සඳු සිටින තැන අනුව සුබ අසුබ

0
1392
සඳු
සඳු

[ratings]

සඳු ලෝකයේ මව මෙන්ම රාත්‍රී උපදින්නහුටද මව වේ. සඳු පෘථිවියට අයත් චංචල ග්‍රහයෙකි. පොළොවෙහි වෙසෙන සියලු සතුන්ගේත්, ගස්‌, ගල්, ජලය යන සියල්ලෙහිමත් වෙනස්‌ වීම් සඳු නිසාම වේ. සිතට මෙන්ම සෙමටද අධිපති වේ. ජීවිතයේ පැවැත්මට හා රෝග පීඩා ආදියටද හේතු වේ. පුරුෂ කේන්ද්‍රයක රවි උච්ච වීම මෙන්ම, ස්‌ත්‍රී කේන්ද්‍රයක සඳු උච්ච වීමද උසස්‌ පිහිටීමකි. නිතර වෙනස්‌ වන ගතිය ඇති සඳු දරුවන් පිළිසිඳ ගැනීම, මල්වරවීම හා ස්‌ත්‍රීන්ගේ ඔසප් වීම් ආදිය ඇති කරයි. චිත්ත බලයෙන් කරනු ලබන සියල්ලටම සඳු බලපායි. පුර සඳු සුබ පලත්, අවසඳු අසුබ පලත් දෙයි. සඳු බලවත් වීම වාසනාවන්ත පිහිටීමකි.

මිනිස්‌ සිරුරේ උගුර, ශ්වාසනාලය, ආමාශය, ගර්භාෂය, මුත්‍රාශය හා ස්‌ත්‍රීන්ගේ පයෝධර ආදියටත් සඳු අධිපති වේ. ඇදුම, සරම්ප, පණුරෝග, ක්‍ෂය රෝග, සන්නි රෝග, අපස්‌මාර රෝග, පෙනහලු රෝග හා කඩුවේගන් වැනි හමේ රෝගද, උදර රෝග, උමතු රෝග, වකුගඩු රෝග හා ස්‌ත්‍රී රෝගද, සඳු නීචවීම, දුර්වල වීම නිසාම හටගනී.

ඉහත කී ලක්‌ෂණ ඇති සඳු මේෂය ආදී රාශි දොළහේ දී ගෙන දෙන පල මොනවාදැයි විමසීමට මෙම ලිපියෙන් අදහස්‌ කරමි.

සඳු උපතේ දී මේෂ රාශියේ නම් රහස්‌ ආදායම් මාර්ග ඇත්තෙකි. මඳ කෙස්‌ ඇති, මානාධික කාමුකයෙකි. බොහෝ දරුවන් ලබයි. ජලයට බිය වේ. වණ කැළලින් යුතු හිස වේ. මුරණ්‌ඩු වේ. රති ක්‍රීඩාවේ දුර්වලයෙකි. හිතූ දේ කරන, ප්‍රධානීන්ට අකීකරු, පවත්නා නීති රීතිවලට විරුද්ධ හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධියට පත් වන්නෙකි. උණ රෝග හා ඇස්‌ රෝග වැළඳේ. රහස්‍ය කටයුතු ඇත්තෙකි. වරින් වර ඥතීන්ගේ හෝ මහජනයාගේ හෝ අප්‍රසාදයට ලක්‌වෙයි.

වෘෂභ රාශියේ දී සඳු උච්ච වෙයි. පපු පෙදෙස මහත් වේ. ධනවතෙකු මෙන්ම දෙන තැනැත්තෙක්‌ද වේ. අක්‌බඹුරු කෙස්‌ වේ. සිරුර මනහර වේ. ඉවසන සුළු වේ. ශෝභන ගමන් වේ. පෙර පින් ඇත්තෙකි. මෙලොවද පින් කරයි. ගැහැනු දරුවන් වැඩිපුර ඇත්තෙකි. තම බසට අන්‍යයෝ ගරු කරති. මවට ඉතා හිතවත් වේ. වැඩවලින් ලාබ ලබයි. ජලාශ්‍රිත ප්‍රදේශවල වාසියට කැමැති වේ. ස්‌ත්‍රී කේන්ද්‍රයකට වටිනාම පිහිටීමකි. විවාහයටද යහපත්ය. ගතිගුණ උසස්‌ය. සහෝදරාදීන්ට ඇලුම් කරයි. දිවි හිමියෙන් ඔවුනගේ ඇසුර පවත්වා ගනී. ස්‌ත්‍රියක්‌ නම් ස්‌වාමි භක්‌තිය ඇත්තියකි.

