ගාථාව 108 වරක්‌ පිරිත් කියා අදාළ කටයුත්ත ඇරැඹීමෙන් එහි දියුණුව අභිවෘද්ධිය සැලසෙන බව පැවසේ.

මනා ලෙස තඹ තහඩුවක ගර්භ 21 ක්‌ වන සේ ඇඳගත් රතන යන්ත්‍රය ඉහත කී පරිදි පහන් දල්වා පංචශීලයෙන් හෝ සත්‍ය ලෙස ජීවත් වෙමින් 108 වරක්‌ හෝ රතන සූත්‍රය නිවැරැදි උච්චාරණයෙන් පිරිත් කර පැළඳීමෙන් සියලු ග්‍රහ අපල දුරු වේ. පවතින රෝගාබාධවලට නිවැරැදි ඔසු හමු වේ. අගහිඟකම් දුරුවී දියුණුවට සෙත සැලසේ. අධ්‍යාපනය, බුද්ධිය, වර්ධනය වී විභාගාදියෙන් ජය ලැබෙන පරිදි ඥනය පහළ වේ. අමනුෂ්‍ය දෝෂ භංග වේ.

එසේ යන්ත්‍රය තනන්නා මෙන්ම පළඳින්නාද වඩාත් දැහැමි විය යුතුය. පස්‌ පවෙන් වැළකී සිත කය වචනය යහපත් කරගත යුතුය. යන්ත්‍රය කර පැළඳ පස්‌ පව්වල යෙදුණොත් එහි බලය නැති වේ. කිලි නොවදී. එකම කිල්ල පස්‌පව්වලින් එකක හෝ සිටීමය. එසේ සිටිය හැකි අයට රතන සූත්‍රය මහානුභාව සම්පන්නය.

We found this article from Divaina on 2014/03/09.