වහලේ ඉදිකිරීම් වලට ද විශේෂ ශිල්පීය දක්‌ෂතාවක්‌ අවශ්‍යයි

2909
වහලේ
වහලේ

[ratings]

බිත්ති සතරක්‌ ඉහළින් පියස්‌සක්‌ තැනවීම මගින් අව් වැසි සුළංවලින් ගොඩනැඟිල්ල ආරක්‌ෂා වේ. එම ගොඩනැඟිල්ල නිවසක්‌ බවට පරිවර්තනය වූ කල්හි එහි නිවැසියන් ගේ පැවැත්ම ගැන පුළුල් අන්දමින් කල්පනා කළ යුතුය. පියස්‌ස නොහොත් වහළ මගින් ඉටුකරන මෙහෙය තුළ මේ පැවැත්ම සහතික වෙයි. ලංකාව ඝර්ම කලාපීය රටක්‌ බැවින් වහළ පිහිටා තිබෙන අවකාශය ඉතා වැදගත්ය. ගෙට ලැබෙන වාතාශ්‍රය මෙන්ම උණුසුම් වාත දහරාවන්ද පරිසරය හා නැවත මුසු වන්නේ පියස්‌ස අතරින්ය. ගෙයි අත්තිවාරම් මට්‌ටමේ සිට වහළට තිබෙන උස මෙයට බලපායි. උසින් අඩු නිවෙස්‌වල උණුසුම නිරන්තරයෙන්ම රඳා පැවතීම නිසා නිවැසියන්ට සෞඛ්‍ය අවදානමකට මුහුණ දීමට සිදු වේ.

වාස්‌තු විද්‍යානුකූලව වහළ ගැසීම හා එහි නිර්මාණ ශිල්පය අතර වෙනස්‌කමක්‌ තිබුණද මේ කටයුතු දෙකේම සාම්‍යයක්‌ ඇතොත් පමණක්‌ පියස්‌සකින් බලාපොරොත්තු වන ආශිර්වාදය ලැබේ. නවීන ගෘහ නිර්මාණ ශිල්පීන් වහළ සහ එහි අලංකාරය ගැන බෙහෙවින්ම උනන්දු වෙති. යට සඳහන් කළ අවකාශය ගැන ඔවුන් තුළ නිවැරදි අවබෝධයක්‌ තිබුණද එම අවකාශය තුළ වහලේ ඇති කරන පිරිද්දුම් මගින් මෙන්ම එලන යටලීවලින් වන අවැඩ ගැන තේරුමක්‌ ඇතැයි සිතිය නොහැකිය.

පැරණි සිංහල ගොඩනැඟිලි විමර්ශනය කර බල විට පෙනෙන ලක්‌ෂණයන් කාලයත් සමගම වෙනස්‌ වී ඇතැයි පෙනේ. එයට හේතුව නොයෙකුත් යුගයන්හිදී ලැබෙන විදේශීය ආභාෂයන් නිසා ඒවා පරිවර්තනයකට ලක්‌ වීමයිs. පැරණි ගැමි නිවෙස්‌ හැම විටම පිදුරු, ඉලුක්‌, මානා හෝ පොල් අතු සෙවිල්ලකින් යුක්‌ත විය. වැස්‌සට හා හුළඟට ඔරොත්තු දෙන පරිදි ඒවා සතර පළයකින් නොහොත් හුලූ පළයකින් යුක්‌ත විය. එයට යාලත්තක්‌ බා ගත් විටදී එය තනි පළයක හෝ තාර පළයක්‌ විය. මැද මිදුල් සහිත විහාර ආවාසයක හෝ වලව්වකදී නම් සතර නඩේ පෑහූ පළ කීපයක්‌ දක්‌නට හැකිවිය. මූලපරාල කුරුපා හා යටලී වලින් පමණක්‌ සතර පළය සමන්විත වන විට පසු කාලයකදී එකතු වූ අට්‌ටවාළ ක්‍රමයට මූලප්පරාල කුරුපා යටලී බල්කමෙන්ම ලී කූඩුවක්‌ ද ඇතුළත් විය.

වහලේ ඉදිකිරීම් වලට ද වෙසෙසි ශිල්පීය දක්‌ෂතාවක්‌ අවශ්‍ය වෙයි. මේ වඩු ශිල්පීන් උදෙසා අතීතයේ “සාරධර්ම පද්ධතියක්‌ විය. ඊට හේතුව එය නිවැරදිව නොකළ විට ගෙයි හිමියාට මෙන්ම වඩුවාට ද විනාශය අත්වීමයි. සිංහලමය මතයේ එය සඳහන්ව ඇත්තේ මෙසේය.

