සැබවින්ම සිරිකත කැන්දන මාතාංගේශ්වරී යන්ත්‍රය

3403
මාතාංගේශ්වරී
මාතාංගේශ්වරී

[ratings]

යන්ත්‍ර හා මන්ත්‍ර වනාහි ගුප්ත විද්‍යාවේ ප්‍රධානම අංග දෙකයි. යන්ත්‍ර මන්ත්‍ර හා තන්ත්‍ර එක්‌වීමෙන් ගොඩනැඟුන මන්ත්‍ර ශාස්‌ත්‍රය විශ්මය දනවන ගුප්ත කරුණු වලින් පිරුණු එකකි. එහි ඇති ගුප්ත ස්‌වභාවය හා අවදානම් සහිත බව නිසා ඒවා භාවිතකිරීමට හා ක්‍රියාවට නැංවීමට බියක්‌ හා මැලිබවක්‌ දක්‌වති. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මන්ත්‍ර ශාස්‌ත්‍රය සීග්‍රයෙන් වර්තමානය වනවිට අභාවයට යමින් පවතී.

රන් පත්, තඹපත්, තල්පත් ආදියෙහි ඇඳගනු ලබන ගුප්ත ශාස්‌ත්‍රීය රූප සටහන් සමූහයක්‌ යන්ත්‍ර වශයෙන් හැඳින්වේ. ඒවා විවිධ හැඩයන් හා ස්‌වරූපයන් ගනු ලබන අතර රෝග සුව කිරීම, අමනුෂ්‍ය උවදුරු නැතිකිරීම, ආරක්‍ෂාව වශීකරණය හා දෙවි දේවතා සාධනය ආදී අරමුණු කිහිපයක්‌ සඳහා මෙම යන්ත්‍ර භාවිත කරනු ලැබේ.

යන්ත්‍ර හා මන්ත්‍ර පිළිබඳ බොහෝ කරුණු පැවැසීමට තිබේ. එය මෙම ලිපියේ අරමුණ නොවන අතර මෙහිදී අප විමසා බලන්නේ ශ්‍රී දේවිය හෙවත් ශ්‍රියාකාන්තාව කැඳවා ගැනීමට හැකියාව ඇති බලසම්පන්න යන්ත්‍ර හතරක්‌ පිළිබඳව පමණි.

මහා මාතා ගේශ්වරී, ශ්‍රී ලක්‍ෂමි, ශ්‍රියා කාන්තා යන නම් වලින් හඳුන්වන ශ්‍රී දේවිය මහා විෂ්ණු දිව්‍ය රාජයාගේ අග්‍රමහේෂිකාව වෙයි. මෝහනිය ලෙසටද මන්ත්‍ර ශාස්‌ත්‍රයේදී හැඳින්වෙන බවක්‌ පෙනේ. ලොව විරාජමාන වන අතිශය රූමත් සුන්දර කාන්තාව ඇය වන්නීය. යමකු ඇය දුටුවහොත් නිසැකයෙන්ම උමතු බවට පත්වේ. කාන්තාවන් ප්‍රියකරන කිසිදු පුරුෂයකුට සිහිය අවුල්කර නොගෙන ඇය දෙස බලා සිටය නොහැක. ඇය එතරම්මම සුන්දරය. පද්ම ප්‍රභාවය ඇත්තියකි. නිලුපුල්වන් දෙනෙත් සුන්දරවූ දෙතොල් හා ශෝභමානවූ කේශකලාපයක්‌ ඇත. පද්මයන් ගත් අත් ඇතිව පද්ම මාලා දරමින් පද්මයක්‌ මත හිඳගෙන සිටී. අතිශය සුන්දර දේහ විලාසයකින් යුතුව මනෝහර ප්‍රභාවයකින් බබලමින් ස්‌වර්ණාභාරණයෙන් විභූෂිතව සිටින්නීය. සියලු ධනයට සම්පතට ශ්‍රියාවට අධිපති වන්නීය.

