සුරගුරු සහ සුරදුව

1873
සුරගුරු
සුරගුරු

සිකුරු සංක්‍රාන්තිය හා ගුරුමාරුව ගැන මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී පවතී. ග්‍රහමාරුවක්‌ ගැන ඇසෙන විට එයින් තමාගේ අනාගතයට කුමන ආකාරයේ බලපෑමක්‌ සිදුවේද? යන්න ගැන පොදු ජනතාව තුළ කුතුහලයක්‌ ඇතිවීම සාධාරණය. රජය අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් කරන විට රුපියල් කීයකින් වැටුප් වැඩිවේද? කියා රජයේ සේවකයන් බලාසිටී. එසේම කුමන භාණ්‌ඩයක මිල ඉහළයාද, කුමන භාණ්‌ඩයක මිල පහළයාද? කියා පාරිභෝගිකයා බලා සිටී. අයවැයෙන් ඉදිරිපත්වන සුබ අසුබ පලාඵල මෙන්ම ග්‍රහමාරුව නිසා සිදුවන සුබ අසුබ පලාඵල ජනතාවගේ ජීවිතයට එක එල්ලේ බලපානා කරුණකි. ඒ නිසාම ග්‍රහමාරුවක්‌ සිදුවන්නට පෙර සිටම එහි ඵලවිපාක ගැන ජනතාව දැනුවත් කිරීමට උගත් ජ්‍යෙdතිෂවේදීන් අද ඉදිරිපත් වී සිටිති. සෑම ජනමාධ්‍යයකින්ම පාහේ ඒ ගැන දක්‌වන්නේ ඉතා විශාල උනන්දුවකි. ඒ නිසා ජ්‍යෙdතිෂ්‍ය ගැන කිසිවක්‌ නොදන්නා ජනතාවට පවා සුබ- අසුබ පලාඵල ගැන අවබෝධයක්‌ පවතී. එසේම ග්‍රහ මණ්‌ඩලයේ ග්‍රහයින් අතුරින් “හොඳ ග්‍රහයින්” සහ “නරක ග්‍රහයින්” ලෙස වර්ගීකරණයකට ජනතාව හුරුවී ඇත. ජන්මපත්‍රය පරීක්‍ෂා කිරීමට එන සේවාදායකයාට ජ්‍යෙdතිෂ මහතා “ඔබට දැන් සෙනසුරු මහදසාව පවතී” යෑයි පැවසුවහොත් ඔහුගේ හෝ ඇයගේ මුහුණ වෙනස්‌ වනවා දැකීම සාමාන්‍ය දෙයකි. එසේම “ඔබට දැන් ඈත්තේ ගුරු දසාව” “දැන් ඇත්තේ සිකුරු මහදසාව” යෑයි පැවැසුවොත් “අම්මේ ඇති” ඉබේම කියෑවෙනු අසා ඇත්තෙමි. මෙසේ “හොඳ” ග්‍රහයින් හා “නරක” ග්‍රහයින්” ගැන අසා ඇති අතර පුරුද්දට වාගේ “සිකුරු හතේ” ” කුජ හතේ” “සිකුරා නලලේ” ” වැනි යෙදුම් අද භාවිතයේ ඇත. ඒ නිසාම මේ “හොඳ යෑයි” පිළිගන්නා ග්‍රහයින් දෙදෙනෙකු සංසන්දනය කර බැලීම වටී. ඔබට පිච්චමලක්‌ අතට ගෙන “එය ලස්‌සනයි” ” සුවඳයි” කියා අගය කර ඇත. එසේම රෝසමලක්‌ නෙළාගෙන එයද “සුවඳය” “ලස්‌සනය” කියා අගය කර ඇත. එහෙත් ඒ මල් දෙක එක ළඟ තබාගෙන සංසන්දනය කර නැතිවා ඇති. අද ගුරු ග්‍රහයා නමැති පිච්චමල සහ සිකුරු ග්‍රහයා නමැති රෝසමල එක ළඟට තබාගෙන සසඳමු.