නිසි ලෙස වඩු කන්නොම දැන -වැරදිව කරමින් මිල ගෙන

කති තම අඹු දරු සමගින් -ගෙයෑති අයට අවැඩ යෙදෙන

ඒ වඩුතෙම මිය ගොසිනා – නරකෙ වැටී දුක්‌ විඳිනා මෙ වදන මය මතෙ තිබුනා – වඩුවෙනි කොහොමද ඉතිනා

සිංහල සංස්‌කෘතිය තුළ වඩු ශිල්පීන්ට අත් වූයේ වෙසෙසි තැනකි. ඔවුන්ගේ ශිල්පීය අත්දැකීම් විශ්ව කර්ම හා මය පරම්පරාවලින් පැවැතෙන බවට විශ්වාසයක්‌ ද විය. ඒ නිසා එම ශිල්පීය ශ්‍රේණිය සතුව විශාල පාරම්පරික අත්දැකීම් සම්භාරයක්‌ද තිබුණා. මේ දැනුම ඔවුන්ගේ පරම්පරාවන් සතු පුස්‌කොල ලේඛන වල දක්‌නට හැකිය.

ලංකාව යුරෝපීයන්ට යටත් වීමෙන් පසුව මුහුදු බඩ පළාත්වල ලන්දේසි ආභාෂයෙන් වෙසෙසි ශිල්පීය පරම්පරාවක්‌ වර්ධනය විය. ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂතා සියල්ල උකහා ගැනීමට මේ ශිල්පීන් දක්‌ෂ වී යෑයි සිතමි. නමුත් ඒවා මෙරටට ආදේශ කරන ලද්දේ ලංකාවට ගැලපෙන ආකාරයටයි. පෘතුගීසි යුගයේ දී හඳුන්වාදෙන ලද රවුම් හැඩයේ උළු භාවිතය මෙහිදී දැක්‌විය හැකිය. එයට ගැලපෙන පළයන් හැඩයන් මෙන්ම පරාල පිරිද්දුම් ගැනද සඳහන් කළ යුතුය. මේ සඳහා උළු වඩුවන් කොට්‌ඨාසයක්‌ද බිහිවිය. ඔවුන්ගේ කාර්යය වූයේ උළු නිෂ්පාදනය කිරීම උළු මාරු කිරීම හා කුමේර දැමීමයි. මේ උළු කල් යැමේදී සිංහල උළු ලෙසින් හඳුන්වනට වූයේ ඉන්දියාවේ බැන්ගර්ලෝ ප්‍රදේශයෙන් උළු මෙරටට පැමිණීමෙන් පසුව විය හැකිය. ඒවා රට උළු බවට පත් විය. ඉංග්‍රිසීන්ගේ ආධිපත්‍ය පැතිරීමෙන් පසුව ඇති වූ ගෘහ නිර්මාණ ශිල්පයද එයට අනන්‍ය වූ හැඩයක්‌ ගත්තේය . ලන්දේසින් ගේ ගුරු උපදේශ අනුව හැඩ ගැසුණු වඩු පරම්පරාව මෙයට අනුගත වීමට වැඩි කාලයක්‌ ගත නොවීය. ලන්දේසි වචන ඉංග්‍රීසි වචන රාශීයක්‌ වත්මන් සිංහල භාෂාවට එකතු වී ඇත්තේ මේ ආභාෂයන් නිසාය. මේ ආගන්තුක ශිල්පීය භාවිතය නිසා අපේ රටේ ශිල්පීය නිපුණතාව වර්ධනය වූ අතර එයින් අවැඩක්‌ ද ඇති නොවීය. ඊට හේතුව පැරණි වඩු ශිල්ප පරම්පරාවන් තමන්ගේ පැරණි සාරධර්මයන් නොකෙලසා පවත්වාගෙන යැම යයි සිතමි. වාස්‌තු විද්‍යානුකූල නිවසකට අවශ්‍ය පියස්‌ස නොහොත් වහළ කෙලෙසක විය යුතු දැයි විමර්ශනය කළ යුත්තේ මේ පසුබිම කෙරුම් ගෙන කටයුතු කිරීමෙන් යෑයි සිතමි. ඉදිරි ලිපිවලදී එය සාකච්ඡාවට ලක්‌ කළ හැකිය.

We found this article from Divaina on 2012/06/22.
Also Sinhala to English Google word to word translation can be found here