අති ශෝභමාන වූ මේ ශ්‍රියාදේවිය යමකු කැඳවන්නේ කුමක්‌ සඳහාද? දීඝනිකායට අර්ථ කථා සපයන බුද්ධඝෝෂ හිමියෝ මෙයට පිළිතුරක්‌ සපයති. “එහි සිරි මයහං සිරෙ පතිටඨා හීති” “ඒවං සිරෙන සිරියං අවහායනං” එනු මැනවි ශ්‍රියා කාන්තාවුනි මගේ ශීෂියේ රඳනු මැනවැයි සිරිකත කැඳවනු ලැබේ. එසේ කරනුයේ ශ්‍රීය ලබාගැනීම සඳහාය. ශ්‍රීය දෙයාකාරවේ. රාජශ්‍රීය හා බ්‍රහ්ම ශ්‍රීයයි. රාජශ්‍රීය යනු ධනය බලය තනතුරු තානාන්තර ආදියයි. බ්‍රහ්මශ්‍රීය යනු නුවණ හා දැන උගත්කමයි.

ශ්‍රියා කාන්තාවට හෝම පූජා පවත්වා ගෙන්වාගෙන වරප්‍රසාද ලබාගැනීමේ ක්‍රම වේදයක්‌ වේදයේ දක්‌වා තිබේ. මන්ත්‍ර ජප කිරීමෙන් ශ්‍රියා කාන්තාව ගෙන්වා ප්‍රසාදය දිනාගන්නා ක්‍රම කිහිපයක්‌ මන්ත්‍ර ශාස්‌ත්‍රයේද සඳහන්වේ. ඒවා අතරින් වඩාත් ප්‍රශස්‌තවූ ක්‍රමය වන්නේ මහා මාතාංගේශ්වරී මහා ලක්‍ෂ්මී මහා මෝහන ශ්‍රියං කාන්තා වැනි යන්ත්‍රයක්‌ නියමිත පුදපූජා සහිතව නිසි පරිදි ජපකර පැළඳ ගැනීමයි. සියලු ලෝ වැසියන් වසඟකර ගැනීමටත් සියලු විපත් ආපදා ලෙඩදුක්‌ දුරුකර ගැනීමටත් සියලු ආරක්‍ෂාව ලබා ගැනීමටත් සියලු ධන සම්පත් ලබා ගැනීමටත් රාජ රාජ මහා මාත්‍යාදී තනතුරු දිගුකල් දැරීමටත් පැරණි ශාස්‌ත්‍රවන්තයින් විසින් ඉහළම තලයේ ගුප්ත විද්‍යා උපක්‍රමයක්‌ ලෙසට මෙම යන්ත්‍ර භාවිතකර ඇත.

මෙම යන්ත්‍ර හතරම ශ්‍රී ලක්‍ෂ්මී දේවිය හෙවත් ශ්‍රියා කාන්තා දේවියට අයත්වන බැවින් ඒවා රූපාකාරයෙන් හා ජප මන්ත්‍රවලින් යම් යම් වෙනස්‌කම් තිබුනද පුද පූජා සහ අනෙකුත් කරුණු වලින් එක හා සමාන වේ. ඒ නිසා වඩාත් සුප්‍රකට යන්ත්‍රය වන මහා මාතාංගේශ්වරී යන්ත්‍රයේ පුදපූජා රටාව විමසා බැලීමෙන් අනෙක්‌ යන්ත්‍ර පිළිබඳවද හොඳ අවබෝධයක්‌ ලැබිය හැක.

මහා මාතාංගේශ්වරී යන්ත්‍රය ධනය බලය හා නුවණ යන කරුණු තුනම එකවර ලබාගත හැකි මහේශාධ්‍ය යන්ත්‍රයකි. වර්තමානයේ මන්ත්‍ර ශාස්‌ත්‍රයේ මුදුන්මල්කඩ හොබවන යන්ත්‍ර කිහිපයෙන් එකකි. ඒ නිසා එය රන්පත්‍රයක ඇඳගෙන රන් සුරයක පැළඳීම සුදුසුම ක්‍රමයයි. රන් ආලේප කළ තඹ පතක ඇඳ රන් ආලේපිත තඹ සුරයක වුවද පැළඳීමෙන් ගුණ ලැබෙන අතර යන්ත්‍රයේ බලය දිගුකල් නොපවතී. අනෙකුත් යන්ත්‍රද මෙසේමය.

