විහාර ආවාස ගොඩනැගීමේ වාස්‌තු විද්‍යාව

2556
විහාර
විහාර

[ratings]

සම්බුද්ධ පරිනිර්වාණයේ වසර 2550 ක්‌ ගතවී ඇති නමුදු අදත් පුරාණ සිද්ධස්‌ථාන වන අනුරාධපුර රුවන්වැලි සෑය, ශ්‍රී දළදා මාළිගය වැනි පූජනීය ස්‌ථාන කරා පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක්‌ නොමැත.

එවැනි වූ පුරාණ හෙළයන් විසින් නිර්මාණය කෙරුණු විහාර චෛත්‍ය පිහිටි සිද්ධස්‌ථාන මේ දක්‌වා ජනතා සිත්සතන් සැනසීමට හේතු වී ඇති නමුදු මෙකල අලුතින් ඉදි කෙරෙන බොහෝ පන්සල් හා විහාරස්‌ථානවල දක්‌නට ලැබෙන්නේ මෙහි අනෙක්‌ පැත්තය. සැදැහැවතුන් නොපැමිණීම හැර දායකයින් අතර අසමගියද, ප්‍රධාන ස්‌වාමීන් වහන්සේ හා ශිෂ්‍යයින් අතර මතභේදද දිනෙන් දින පිරිහීමද දක්‌නට ලැබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදූරදර්ශි ලෙස හා අක්‍රමවත් ලෙස නිර්මාණය කෙරෙන විහාර චෛත්‍ය හා ආවාස බව පෙනේ. එබැවින් බහුතර බෞද්ධ ජනතාවගේ හා ගරුතර ස්‌වාමීන්වහන්සේලාගේ විශේෂ අවධානය යොමු වීම පිණිස විහාරස්‌ථාන නිර්මාණය පිළිබඳව කරුණු කිහිපයක්‌ සාකච්ඡා කිරීමට මෙම ලිපිය යොදා ගනිමු.

විහාරස්‌ථාන වල යම් ඉදි කිරීමක්‌ කිරීමට පෙර අදාළ සෑම දෙනා විසින්ම අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කරුණක්‌ තිබේ. එනම් විහාර, පන්සල්, චෛත්‍යය, පිළිම, ත්‍රපිටක ධර්මය පමණක්‌ නොව භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක්‌ පිරිසද ඇති වීමට ප්‍රධාන හේතුව වූයේ බුqදුරජාණන් වහන්සේ නම් අසමසම පුද්ගලයකු මේ ලෝකයට බිහිවීම බවයි. මේ සියල්ලේ ප්‍රධානියා උන්වහන්සේය. අන් සියල්ල උන්වහන්සේට වඩා පහත්ය. මේ කරුණ සිහියේ තබාගෙන පන්සල් භූමියේ ඇති හොඳම තැන උසම තැන ලස්‌සනම තැන බුදුරජාණන් වහන්සේගේ විහාරය හා චෛත්‍යය නිර්මාණයට වෙන් කළ යුතුය.

මේ සඳහා ඉතා සුදුසු වන්නේ ඉඩමේ බ්‍රහ්ම පාදය හා දේව පාදයට අසුවන නැගෙනහිර දිශාවය. එසේ සාදන තැන අඩි හතරක්‌ පමණ පස්‌ පුරවන ලෙස හෙවත් සම බිමට වඩා උඩින් පිහිටන ලෙස නිර්මාණය කළ යුතුය.

මේ ඉතා හොඳම උසම ස්‌aථානයේ ආවාස ගෙය හෙවත් පන්සල සාදා ඉන්පසුව විහාරය හදන්නට ගියොත් විහාරය ඉදි කරන්නට සිදුවන්නේ පන්සලට වඩා පහළින්. එය සුදුසු නැත. විහාරයේ හෝ චෛත්‍යයේ ඉදි කරන ස්‌ථාන කල් ඇතිවම වෙන් කළ විට මේ ගැටලුව ඇති නොවේ.

විහාරයක හෝ චෛත්‍යයක කොනේ සෙවනැල්ල ආවාස ගෙයකට වැටෙන දුරින් ආවාස ගෘහය සෑදීමද ඉතා අශුභය එසේ සෙවනැල්ල වැටෙන දුරින් පිහිටි ආවාස ගෘහවල පදිංචි වන විට ඒ ස්‌ථාන වල අධිපති ස්‌වාමීන් වහන්සේට නොයෙකුත් නින්දා අපහාස කරදර වලට මුහුණ පාන්නට සිදු වන බව අප විසින් බොහෝ විට නිරීක්‍ෂණය කර තිබේ. එමෙන්ම බෝධීන් වහන්සේට දකුණු දිශාවේ පදිංචියට ආවාස ගෘහය හෝ ගිහියෙකුගේ නිවාසයකට ශුභ නැති බව පහත පලවන කවියෙන් පෙනේ.