“ගුරු ග්‍රහයා” සුරගුරු ලෙසද හැඳින්වේ. ග්‍රහමණ්‌ඩලයේ ඇති විශාලම ග්‍රහයා බ්‍රහස්‌පති හෙවත් ගුරුය. සූර්යාට පමණක්‌ දෙවන වන විශාලත්වක්‌ ඇති බ්‍රහස්‌පති පෘථිවිය මෙන් එක්‌දහස්‌ තුන්සිය (1300) වාරයක්‌ විශාලය. උසට වඩා වැඩි මහතක්‌ මෙම ග්‍රහයාට ඇත. “ගුරුතරුව” වර්ෂය පුරා අපට දිස්‌නොවේ. ඇතැම් කාලවලදී පමණක්‌ පෘතුවියට දැකගත හැකි මෙම ග්‍රහයා බුද්ධිය, දැනුම, අධ්‍යාපනය, ලෝකෝත්තර සුවය, ආගම දහම ආදිය ගැන කථා කරන බුද්ධිමත් ග්‍රහයෙකි. ග්‍රහමණ්‌ඩලයේ ගුරුවරයා උපදේශකයා හෙවත් පුරෝහිතයා ලෙසද ගුරු හැඳින්වේ. ඒ නිසාම “සුරගුරු” යන අන්වර්ථ නාමය පට බැඳී ඇත. මහා පුරුෂ යෝග අතර “ගුරුහංස” යෝගය ඔබේ ජන්ම පත්‍රයේ ඇත්නම් ඔබ බුද්ධිමත් වියත් පණ්‌ඩිතයෙකු සේ සමාජයේ කැපී පෙනෙන අයෙකු වේ. ඒ ලෙසම ලග්නස්‌ථානයේ ගුරු සිටින විට බොහෝ දෝෂ භංග වේ. ගුරු මහ දසාවේදී යමෙකු කරන ලද පැරණි වැරදි මගහරවා ගෙන “හොඳ මිනිසෙකු” වීමට උත්සාහ ගන්නා කාලයයි. පය නොතැබූ පන්සල පල්ලිය – කෝවිල මතකයට එන කාලයයි. පැවැදි උගතුන්ගේ හා ගුරුවරුන්ගේ, වියතුන්ගේ ගුරු බලවත්ව ඇති බව ජන්මපත්‍රයෙන් පෙනෙනු ඇත.

“සිකුරු ග්‍රහයා” හෙවත් “වීනස්‌ ග්‍රහයා” පෘථිවියට ආසන්න ග්‍රහ වස්‌තූන් දෙදෙනාගෙන් එක්‌ අයෙකි. භූමි ප්‍රමාණයද පෘථිවියට සමානය. ග්‍රහමණ්‌ඩලයේ දීප්තිමත්ම ග්‍රහයා සිකුරුය. සෑම දිනකම උදා අහසේ පහන්තරුව ලෙසත්, සැඳෑ අහසේ ඉරබටු තරුව ලෙසත් දිලිසෙන මේ ග්‍රහයා අපේ අසල්වැසියාය. සූර්යයාට ආසන්න ග්‍රහයෙකි. “සුරදුව” වීනස්‌ දෙවිදුව “ශුක්‍ර” ආදි ලෙස හැඳින්වෙන මේ සිකුරු ග්‍රහයා ආදරය ප්‍රේමය අනුරාගය ඇති කරන මංගල යෝග උදාකරන ග්‍රහයෙකි. ඔබේ තරුණ කාලයේදී සිකුරු මහ දසාව ලැබුයේ නම් ඔබ වාසනාවන්තය. පාසල් සමයේදී සිකුරු මහ දසාව ලද්දේ නම් පාසල් ආදර කථා ගොඩනැගූ සුගත් කෙනෙකු හෝ දම්මි කෙනෙකු වූවා නොරහසකි. සිකුරු ග්‍රහයා වාසනාව උදා කරන ග්‍රහයාය. විවාහ ජීවිතයට ඔබට පාර කියන්නෙත් ගේ දොර යාන වාහන ලබා දෙන්නෙත් සිකුරු ග්‍රහයාය. සිකුරු ග්‍රහයා නිසා උදාවන “මාලවී යෝගයෙන්” ඔබ ඉපදී ඇත්නම් ඔබ ප්‍රේමයේ සුන්දරත්වය උරුම කරගෙන උපන්නෙකි. විරුද්ධ ලිංගිකයින්ගේ ආදරය දිනා ගැනීමට සමත් පියකරු මුහුණකට උරුමකම් කියන කථා විලාශයෙන් අනුන් වසඟ කරගත හැකි අයෙකි. නිවේදක නිවේදිකාවන්, චිත්‍රපට නළු නිළියන්, ගුරුවරුන් ව්‍යාපාරිකදයින් බිහිකරන්නේ මාලවී යෝගයයි. සිකුරු ග්‍රහයා පැරණි කාලයේ සිටම ආදරයේ සංකේතයක්‌ ලෙස සැලකිණි “වීනස්‌ දෙව්දුව” පැරණි රෝම – සහ ශ්‍රීක ජන කථාවල පවා ජනප්‍රිය චරිතයකි. අවිවාහකයිනට මංගලයෝගත්, විවාහකයිනට අනියම් ප්‍රේම සබැඳතාත් සිකුරු මහදසාවේදී උදා කෙරේ.