මහා මාතාංගේශ්වරී යන්ත්‍ර වර්ග 4 ක්‌ පමණ විවිධ මන්ත්‍රශාස්‌ත්‍රඥයින්ගේ ගුරුකුල සතුව පවතී. මේවා අතරින් මහසෙන් රජතූමා පවා පළඳින ලදැයි පැවසෙන මහා මාතාංගේශ්වරී යන්ත්‍රයක්‌ද තිබේ. ඡේතවන දාගැබට නිධන් කිරීමට ධාතු සොයා ගැනීමට එතුමාට ලොකු ගැටලුවක්‌ තිබුණි. මහා විහාර භික්‍ෂුන් මහරජු සමඟ අමනාපවීම නිසාය. රජතුමා නිධන් කිරීම සඳහා සර්වඥධාතු සොයා දෙනමෙන් මාතාංගේශ්වරී දේවියගෙන් ඉල්ලා සිටි බවත් එවිට දෙවියන් බුදුරදුන්ගේ පටී ධාතුව අහසින් ගෙනැවිත් රජුට පෙන්වා ඉන් කොටසක්‌ කපා ගන්නා ලෙසට පැවැසූ බවත් පැළඳ සිටි මාතාගේශ්වරී යන්ත්‍ර බලයෙන් අහසට නැගී ඉන් කොටසක්‌ කපාගෙන ඡේතවන චෛත්‍යයේ නිධන් කළ බවටත් ජනප්‍රවාදයේ පවතී. මේ කියන මහරජවරු පළඳින මාතාංගේශ්වරී යන්ත්‍රයට යන්ත්‍ර 4 ක්‌ ඇතුළත් වේ. ඔටුන්නට එක්‌ යන්ත්‍රයක්‌, ගෙලට එකක්‌ හා බාහු පළඳනා දෙකට දෙකක්‌ වශයෙනි. මේ හැර කර පළඳින මාතාංගේශ්වරී යන්ත්‍ර තුනක්‌ද පවතී. මෙවැනි විශේෂත්වයක්‌ පවතින්නේ මහා මාතාංගේශ්වරී යන්ත්‍රයට පමණි. ශ්‍රී ලක්‍ෂ්මි යන්ත්‍රය මහා මෝහන යන්ත්‍රය ශ්‍රියා කාන්තා යන්ත්‍රය විවිධ වෙනස්‌කම් සහිතව විවිධ ගුරුකුල විසින් භාවිත කෙරේ. මේ විවිධත්වය නිසා නිවැරදි යන්ත්‍රය හඳුනා ගැනීමේ ගැටලුවක්‌ද පවතී.

මන්ත්‍ර ශාස්‌ත්‍රයට අනුව යන්ත්‍ර ඇඳගැනීමේදී හා ජපකිරීමේදී අනුගමනය කළයුතු විශේෂ නීති රීති සමුදායක්‌ ඇත. ඒවා පැහැදිලි කිරීම මෙහි අරමුණ නොවේ. මෙහි සඳහන් සියලු යන්ත්‍ර ඇඳ ගැනීමේදීත් ජප කිරීමේදීත් නියමිත පිළිවෙත් ඉතා නිවැරදිව අනුගමනය කළ යුතුය. නැත්නම් යන්ත්‍රයේ බල පිහිටන්නේ නැත.

නැකැත්වලට අනුව ශ්‍රී ලක්‍ෂමි හෝ ශ්‍රියාකාන්තායෝග උදාවන සුභ මුහුර්තයක උතුරට මුහුනදී යන්ත්‍ර ජපය ඇරඹිය යුතු අතර සුදුසු සුභ මොහොතක සුභ දිශාභිමුඛව යන්ත්‍රය ඇඳගත යුතුය. ඇදගත් පසු මහා මාතාංගේශ්වරී දේවිය සිහිකර යන්ත්‍ර පතට සුවඳ දුම් දී කස්‌තුරි කපුරු ගෝරෝචන කුංකුමුප්පු දුම්මල තෙලින් අබරා කළුවැදගත යුතුය.

යන්ත්‍ර ජපය සඳහා දේවාලයක්‌ තුළ හෝ බෝ, නුග, නා, ගසක්‌ මුල විශේෂයෙන් තැනූ මඩුවක හෝ කාමරයක පිරිසිදුව සඳුන් කිරිපැන් ඉස ජප අසුන පිළියෙල කරගත යුතුය.