බෝ රුකකට සොහොන්කොතට බූත පියස්‌ ඇති ගසක ට

යාව දකුණු පැත්තේ ඉඩමක වාසය කරන අය ට

ලැබෙන ධනය එදිනෙදාම වියදම් වී යන විලස ට

නොසිතූ කටයුතු ද රෝග පීඩා සිදුවෙයි එක පිට

තවද විහාරයක හෝ ආවාස ගෘහයක දොරටුව නැගෙනහිරට තැබීම ඉතා ශුභ බවත් ගිණිකොණ දිශාවට දොර තැබීම ශුභ නැති බවත්, එමෙන්ම ඊසාණ, වයඹ, නිරිත ආදී අනු දිශාවලටද දොරවල් තැබිය යුතු නැති බවත් පුරාණ ග්‍රන්ථ වල සඳහන් වන්නේය.

බුද්ධ ප්‍රතිමාවක්‌ නිර්මාණය කිරීමට ඒ පිළිබඳව නිර්මානාත්මක කුසලතා වලින් පරිපූර්ණ ශිල්පියෙකු විසින්ම කළ යුත්තකි. දායකයින් කොපමණ මිල මුදල් ගෙවා අවශ්‍ය වන ද්‍රව්‍ය සපයා දුන්නත් පිළිමය කොපමණ විශාලව සෑදුවත් එය අලංකාර ලස්‌සන පිළිමයක්‌ නොවූයේ නම් ප්‍රතිඵල නොලැබේ. සමහර විහාරස්‌ථාන වල පමණක්‌ නොව නගර මංසන්ධි වලද ඉදිකර ඇති පිළිම වල කඩවසම් ලස්‌සන පෙනුමක්‌ නැත උසේ තරමට මහත නැත. හිසේ තරමට ගැලපෙන ලෙස මුහුණේ අංග සාදා නැත. මෙය ද අකුශල කර්මයකි.

මෙයට හේතු වී ඇත්තේද පරිනත ශිල්පියෙකු යටතේ නිසි පුහුණුවක්‌ නොලබා චිත්‍ර බාස්‌වරු ලෙස පෙනී සිටින ආධුනිකයින් පිළිම නිර්මාණය වැනි භාරධූර කටයුතු වලට අතගැසීමයි. තම විහාරස්‌ථානයේ පිළිමය නිර්මාණය කරන්නට භාර දෙන පුද්ගලයාට ඒ පිළිබඳව ඇති හැකියාව හරි හැටි සොයා බැලීම දායකයින්ගේ වගකීමකි.

අනුරාධපුර සමාධි පිළිමය වසර දහස්‌ ගණනකට පෙර නිර්මාණය කරන ලද්දකි. එහෙත් අදත් බෞද්ධ අබෞද්ධ මෙන්ම දෙස්‌ විදෙස්‌ සංචාරකයින් දහස්‌ ගණනකගේ ආකාර්ශනය එම පිළිමයට යොමු වී තිබේ. අවුකන තොළුවිල ආදී පිළිම මෙන්ම පොළොන්නරුව ගල් විහාරයේ පිළිමද අංග සම්පූර්ණව නිර්මාණය කර තිබේ.

නිර්මාණ කරන බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති මහත් ශ්‍රද්ධාවද ගුරුපදේශද ලබා ඇති කෙනෙකු මෙන්ම මේ විෂයය ගැන ලියවී ඇති ශාරිපුත්‍රය, රූපාලංකාරය වෛජයන්තය ආදී පුරාණ ග්‍රන්ථ කියවා තිබීමද ඉතා වැදගත් වන්නේය. බුදු පිළිමය නිර්මාණය කරන්නේ පරම්පරා ගණනාවකට බැවිණි. චිත්‍ර ශිල්පියකු පමණක්‌ නොව පරිනත දැනුමක්‌ ඇති අවංක මේසන් බාස්‌වරයකු පවා සොයා ගැනීම මෙකල ඉතා දුෂ්කර කටයුත්තක්‌ බව නොකිවමනාය.

