මොකක්‌ද මේ ශාන්ති කර්ම බලි තොවිල්

2015
ශාන්ති කර්ම
ශාන්ති

ඉතා අතීතයේ සිටම සිංහල සමාජයේ විසුවන් තමන්ට ඇතිවන විවිධ කරදර ලෙඩරෝග, හා ස්‌වභාව ධර්මයාගෙන් සිදුවන හානි, උපද්‍රව දුරු කර ගැනීම සඳහා නොයෙකුත් අන්දමේ පුද පූජා ශාන්ති කර්ම සිදුකරගනී. මේවාට බලි, තොවිල්, යාග හෝමද ඇතුළත්ය.

ඇතැම් පැරැන්නෝ ලෙඩක්‌, ආබාධයක්‌ වැළඳුන විට ඒ ගැන නිශ්චිත ලෙස සොයා ගැනීමට, යකැදුරන් ශාන්තිකර්මවල යෙදී සිටින්නන්, ජොතිෂ්‍යවේදීන් හමුවීම සාමාන්‍ය සිරිතකි. මෙහිදී අදාළ විද්වතා තුන්දොස්‌ කිපීමෙන්, ග්‍රහ අපලවලින් සිදුවන අතුරු ආන්තරා ගැන කියයි. තුන්දොස්‌ කිපීමෙන් ලෙඩරෝග 18 ක්‌ පමණ “සන්නි ආබාධ” ලෙස ඔවුහු හඳුන්වති.

භූත සන්නිය, අභූත සන්නිය, වෙඩි, වාත, සන්නිය, පිත් සන්නිය, කෝල සන්නිය, ජල සන්නිය යනාදී වශයෙන් ඒවා හැඳින්වෙයි. තුන් දොස්‌ කිපීමෙන් (වාතය-පිත-සෙම) නිසා ඇතිවන රෝග දහඅට සන්නි යාගයෙන් සංකේතවත් කරයි. යක්‌ ඇදුරන් විවිධ රංගන විලාසිතා මගින් චරිත අවස්‌ථා 18 ක්‌ නිරූපණය කිරීම මෙහිදී විශේෂයි. හැම සන්නි නැටුමකටම වෙස්‌ මුහුණු පැළැඳීම සිදුකෙරේ. රංගනවලදී හාස්‍යය, ත්‍රාසය, භීතිය, ඇති කිරීමෙන් ආතුරයාගේ මනෝ විකෘති භාවය සුවපත් කිරීමට දොළොස්‌ පාලිය රංගනය කරනු ලබයි. මෙහිදී පාලිය, හත්පාලිය, දොළොස්‌පාලිය ආදී නැටුම්ද නිර්මාණය වෙයි.

ශාන්ති කර්ම

බෙර වාදනය

සන්නි යකා ශාන්ති කර්ම ස්‌ථානයට කැඳවීමට කවි ගායනා කරන අතර නාදයට රිද්මයට දවුල් බෙර, උඩැක්‌කි භාවිතයද සිදුකෙරේ. දවුල් බෙර වාදනය විශේෂයි. දොළොස්‌පාලි යාගයේදී ඇඳුම් කට්‌ටල 12 ක්‌ භාවිත කෙරේ. දකුණු පළාතේ බෙන්තර සහ මාතර ප්‍රදේශවල 12 පාලියද බස්‌නාහිර පළාතේ කළුතර, හොරණ ප්‍රදේශවල ගන්පාලියද රඟදක්‌වනු ලබයි. මෙහිදී ආතුරයා සුදු රෙද්දකින් පොරවා සිටී.

සන්නි යකුම නටන අවස්‌ථාවේදී මල්මඩුවක්‌ ඉදිකරයි. මෙය සංඛපාල දිට්‌ඨිය ලෙස හැඳින්වෙයි. තොරණ 18 කින් මෙය යුක්‌ත වන අතර ඉන් 04 ක්‌ දේවතා තොරන්ය. එය මල්මඩුවේ සිව් කොනේ හිටවයි.

දෙවියන් කෝප වීමෙන් සිදුවන උපද්‍රව හානි උදෙසාද ඉන් බේරීමට කරනු ලබන ශාන්ති කර්ම ද වෙයි. ගම්මඩු, දෙවොල් මඩු, ගිනිමඩු, පුණාමඩු, තුන්දා ගිරිමඩු යනුවෙන් ඒ හැඳින්වෙයි.

නවග්‍රහ ශාන්ති කර්ම

නවග්‍රහයන්ගෙන් සිදුවන අපල දුරුකර ගැනීමටද ශාන්ති කර්ම බලි යාග කරනු ලබයි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, රාහු, කේතු යන නවග්‍රහයන් වෙනුවෙන් බලි රූප අඹා මෙම යාගය සිදුකෙරේ. බලිරූප ඇඳීමට හුඹස්‌මැටි ගනී. නව ග්‍රහ රූප මැටිවලින් ඇඳ, රූප වර්ග වෙන් කිරීමට සායම් වර්ග යොදා ගනු ලබයි.

යාග හෝම පැවැත්වීම වැඩි වශයෙන් සිදුවන්නේ කෙම්මුර දිනවලයි. බදාදා – සෙනසුරාදා විශේෂයි. ශාන්ති කර්ම පිළිබඳ ඉතිහාසය මිනිස්‌ සමාජයේ උපතේ සිටම පැවැත එන්නක්‌ වෙයි. බුද්ධ කාලයේ පවා විවිධ ආගම් ඇදහිලිවලදී ගස්‌ ගල් පර්වත පවා ඇදහීමේ ක්‍රමවේද පැවැතුනි. කඩවර, කොහොඹ, ගම්බාර, සූනියන්, සත් පත්තිනි දෙවිවරුන් උදෙසා ශාන්ති කර්ම පුද පූජා පැවැත්වීම අදටත් පැරණි අය අමතක කර නැත. බලියාග – ශාන්ති කර්ම වලදී, තැඹිලි නවසි, බෝදිලි, දොතළු ආදී ගෙඩි වර්ගද, සිරැස්‌ස වැල්ද, පොල් පුවක්‌, රත්මල් වැනි මල්ද සැරසිලිවලට සාදා ගනු ලැබේ. මීට අමතරව කෙසෙල් කොළ, කෙසෙල් පතුරු, කැවිලි වර්ග, කෙසෙල් ආදී දේද යොදා ගැනේ.

We found this article from Divaina on 2014/02/09.