සිව්කොන සීමාකර උඩුවියන් වටතිර ඇද පුන්කලස්‌ තබා ඒවාට නියමිත ජූජා ද්‍රව්‍ය තැබිය යුතුය. ආරම්භයේ සිට අවසානය දක්‌වා මේවා නැවුම්ව පිරිසිදුව ආලෝකමත්ව තබාගත යුතුය. පුවක්‌මල්, තැඹිලි මල්, වනමල් වලින් සරසාගත යුතුය. මනාසේ සැරසූ තැඹිලි ගෙඩියක්‌ මත සුවඳ හා වර්ණවත් මල්වලින් සරසා යන්ත්‍රය ඒ මත තැබිය යුතුය. කිරිබත් කැවිලි පළතුරු සුවඳ වර්ග අගිල් ගුගුල් ගිතෙල් මීපැනි එළකිරි සකුරු ආදී පූජා ද්‍රව්‍ය තැබිය යුතු අතර ජපාරම්භයට පෙර යන්ත්‍රාධිපති දිව්‍යාංගනාවට අංග සම්පූර්ණ පූජාවක්‌ තබා කවඩ ස්‌තෝත්‍ර කන්නලව් නමස්‌කාර කර ආරාධනා කළ යුතුය. ඇදුරා සහ ආවතේව කරුවන් දිනපතා තුන්වරක්‌ ස්‌නානයකර පිරිසිදු වී එළවලු පමණක්‌ ආහාරයට ගෙන සියලු ස්‌ත්‍රී සේවනයෙන් වැලකී සඳුන් ඇඟගා ශුදාෂ්ට මාලා පැළඳ ජටා බැඳ බමුනකු සේ සැරසිය යුතුය. ජප අවසානය තෙක්‌ කිලිවලින් ආරක්‍ෂා විය යුතුය. ස්‌ත්‍රීන්ට ජප භූමිය අසලට ඒම පවා තහනම් වේ. ඔවුන් උයන ආහාර නොගත යුතුය. අල 5 බඩ 5 මීපැනි ගොටු හඳුන් ගොටු හඳුන් ගොටු කහ ගොටු විළඳ ගොටු ආදියද පිදිය යුතුය. ඵලවරා පල්මානික්‌කන් විෂ්ණු ක්‍රාන්ති කස්‌තුරි ගෝරෝචන බෙලිමුල් කොකුම්පොතු සුදුහඳුන් පිනිදිය සමඟ අඹරා අඳුන් සාදා යන්ත්‍රයට පිදිය යුතුය.

යන්ත්‍ර ජපය සඳහා තැනූ මඩුවේ හරිමැද ජප අසුන තිබිය යුතු අතර උඩුවියන් වටතිර ඇද මලලොඩු එල්වා දොරටුවේ කැන් සහිත රඹගස්‌ යුවළක්‌ ඉඳුවාගත යුතුය. ඇතුළත යන්ත්‍ර භූමිය වටා පහන් වැටෙන් අලෝකමත්කර සිව් දොරටුවල ධාන්‍ය ඵල දලු ජලය ඊතණ යන මේවා නිසිපරිදි කලස්‌වලට දමා සිව් දොරටුවල තැන්පත් කළ යුතුය.

එම කලස්‌වල ඕං ඪෙං හ්‍රSං ක්‌ලිං ශ්‍රීං අක්‍ෂර පිහිටවිය යුතුය. සිව්කොණ සිව්වරම් දෙවියන් උදෙසා මල් යහන් හතරක්‌ යොදා ඒවායේ මල් පහන් සුවඳ බුලත් පඬුරු කැවිලි පලතුරු ආදිය පූජා කළ යුතුය. යනත්‍රාසනයේ සියලු පුද තබා සවරි පනා කැඩපත් නානු ආදියද තබා යන්ත්‍ර භූමියේ ලදපස්‌ මල් ඉස බහිරව බන්ධන භූත සිද්ධි කිරීමෙන් පසු යන්ත්‍රය තැන්පත් කළ යුතුය. ආසනයේ බෙලිකොල අතුරා නෙලුම්, මහනෙල් හා සමන්පිච්චි මල්වලින් සරසාගත යුතුය. සුවඳ හා වර්ණවත් මල් පුරවා ගත යුතුය. දිනපතා නරක්‌වන මල් හා පූජා ද්‍රව්‍ය අලුත්කළ යුතුය. ජපාරම්භයේ හා අවසානයේ සක්‌ පිඹීම කළ යුතුය.