බුදුරජාණන් වහන්සේ වූ කලී විවේකය ප්‍රියකළ, නිෂ්ලේශී මහා කාරුණික උතුම් කෙනෙකු බව අපි දනිමු. එබැවින් මා උන්වහන්සේගේ රූපයත් නිර්මාණය කළ යුත්තේ ඊට ගැලපෙන තැනක පමණි. මහජනයා නිතර වෙනත් කටයුතු වලට යන එන අපිරිසිදු ස්‌ථානය මස්‌ මාළු වෙළෙඳ සල් අසල හතර මං හන්දි වල සුදුසු ලෙස අලංකාරය ගැන පමණක්‌ සලකා පිළිම නිර්මාණය නොකළ යුතුය.

එසේ පිළිමයක්‌ නිර්මාණය කළ පසුව දේව රූප බැඳීමද කළ යුත්තේ ඉතා ප්‍රවේශමිනි. බුදු පිළිමයට පිටුපසින්ද හරියටම ඉදිරියෙන්ද නොව ඒක මත්තං චිතා ඛාභ දේවතා” යන අන්දමට තරමක්‌ දුරින් පැත්තක සෑදිය යුතුය. විහාරයට වඩා උස තැනක දේවාල ශුභ නැත.

චෛත්‍ය හා විහාර නිර්මාණය සඳහා තැනක්‌ සාදන විට උත්තරායන කාලය යොදා ගත යුතුය. එනම් ජනවාරි සිට ජුලි 15 දක්‌වා පමණ වන කාලයයි. ඒ සඳහා පුරපක්‍ෂයේ ශුභම දිනයක්‌ යොදා ගත යුතුය.

තවද එම නැකත විහාරයාධිපති ස්‌වාමීන්වහන්සේට ප්‍රධාන දායක මහතාටත් ගැලපෙන නැකතත් වීම ද අත්‍යවශයය. පිළිම වහන්සේ ට නේත්‍රා තැබීමද ඉතා ශුභ නැකතින් කළ යුත්තකි. මේ සඳහා ඉතා සුදුසු වන්නේ බුදු රජාණන්වහන්සේ ලොව බලා වදාරන අලුයම් කාලයයි. වෙසක්‌ මාසය වඩාත් ශුභයි. ඒ වෙලාවට නේත්‍රා තබා ප්‍රථම බුද්ධ පූජා පැවැත්විය යුතු අතර නොකඩවා මාස තුනක්‌ වත් පූජා තබා පිරිත් කීම ශුභය.

ශාරීරික පාරිභෝගික උද්දේෂික යන පිළිවෙළට වන්දනා කිරීම සඳහා වෛත්‍ය බෝධිය හා විහාර ගෙය නිර්මාණය කළ පසුව පමණක්‌ ලොකුවට ස්‌ථිරව ආවාසය නිර්මාණය කළ යුතුය.විහාරස්‌ථානයක්‌ අංග සම්පූර්ණ නිර්මාණය කරවීම සඳහා මෙකල විශාල මුදලක්‌ වැය වේ. එයද දායකයින්ට විශාල අභියෝගයකි. එහෙත් පන්සලේ හොඳම ස්‌ථානය බලා බුදු පිළිමය හා විහාර ගෙය නිර්මාණය කර ඇති නම් ඒ ස්‌ථානයට සෙනග ගලා එන්නේ නිතැතිනි. ඒ අයගේ පරිත්‍යාග වලින්ම ඉතිරි වැඩ කෙරෙනවා ඇත. එහෙත් විහාර ගෙයට වඩා ආවාස ගෘහයට මුල් තැන දී එයම සුඛෝපබෝගී ලෙස ඉදි කර පසුව විහාරය හදන්නට ගියොත් එය කළ හැකි නොවේ.විහාරස්‌ථාන ඉදි කරන්නේ නිවන් අවබෝධකරගැනීමට අවශ්‍ය ශ්‍රද්ධාව උපදවා ගැනීමටත් ත්‍රිපිටක ධර්මය හැදෑරීමටත් මිස අලංකාරය සඳහා නොවේ. එබැවින් සෑම විහාරස්‌ථානයකම දිනපතා පිරිසිදු කිරීම හා බුද්ධ වන්දනාවද පිරිත් සඡ්ජායනාවද කළ යුතුය. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සිදුවිය යුතුය. එවැනි ස්‌ථාන වලට සෙනග ඇදී එයි. එමෙන්ම අමනුෂ්‍ය දෝෂ ඉවත්වී සම්‍යග්දෘෂ්ඨක දෙවියන් ගේ බැල්ම හා ආරක්‍ෂාව ලැබේ. සිව්පසයෙන් හිඟයක්‌ ඇති නොවේ. එම විහාරස්‌ථානය මෙන්ම එය පිහිටි ගමද දියුණුවට පත්වීම නියතය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here