Monday, June 15, 2026
HomesiHoroscopeඑදා කර්මය හා බැඳී පවතින මෙදා ග්‍රහචාරය

එදා කර්මය හා බැඳී පවතින මෙදා ග්‍රහචාරය

“ෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමි” සිතුවිලි කර්මයට මුල් වේ යනුවෙන් ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ වදාළ සේක. එය එදා මෙන් අදටත් අද මෙන් හෙටටත් වලංගු වන්නා වූ සදාකාලික පරම සත්‍යයයි. කර්මය කුසල – අකුසල වශයෙන් දෙආකාරය. සිත, කය, වචනය යන තුන්දොර නිසි ලෙස පාලනය කර නොගැනීම හේතුවෙන් අප විසින් උරුමකර ගන්නා වූ කර්මය හේතුවෙන් අපට විවිධ පල විපාක විඳින්නට සිදුවේ.

මේ ආදී වශයෙන් ජන්මියකු විසින් පෙර සසරේ සිදු කළා වූ කුසල් – අකුසල් ක්‍රියාවල පල විපාකයන්ට අනුව උදාවන්නා වූ ග්‍රහචාරයන් යටතේ මේ භවයේ අපගේ ජන්මය සිදුවීම නොවැළැක්‌විය හැකි ධර්මතාවකි. ඉතා සරලව මෙකී කාරණය අවබෝධ කරගන්නේ නම් යහපත් ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් යහපත් ක්‍රියාවල යෙදෙන්නෝ පෙර කුසල් හේතුකොටගෙන සියලු සැප සම්පත් පරිපූර්ණව ඉපිද සැපවත් ජීවිත ගතකරන අතර අයහපතෙහි යෙදෙමින් අකුසල් ක්‍රියාවල නිරතවූවෝ උපතින් දුක උරුම කොටගෙන මෙලොව එළිය ලබා වධ වේදනා කරදර බාධක විඳිමින් ඉතා දුක්‌ත ලෙස දිවි ගෙවති.

කෙනෙකු සිදු කළා වූ කුසල් – අකුසල් සඳහා හොඳ හෝ නරක වශයෙන් විපාක ලබාදීමට බලා සිටින ග්‍රහ මණ්‌ඩලය ඔවුනොවුන්ගේ කර්ම නියාමයට අනුව මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන දොළොස්‌ රාශිය වෙත පැමිණ අදාළ ජන්මියා සැපට හෝ දුකට පමුණුවනු ලබයි.

යම් අයෙක්‌ ප්‍රාණඝාත අකුසලයේ නිරත වෙනවා නම් මරණින් මතු එවැනි පුද්ගලයෝ අල්ප ආයුෂ ඇතිව උපදිනවා. එවැනි අය කේන්ද්‍රයේ ලග්නාධිපති හා ලග්න භාවය දුර්වලවයි මෙලෙස එළිය දකින්නේ. එලෙස අඩු ආයුෂ ඇතිව ඉපදීමට හේතුව තමයි ප්‍රාණඝාත අකුසලය සිදුකිරීම. සියලු සතුන් කෙරෙහි කරුණාව දැක්‌වීම ප්‍රාණඝාත අකුසලයෙන් වෙන්වීම බොහෝ ආයුෂ ඇතිව ඉපදීමට හේතු වෙනවා. එවැන්නෝ ශුභ ග්‍රහයෙක්‌ ලග්නාධිපතිව ඉපිද එකී ග්‍රහයාත් ලග්නාධිපති බලවත්ව දීර්ඝ ආයුෂ විඳිනවා. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය හේතුවෙනි.

ඉපදුණ දා සිටම නිතර නිතර විවිධ රෝගාබාධවලට ලක්‌වී දුක්‌ විඳීමට හේතුව ලෙස අතින් පයින් දඬු මුගුරුවලින් සතුන්ට හිරිහැර කිරීම, වධ හිංසා පැමිණවීම දැක්‌විය හැකි අතර එවැනි අය කේන්ද්‍රයේ හයවැනිභාවය හෙවත් රෝගස්‌ථානය දුර්වලව උපත ලබනවා. ලග්නාධිපති දුර්වලව හයවැන්නේ නම් ඉහත අකුසලය හේතුවෙන් නිතර රෝග පීඩාවලට මුහුණදෙන අයෙක්‌ වේ. එමෙන්ම යම් අයෙක්‌ සත්වයන්ට කරුණාව ඇතිව කටයුතු කළේ නම් එවැනි අය නිරෝගී සම්පත්තිය ලබා උපත ලබනවා. කේන්ද්‍රයේ රවි ග්‍රහයා බලවත්වීම නිසා නිරෝගී සුවයෙන් වාසය කිරීමට වාසනාව උදාවෙනවා.