ජපාරම්භයට පෙර සිව්වරම් දෙවියන්ට හා අනෙකුත් මහා දෙවියන්ට දේව සමාගමට පූජා පවත්වා කවඩ මන්ත්‍ර ස්‌තෝත්‍ර ගායනා කර නමස්‌කාර කර ශ්‍රියා දේවියගේ පූජා ඇරඹිය යුතුය. යන්ත්‍ර ජපය ඇරඹෙන්නේ ඉන් පසුවයි. එහිදී යන්ත්‍රයට නියමිත දිෂ්ටි ප්‍රාණ පලිප්පු සිද්ධි ප්‍රඨ මන්ත්‍ර ජප කළ යුතුය. මහා මාතාංගේශ්වරී ශත නාම මන්ත්‍රය මාතාංග නමස්‌කාරය ශ්‍රී ලක්‍ෂ්මි ස්‌තෝත්‍ර ගත නාම සහශ්‍රනාම ස්‌තෝත්‍ර ගායනා කර නමස්‌කාර කළ යුතුය. එවැනි නමස්‌කාර මන්ත්‍රයක්‌ මෙසේය.

ඕං ශෞං ච්ං ප්‍රතානාම ඊශාන්‍යංය ශ්‍රී මාතාංගේශ්වරී

දේවී නමඃ ශා ඕං ශ්‍රීං ශ්‍රීං ශ්‍රී ඩෙරාවත ඉන්ද්‍රdය ශ්‍රී මාතාගේ

ශවරී දේවී නමඃ තා ඕං ෙච්ං ශ්‍රීං ශ්‍රීං ශ්‍රී පුණඩරීක

අශ්නියේ ශ්‍රී මාතාංගේශ්වර දේවී නමඃ තා

මෙවැනි විවිධ නමස්‌කාර දැහැන් වලින් ශ්‍රී දේවියට නමස්‌කාර කරමින් විශේෂිත සුවඳදුම් ඇල්විය යුතුය.

මාතාංගේශ්වරී යන්ත්‍රය ජපකිරීමට භාවිත කරන විවිධ ස්‌වරූපය ගත් මන්ත්‍ර රාශියක්‌ තිබේ. එම මන්ත්‍ර කියවන විටම යන්ත්‍රයේ බලය හා ශක්‌තිය කුමන විදියේ මේ එවැනි මන්ත්‍රයකි.

ඕං ශ්‍රී මාතාංගේශ්වරීයේ නමඃ ඕං හ්‍රSං හ්‍රSං ක්‌ලිං සෞං ඕං නමෝ භගවතී ශ්‍රී මාතා ගේශ්වරී සර්වජන මනෝහරී සර්ව මුඛ රංජනී බාලීං හ්‍රSං ශ්‍රීං සර්වරාජ වසංකරී සර්ව ස්‌ත්‍රී පුරුෂ වසංකරී සර්ව දුෂට මෘග වසංකරී සර්ව සත්ව වසංකරී සර්ව ලෝක වසං කරී අමුකම්මේ වසමානාය මායං රාජම්මේ වස මානාය සෞං සෞං හ්‍රSං හ්‍රSං ක්‌ලීං එං ඓං හ්‍රSං ශ්‍රීං ඕං ශවාහඃ තාd. මෙවැනි වූ ඉතා දිග මන්ත්‍රයක්‌ මෙම යන්ත්‍රය ජප කිරීමට භිවිත කරනු ලැබේ. එහි අග මන්ත්‍ර කොටස්‌ වලින් සෘජුවම මාතාංගේශ්වරී දේවයට මනත්‍රාසනයට වඩින ලෙසට කැඳවීමක්‌ කරනු ලැබේ. මේ එවැනි මන්ත්‍ර කොටසකි.

