[ratings]
මිනිස් ජීවිතය සදාකාලිකව ස්‌වභාවධර්මය සමග බැඳී පවතී. ඉපදීම, ජීවත්වීම, පිරිහීම, මරණය ආදී සියලුම ස්‌වභාවයෙන් උරුම කරගත් තත්ත්වයන් කිසිවකුටත් මඟහැරිය නොහැකි අවස්‌ථාවන්ය. උපත සතුටින් පිළිගන්න අප ජීවත්වීමේ අපේක්‌ෂාවෙන් ස්‌වභාවධර්මය සමග සම්බන්ධ වන්නේ බොහෝදුරට සැපවත් පරිසරය උදාකර ගැනීම සඳහාය. මේ තත්ත්වය උදාකර ගන්නට දරන උත්සාහයේ දී ඇතිවන දුෂ්කරතා නිසා මානසික පීඩා, කායික පීඩා ඇති වෙයි. අපලය ආරම්භ වන්නේ මේ තත්ත්වයෙනි.
අපල දසාවක් ලබා ඇත, ඒරාෂ්ටකය ලබා ඇත යන අදහස සිතට පීඩාවක් මෙන්ම සියලු කටයුතුවල පරිහානියද උදාකරන බව අප අත්දැකීම්වලින් සනාථ වී ඇත. මෙවැනි අපහසුතා ඇතිවන බොහෝ දෙනෙක් අද්භූත බලවේගවලින් විවිධ ශාස්‌ත්‍ර මගින් අපල සමනය කර ගැනීමට පෙළඹී ඇති නමුදු එමගින් සිදු වන්නේ වටිනා කාලය අපතේ යෑවීමකි. යහගුණ පරිහානියට පත්වීමෙන් දැහැමි පිළිවෙත්වලින් ඈත් වීමකි. මේවායේ අවසන් ප්‍රතිඵලය වන්නේ පිරිහීම මිනිස් ජීවිත වෙලා ගැනීමයි. පිරිහුණු මිනිස් ජීවිතයට මිත්‍ර වූ කිසිවෙක් නැත. සොබාදහමද සතුරු වෙයි.
සතුරු වූ ස්‌වභාවධර්මය කුණාටු, ජල ගැලීම්, නියඟය ආදී වශයෙන් පමණක් නොව හේතු රහිතව සෑදෙන රෝග නිසා මිනිස් ජීවිත විනාශයට පත් කරයි. මේ හේතුවෙන් විපත් බහුල වෙයි. අවුල් – වියවුල් බියකරු යුද්ධය දක්‌වා වර්ධනය වෙයි. මේ සියල්ලෙන්ම සිදු වන්නේ බලවත් චිත්ත පීඩා ඇතිවීමයි. රෝගීන් බහුල පිsරිහුණු ආර්ථික පසුබිමක් සහිත මිනිස් ප්‍රජාවක් බිහිවීමයි. මෙවන් සමාජ පසුබිමක උරුමය අපලය පමණි. මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් සියලු දෙනාම පිළිවෙත් ගරුක වීමේ අගය වටහාගෙන සත් ක්‍රියාවන්හි නිරත වී අපලයෙන් අගඵල ලබන්නට අධිෂ්ඨාන කළ යුතුය.
බෞද්ධයන් වන අපට මෙය ඉතා පහසු කාර්යයකි. සත් ක්‍රියාවන්හි නිරත වෙමින් කරනු ලබන යහපත් සිතුවිලි සහිත අධිෂ්ඨාන බලය වැළඳ ගන්නා ස්‌වාභාවික පරිසරය සුවදායක වෙයි. මිනිස් ජීවිතයට හිතකර වෙයි. සූර්යාලෝකය, සුළඟ, වැස්‌ස, වෘක්‍ෂලතා, වන සතුන් මිනිස් ජීවිතයට ආශිර්වාදාත්මක ලෙස සමීප වෙයි. මේ තත්ත්වය උදාකර ගැනීම සඳහා පෙර විසූවන් සේ සත් දිනක් පෙහෙවස් සමාදන් වන්නට හෝ උග්‍ර පිළිවෙත්වල නිරත වීමේ අවශ්‍යතාවක් නැත. ඉතා සරල වූත්, පහසු වූත් සම්‍යක් ප්‍රතිපදාවන්හි යෙදිය යුතුය. බෝධි පූජවන්හි නිරත වීම, තම නිවසේදී පිළිවෙත් ගරුකවීම ඉතා වැදගත්ය. පංචශීලය ආරක්‌ෂා කිරීමත්, නිරත වන කවර කාර්යයක් වුවද තමාගේ පැවැත්මට නිරෝගී බව ලැබීමට මෙන්ම අන් අයගේ යහපතට, අභිවෘද්ධියට හේතුවේවායි අධිෂ්ඨාන කිරීමත් වැදගත්ය. මේ පිළිවෙත් අනුගමනය කිරීමෙන් කර්ම විපාකයන් චිත්ත ධෛර්යයෙන් මැඬලීමටද අපලයෙන් අගඵල ලැබීමටද හැකිවෙයි.