යම් කෙනෙක්‌ නිතර නිතර කේන්ති සහගතව ක්‍රෝධයෙන් සතුරුකම් කරමින් ජීවත්ව සිට මරණින් මතු නැවත මනුෂ්‍ය ආත්මයක්‌ ලබන්නේ නම් ඔහු හෝ ඇය ශනි කේතු යන ග්‍රහයන් ලග්න භාවයේ දුර්වලව සිටීම තුළ දුර්වර්ණව උපත ලබන බවත් කේන්තිය ක්‍රෝධය ඉවතලා සතුටින් දිවි ගෙවන්නන්ගේ කේන්ද්‍රයේ ලග්නයේ සිකුරු බලවත් බව පෙන්වනවා. ලග්නාධිපති බුධ සිකුරු බලවත් වූ ජන්මීන් ලස්‌සන ප්‍රියමනාප බවින් උපත ලබනවා.

අන්‍යයන්ගේ සැප සම්පත් දියුණුව දැක ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අය ඊළඟ ආත්ම භවයන්හි සමාජයේ පිළිගැනීමක්‌ නොමැතිව ලග්න භාවය දුර්වල වී සෙනසුරු වැනි පාපග්‍රහයන්ගේ බලපෑම මත අල්පේශාක්‍යව උපත ලබන අතර අනුන්ගේ දියුණුවට උදව් කරන එකී දියුණුව දැක හදවතින්ම සතුටු වන පුද්ගලයා මතු ආත්මවල සිකුරු 11 භාවයේ පිහිsටීම තුළ සමාජයේ පිළිගැනීමට භාජන වෙමින් මහේශාක්‍යව උපත ලබන්නේය.

ශ්‍රමණයන් වහන්සේලාට, දුගී දුප්පත් අයට දන් දීමෙන් කුසල් සපුරාගත් පුද්ගලයාගේ ජන්ම පත්‍රයේ සිකුරු 11,5,2 භාවයන්හි තැන්පත්වීම තුළ ධනවත්ව උපදින බවත් දන්දීමට හැකියාව තිබියදීත් එකී කටයුත්ත පැහැර හරිමින් මසුරුකමින් ජීවත් වූ අය බොහෝ විට කේමදා නමැති යෝගයට හසුව උපත ලබා දිළිඳු භාවයට පත්වේ.

ලැබූ මනුෂ්‍ය ආත්මයෙන් නිවැරැදිව ප්‍රයෝජන ලැබීමට එය මනාව සකස්‌ කර ගැනීමට උගත් බුද්ධිමත් ස්‌වාමීන් වහන්සේලා හා වෙනත් ආගමික නායකයන් හමු වී අවවාද අනුශාසනා ලබාගෙන තම ජීවිතය නිවැරැදිව ගතකරන පුද්ගලයා මරණින් මතු ඉතා ප්‍රඥවන්ත උපතක්‌ හිමිකර ගන්නා බව ද එවැනි උගත් බුද්ධිමත් අයගේ අවවාද අනුශාසනා පිළිනොපැද ඔවුනට ගරහමින් දිවි ගෙවූ අය අ¹නව ඉපිද සමාජයේ ගැරහුමට පාත්‍රවන බවත් පෙන්වා දිය හැකිය.

ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ සුභ මානවකයාට නැවත නැවතත් මතක්‌ කර දුන්නේ කර්මය සියලු සත්ත්වයන් විසින් උරුමකොට ගෙන, දායාද කොටගෙන නෑයා කොටගෙන පවතින බවය.

මේ ආදී වශයෙන් මෙලොව උපදින අපට සුබ අසුබ වශයෙන් සියලු දේ හිමිවන්නේත් අහිමිවන්නේත් අප විසින් රැස්‌කරගන්නා වූ කුසල අකුසල කර්මයන් හා බැඳී පැවතීමෙනි. පිං සිත් පෙරදැරිව යහපතෙහිම යෙදෙමින් කුසල් ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකුට සසරේ උපදින වාරයක්‌ වාරයක්‌ පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥ ලැබෙන බව බුදු වදනෙහි ද සඳහන්ය.

We found this article from Divaina on 2014/05/18.

RELATED ARTICLES

Most Popular

Recent Comments