ඕං අෂ්ටකාලී අෂ්ටරූපී වෛශ්‍යාංකාලී ගණපති ශ්‍රීයාදේව භාද්‍ර සූර්ය කාලී භන්ද්‍ර චන්ද්‍රපතී රාජ වෛශ්‍යා කාලී භාන්ද්‍ර සර්වදේJ කාලී භාන්ද්‍ර ශ්‍රියාකාලී හාන්ද්‍ර පුරකළුමාකාලී භාන්ද්‍ර රාජ යෞවන කාලී භාන්ද්‍ර සිද්ධපනී සිද්ධ විධ්‍යාචරණකාලී වෛශ්‍යාදේවී දිෂටිලා මා සිතූ දේ සිද්ධකරවා සිද්ධපතී ශ්‍රියාදේවී මා මුඛ සරස්‌වතී දිෂටිලා මා කීවා අසා මො දෙස බලං දිෂටි දිෂටි සිද්ධකාරී ජයරාම තේජකාරී මිත්‍ර ජය ජය දිෂ්ටි මා වෙත බන්ද බන්ද එං එං සර්ව දේව දිෂටියෙන් මා වෙත දිෂටිලං ශ්‍රී දේවි වෛශ්‍යා කුමාරී බන්ද බන්ද ඒ ස්‌වාහඃ ù

මේ දක්‌වා ඇති මන්ත්‍ර මහා මාතාංගේශ්වරී යන්ත්‍රයට අදාළ ඒවාය. මෙහි සඳහන් අනෙකුත් යන්ත්‍ර සඳහා විශේෂිත වෙනත් මන්ත්‍ර සමූහයක්‌ ඇත. මේ මන්ත්‍රවලින් යන්ත්‍රය බල ගැන්වීම සඳහා දහස්‌වර දස දහස්‌වර ලක්‍ෂවර ආදී වශයෙන් ජප කළ යුතුය. දහස්‌වර ජප කිරීමෙන් සාමාන්‍ය බලයක්‌ද දස දහස්‌වර ජන කිරීමෙන් විශේෂ බලයක්‌ද ලක්‍ෂවාරය ජපකරන විට ශ්‍රී දේවියගේ ආගමනයද සිදුවන බැවින් මහා මාතා ගේශ්වරී මන්ත්‍ර ජපය සම්පූර්ණවී ඇති විශිෂ්ට බලයක්‌ එම යන්ත්‍රය දරන්නාට ලැබේ.

මෙය ඉතා අමාරු භාරදූර කාර්යයකි. කිසියම් හෝ අතපසුවීමක්‌ වරදක්‌ ප්‍රමාදයක්‌ විසිදහස්‌වර ඉක්‌මවූ පසු සිදුවුවහොත් මන්ත්‍ර ජප කරන්නා පිස්‌සු වැටේ. සදාකාලික රෝගීවේ. නැත්නම් හදිසියේ මරු මුවට පත්වේ, එය ඒ නිසා භයානක ප්‍රතිඵල සහිත වූවකි. යන්ත්‍රය ලක්‍ෂවාරය ජපවීමට ආසන්න වනවිට යන්ත්‍ර භූමිය වටා දැවැන්ත බල ශක්‌තියක්‌ උපදී. එසේ වීමට ඇදුරා ශීලවන්තවූ බ්‍රහ්මචර්යාව රකින හිත ධ්‍යානගතකරගත් අයකු විය යුතුය. දැහැනකට සමවැදී මේ මන්ත්‍ර අඛණ්‌ඩව ගායනා කරනවිට ශ්‍රී දේවිය ගේ විමන කරකැවී ඇයට ඇදුරා වෙතට ඒමට සිදුවේ. එය වලක්‌වා ගැනීමට ඇයගෙන් අත ලැබූ යක්‍ෂනියන් ජප භූමියට පැමිණ විවිධ බාධා හොල්මන් මිහිසුනු දේ ඇති කරයි. මන්ත්‍ර බලය හා ප්‍රතිපත්ති බලය යොදා එයද වලක්‌වාගෙන ජපය ඉදිරියට යනවිට කිලි අසුවීමක්‌ උනොත් කළු දෙබරු කළුනයි මතුවී ජපය විනාශකර ඇදුරන් හා ආවතේවකරුවන් පන්නා හරී. ඔවුන් විනාශවේ. එසේ නොවී ජපය කළහොත් ජප ආසනයේ ඇති කැඩපතට පෙනෙන සේ බිහිසුනු යකිනියක්‌ පැමිණේ. ඇයට බිය නොවී නියමිත පුද දී මන්ත්‍ර ජප කළවිට ඇය පලායයි. ඉන්පසු යකින්නියන් දෙදෙනකු හා තුන්දෙනෙකු පැමිණේ. ඔවුන් විවිධ වේශයෙන් පැමිණිය හැක. නපුරු පෙනුමෙන් හා සුන්දර නාරි රූපයෙන්ද පැමිණිය හැක. එයටද ඉහත ප්‍රතිකර්මයම කළ යුතුය.