සඳු මිථුනයේ නම් ඥනවන්ත වේ. ප්‍රිය කතාවෙහි දක්‌ෂයෙකි. පස්‌කම් සැපෙහි ඇලුනෙක්‌ වෙයි. දිග් අවයව ඇත්තෙකි. රැලි සහිත හිසකෙස්‌ වේ. මවුවරුන් දෙදෙනකුගෙන් පෝෂණය ලබයි. ශාස්‌ත්‍රීය කටයුතුවල යෙදෙන්නෙකි. ගුරුවරුන්, ලේකම්වරුන්, චිත්‍ර කර්මාන්තකරුවන් මෙවැන්නෝ වෙති. කපටි වේ. අධික ඇවිදිලි ඇත්තෙකි. පදිංචිය නිතර වෙනස්‌ කරයි. නෘත්‍ය ගීත, දූ කෙළි, ස්‌ත්‍රීන් ඇසුර ආදියට ප්‍රිය කරයි. සඳු දුර්වල නම් ස්‌ත්‍රීන් වෙනුවෙන් හෝ මව වෙනුවෙන් හෝ බොහෝ මුදල් වියදම් වේ.

කටකය සඳුගේ නිවසයි. සඳු එහි සිටීම වාසනාවන්ත පිහිටීමකි. යහපත් මිතුරන් ඇති කරයි. නිදහස්‌ ලෙස කල් ගෙවීමට ආශා ඇති කළගුණ දත්තෙකි. චංචල වූ ධනය වේ. ජ්‍යෙතිෂ්‍ය, වෛද්‍ය ශාස්‌ත්‍රය ආදී දැනුම ලබයි. උතුමන්ගෙන් ගෞරව ලබන්නෙකි. ජලාසන්න ප්‍රදේශවල වාසය වේ. අඹුදරුවන්ට මෙන්ම මවටද ඉතා හිතවත් වේ. අනුන්ගේ සැපතේදී ප්‍රීතිවෙයි. දුකෙහිදී දුක්‌ වෙයි. බර වැඩ යෝග්‍ය නොවේ. දුටු දේ කිරීමට සමතෙකි. විශ්වාසවන්තයෙකි. බොහෝ දරුවන් මෙන්ම ඉඩකඩම් ලාබද ලබයි.

සඳු සිංහයේ නම් එඩිතර වේ. මහත් වූ මුහුණ වේ. ස්‌ත්‍රීන්ට වෛර කරයි. මඳ දරුවන් ඇත්තෙකි. මවට බිය වේ. මස්‌ අනුභවයට ආශා කරයි. දත් රෝග හා උදර රෝග ඇත්තෙකි. ශරීරය උෂ්ණ වේ. පැහැසරය. අන්‍යයන් පාලනයට යෝග්‍ය වේ. මාපිය ධනවතුන්ගෙන් ආධාර ලබයි. පිරිසිදු ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ආදියට ප්‍රිය වේ. නිතර ප්‍රීතියෙන් සිටිමට කැමැතිය. ඕනෑම දේකට ඉදිරිපත් වේ. නිර්ලෝභීය. පියාට අශුභ වුවත් පරපුරේ ගෞරවය රකී.

සඳු කන්‍යාවට යහපත්ය. ඉතා පිරිසිදු යහපත් වචන ඇති ඉගෙනීමෙහි දක්‌ෂ ස්‌ත්‍රීන්ට ප්‍රිය ඥනවන්තයෙකි. නොයෙක්‌ ශාස්‌ත්‍රයන්හි දැනුම ඇත්තේය. දරුවන් අඩුය. හොඳ වෛද්‍යවරු සඳු කන්‍යාවේ සිටියදී උපදී. යහතින් කල්ගෙවන නිරහංකාර පුද්ගලයෙකි. මවට එතරම් යහපත් නොවේ. වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය හා ලේකම් ධුර ආදියට යහපත් වේ.

සඳු තුලාවේ නම් යහපත් වචන ඇත්තෙකි. ස්‌ත්‍රීන්ට වසඟ වූ කෙට්‌ටු ශරීරය ඇත්තෙකි. වස්‌තු රැස්‌ කරයි. වෙළෙ¹ම්හි දක්‌ෂ වේ. ස්‌වකීය කුලයට ප්‍රධාන වේ. ඥති වර්ගයාට උපකාර කරයි. සංගීතය, චිත්‍රය, කාව්‍යකරණය, නෘත්‍යය ආදී කලාත්මක කටයුතු සඳහා ඇල්ම දක්‌වයි. හවුලේ කටයුතු අවුලක්‌ නැතිව කරන්නෙකි. මවට ඉතා හිතවත් වේ. එසේම මවගෙන් බොහෝ උදව් ලබයි. විවාහ සහකරු හෝ සහකාරිය අතර යම්කිසි නොගැලපීමක්‌ ඇති වේ.