මෙසේ “ගුරු ග්‍රහයා” මෙන්ම “සිකුරු ග්‍රහයා” ගැනත් දැන හැඳින ගත් පසු මේ දෙදෙනාම සුබ ග්‍රහයින් ලෙස දකිමු. “අම්ම සුදුයි කීවත් වැරදියි. තාත්තා සුදුයි කීවත් වැරදී. එබැවින් පවසමු දෙදෙනම සුදුයි කියා. “පැරණි ළමා ගීයක්‌ සිහියට නැගේ.

ගුරු ග්‍රහයා සුබ ග්‍රහයෙකු වුවත්, සිකුරු ග්‍රහයා සුබ ග්‍රහයෙකු වුවත් මේ දෙදෙනා ජන්මපත්‍රයේ එකම රාශියක ගෝචරවූ විට ඉතාම සුබ යෑයි ඔබ සිතන්නේ නම් ඒ වැරදියි. මේ දෙදෙනා එකම රාශියක ගෝචර වූ විට අසුබඵල නොදුන්නද දෙදෙනාගෙන් කිසිවෙකු සුබඵලද ලබා නොදේ. මෙසේ සිතන්න ගුරු ග්‍රහයා ඔබට “පන්සල් ගොස්‌ මල් පහන් පුදන්නට “ඇරයුම් කරයි. සිකුරු ග්‍රහයා චිත්‍රපට ශාලාවකට ගොස්‌ අලුත්ම චිත්‍රපටයක්‌ බලන්නට ආරාධනා කරයි. ඔබට සිදුවන්නේ දෙදෙනාම අමනාප කරගන්නට බැරි නිසා ගෙදරට වී සිටින්නටය. පැරණි ජාතක කථාවක්‌ මතක්‌වීම මෙතනදී සුදුසු යෑයි සිතමි. එක්‌තරා මධ්‍යම වයසේ ගැමියෙකු බිරිඳ දෙදෙනකු විවාහ කරගෙන සිටියේය. එක්‌ බිරින්දැවක්‌ වයසින් වැඩිය. අනෙක්‌ බිරිඳ තරුණ රූමතියකි. ඔවුන් දෙදෙනාම ගැමියාට ඉතා ආදරය කළහ. ගැමියාගේ හිසකෙස්‌ සුදුවීගෙන එනවිට තරුණ බිරිඳ තම සැමියාගේ තරුණකම රැකගන්නට සුදු කෙස්‌ ගැලවීමට පුරුදු වී සිටියාය. වයසින් වැඩි බිරිඳ සැමියාගේ තරුණ පෙනුම දක්‌නාවිට ඔහුගේ හිසේ කලු කෙස්‌ගස්‌ ගලවා දැමුවාය. ගුරු සිකුරු හබයත් අපට ඉතිරිකරන්නේ මෙවැනි ප්‍රතිඵලයක්‌ බව සිතා ගැනීම දෙදෙනාගේ ආදරය කොතරම් දැයි මැන බැලීමට හොඳ උදාහරණයකි.

We found this article from Divaina on 2012/06/29.
Also Sinhala to English Google word to word translation can be found here