අවසන රන්තෝඩු පැළඳ ස්‌වර්ණාභරණයෙන් විභූෂිත වූ ශ්‍රී දේවිය මුළු ලොවම වශීකරන අතිශය සුන්දර දේහ විලාසයෙන් විරාජමාන වෙමින් ඇදුරාට පිටු පසින් මල් යහන වෙතට පැමිණේ. එම දේහ විලාසය කැඩපතින් දකින අයකුට මුළු ලොවම අමතක විය හැක. එසේ අමතකවී පිටුපසට හැරුන හොත් එම සැනෙන් ඇදුරා උමතුවේ. ඒ නිසා ඉතා සන්සුන්ව ශ්‍රී දේවියට ඉමහත් හරසරින් නමස්‌කාර කර ලොව ජයගැනීමට ඇයගේ වරම ඉල්ලා සිටිය යුතුය. එවිට ඇයගේ රන්වන් වළලුවලින් පිරුණ නොලුම් පෙතිවල පැහැගත් සුරත ඇදුරාගේ කරට උඩින් මල් යහනට දිගුකර එහි ඇති යන්ත්‍ර පත සුරතට ගනී. එය තමාට දෙනමෙන් ඇදුරා ඇයෑද සිටිය යුතුය. එසේ ලැබෙන යන්ත්‍රය රාජශ්‍රීය බ්‍රහ්ම ශ්‍රීය එකවර ලබාදෙන මහා මාතාංගේශ්වරී යන්ත්‍රයයි. අනෙකුත් යන්ත්‍ර තුනම මේ ආකාරයටම ජප කරගත යුතුය.

මෙසේ ජපකරගත් මෙවැනි යන්ත්‍රයක්‌ පැළඳ ගත් අයකුට සෑම තැනකදීම සියලු ප්‍රභූවරුන්ගේ රජවරුන්ගේ ප්‍රසාදය කරුණාව හිමිවේ, උපකාර ලැබේ. සභාවේදී විවාදයේදී නඩුවේදී සටනේදී ජය ලැබේ. වචනයට සියල්ලෝ හිස නමති. දෙවියන් ගෙන් සෙත ලැබේ. සියලු ව්‍යාපාර තනතුරු රැකියා දියුණුවේ. යක්‍ෂ ප්‍රේත පිශාච උවදුරු ග්‍රහ අපල මාරක බාධක දුරුවී ආරක්‍ෂාව ලැබේ. මුළු ලොවම වසඟවේ. අනන්තවූ ගුණ ලැබේ. සිතූ දෙයක්‌ කළ හැක. එහෙත් යහපත් ලෙස කල්ගත නොකළ හොත් මෙම බලය වහා නැතිවේ.

නිසි පරිදි බලගැන්වූ මෙවැනි යන්ත්‍ර දැනට භාවිතයේ ඇති බවක්‌ අපට පෙනී යන්නේ නැත. මෙයට දශක කිහිපයකට ඉහතදී දකුණේ මාතර වැනි මන්ත්‍ර ශාස්‌ත්‍රයට නම සුපතල පෙදෙස්‌වල විසූ දක්‍ෂ යකැදුරුවරුන් මාතාංගේශ්වරී යන්ත්‍රය ජපකිරීමට ගොස්‌ මුහුන දුන් ගුප්ත ජනක සිදුවීම් පිළිබඳ විවිධ කථා කුඩා වියේ අප අසා ඇත. ඒ අනුව ඔවුන් අතර තිබූ පිළිගත් මතයක්‌ වූයේ මෙම යන්ත්‍රය ජපකළ යුත්තේ අවම වශයෙන් වයස 60 පසුවූ වයෝවෘද්ධ යකැදුරන් විසින් බවයි. නැත්නම් ඔවුන්හට මෝහිනිය පෙර ගොදුරක්‌ වී විනාශයට පත්වීමට සිදුවන බැවිනි. මෙම යන්ත්‍ර ජප කිරීමට යන ආධුනිකයින් ඒ බවද සිහිතබාගත යුතුය.

We found this article from Divaina on 2011/12/02.
Also Sinhala to English Google word to word translation can be found here