සඳුගේ නීච නිවස වෘශ්චිකයයි. ලෝභීවූ මිථ්‍යා දෘෂ්ටි ගත් නපුරෙකි. නෑයන් අප්‍රිය කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට නොලැබේ. චරිතය කිළිටි කර ගනී. පළිගන්නා අදහස්‌ ඇත්තෙකි. අන් අදහස්‌වලට නොනැමේ. පාප දෘෂ්ටි ලැබූ විට නරකම පිහිටීමකි. හොර හිත වේ. මත්පැනට හා කළකෝලාහලවලට ප්‍රිය වේ. අපිරිසිදු සිත වේ. විවා දිවියද සරු නොවේ.

සඳු ධනුවේ නම් අධික කතා ඇත්තෙකි. ශිල්ප ශාස්‌ත්‍ර දනී. කළගුණ දත් පණ්‌ඩිතයෙකි. ත්‍යාගවන්ත වේ. පියාගෙන් දේපළ ලබයි. ඇවිදිලි වැඩිය. දැහැමි පුද්ගලයකු ලෙස ප්‍රකට වේ. එකවිට රැකියා කීපයක්‌ කරයි. ගුරුවරු ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රීය දත්තෝ මෙවැන්නෝ වෙති. අනුන්ගේ යහපතට කටයුතු කරන අතර අනුන්ගෙන් තමන්ටද යහපත සැලසේ. විවාහ දෙකක්‌ වීමට ඉඩ ඇත.

සඳු මකරයේ නම් වඩා උස්‌ නොවූ සිරුරකි. සීතලට ඔරොත්තු නොදේ. විලිබිය අඩුය. මහලු ස්‌ත්‍රීන් ඇසුරු කරයි. ලෝභීය. ස්‌වකීය ජනයාට ප්‍රිය නොවේ. හොඳින් හෝ නරකින් හෝ ප්‍රසිද්ධ වේ. ශුභ සංයෝග නිසා ධනවතකු වේ. පාප දෘෂ්ටි ලද විට මංකොල්ලකාරයකු වේ. රවි බලවත් වූවොත් අශුභ ගති අඩු කරයි. තමාට නොගැලපෙන කෙනෙකු සමග විවාහ වේ. අනුන් ගැන නොසිතන ආත්මාර්ථකාමියකු වේ.

කුම්භයේ සඳු සිටී නම් නුවණින් කරන කටයුතුවලට යහපත්ය. යහපත් මිතුරන් ලබයි. අන්සතු ධනයට ආශා ඇත්තෙකි. පරහිත් දන්නෙකි. දේශපාලනයට සුදුසුය. සමාජ සේවයට හිතැති වේ. හවුල් කටයුතුවලට යහපත්ය. මෙලොව දියුණුවට වඩා පරලොව දියුණුව ගැන සිතයි.

සඳු මීනයේ නම් ශරීරය යහපත් වේ. සතුරන් දිනූ ජලය ආශ්‍රිත දේවලින් ධනය උපයන්නෙකි. ස්‌ත්‍රීන්ට වසඟ වේ. තරහ අඩු ත්‍යාගවන්තයෙකි. බොහෝ වස්‌තු ලබයි. ඉවසන සුළු වේ. දීර්ඝ ගමන් ඇත්තෙකි. කියවීමට හා සංගීතයට ප්‍රිය වේ. මධ්‍යම වයසින් පසු ශරීරය මහත් වේ. දුර්වල ශරීරයකි. සෙම් රෝග, ඉදිමුම් රෝග ආදියට හේතු වේ. කළකෝලාහලවලට අකමැති ශාන්ත තැනැත්තෙකි.

ජන්මියෙකුගේ උපත සිදුවන අවස්‌ථාවේ රවි හා සඳුගේ බල දුබලතාව, අන්‍ය ග්‍රහ පිහිටීම්, සුබ අසුබ ග්‍රහ දෘෂ්ටි ආදිය කල්පනාවට ගෙන ඉහත කී සුබ හෝ අසුබ හෝ පල තීරණය කළ යුතුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here