පාප දශාවන් උදාවන කාලසීමාවන් සහ ඒරාෂ්ඨක අපලය උදාවන සත් අවුරුදු කාලය ජීවිතයකට ලැබෙන විශේෂ ඵල සහිත කරගැනීම නැණවත් සියලු දෙනාටම ඉතා පහසු වෙයි. ගෘහණියක් නම් තම මෙහෙය දැඩි වගකීමක් ලෙස භාරගෙන අන්‍යයන්ට ඉටු කරන යුතුකමක් ලෙසද ගෘහමූලිකයෙක් නම් සමාජයේ ආරම්භක නියමුවා ලෙස බාරගත් වගකීම ආශිර්වාදාත්මකව ඉටුකරන යුතුකමක් ලෙසද සැලකීම ශ්‍රේෂ්ඨ සත්ක්‍රියාවන්ය. ශාස්‌ත්‍රඥයන්, පරිපාලනඥයන් සමාජයේ ප්‍රභූත්වය දරන ආදර්ශකයන් ලෙස වගකීම් බාරගෙන යුතුකම් ඉෂ්ට කිරීමද තවත් ශ්‍රේෂ්ඨ වූ ප්‍රතිපත්තීන්ය. මෙවන් සමාජ නියමුවන් සිටින විට කුඩා බිළි¹ගේ පටන් යහගුණ වර්ධනය වීමෙන් අපලයෙන් සඵලයත්, අග්‍රඵලයත් ලැබෙනු ඇත. ග්‍රහ අපල හමුවේ කිසිවකු මුලා නොවනු ඇත.
අපලයෙන් අගඵල ලැබීමට නම් නිවැරැදි අවබෝධය ඉතා වැදගත් වෙයි. අවබෝධයෙන් මනා සංයමය ඇති වෙයි. විනයගරුක වෙයි. විද්‍යාත්මක වූත්, සංඛ්‍යාත්මක වූත් ගැඹුරු ශාස්‌ත්‍රයන්හි අවබෝධය ලැබිය හැකි වන්නේ සීමිත පිරිසකට පමණි. එසේ කළ හැකි වන්නේ ශාස්‌ත්‍ර ඥනයෙහි විශේෂ දක්‌ෂතා හිමිකම් ලැබූවන්ටය. සාමාන්‍ය දැනුමක් ඇති අය කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, යහපත් ක්‍රියාවන්හි නිරත වීමෙන් කුසලතා වර්ධනය කරගෙන ඒ පිළිබඳ මනා අවබෝධයක් ලැබිය යුතුය. ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රානුකූලව බෝධි පූජාවන්ට සහභාගි වී ධර්ම ශ්‍රවණය කිරීම සුදුසු බව පිළිගනු ලබන්නේ මනා අවබෝධය ලැබීම සඳහාය. අර්ථාන්විත ශාස්‌ත්‍රීය ලිපි ලේඛන කියවීමද, ධර්ම ග්‍රන්ථ කියවීමද ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රාණුකූලව අපලයන්
දුරැලීමට හේතුවන ක්‍රියාවන්ය. විශේෂයෙන් බෝසත් චරිතාපදානය පිළිබඳ කරුණු වටහා ගැනීම යහගුණ වර්ධනය පිණිස හේතුවෙයි. එමගින් බෝධිසත්ව ගුණයන් තම ජීවිතයට හුරු පුරුදු කර ගැනීම තුළින් සාඵලදායී වාසනාවන්ත දිවියක් උරුම කරගත හැකි වෙයි.
අපලය ආරම්භ වන්නේ කායික වූත්, මානසික වූත් පීඩාවන් මුල් වීමෙනි. එවන් පීඩාවන් සමනය වීම සඳහා පළමුව සිත සැහැල්ලු කරගත යුතුය. ඉන්පසුව නිරත වන කාර්යයන් පැහැදිලිව ඉෂ්ට කළ යුතුය. තුන්වෙනුව සමාජ බැඳීම් ඇති කරගැනීම් වශයෙන් පූජනීය ස්‌වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි විහාරස්‌ථානවල පුද පූජාවන්හි නිරත විය යුතුය. ඥති මිත්‍රාදීන් ඇසුරු කළ යුතුය. සිත සැහැල්ලු වන සේ මානසික පීඩාවන් ඇති වන විට බෝධිසත්ව ගුණ මෙනෙහි කිරීම, බුදු, පසේබුදු, මහ රහත් උතුමන් වහන්සේලා මුහුණදී ඇති අනේක විධ පීඩාවන් මෙනෙහි කිරීම තුළින් තමන්ට ඇතිවන දුක් පීඩා සැහැල්ලු කරගත හැකි වෙයි. ඒ සඳහා අර්ථාන්විත වූත්, පහසු වූත් මේ කරුණු මැනවින් අවබෝධ කරගෙන සන්සුන් ලෙස කියවා බලා සත්‍යය අත්දැකීමෙන්ම ලබා අපලයෙන් අගඵල ලබන්නට නැණවත් සියලු දෙනාටම හැකිවනු ඇත. චක්‍රවර්ති රාජ්‍ය බලය හිමිවූ රාජෝත්තමයන්ද සැනසීම ලබා ඇත්තේ ධර්මයෙහි හැසිරීමෙනි. මේ තත්ත්වය මනා ලෙස අවබෝධ කරගෙන අසාර්ථක වන සියලු කාර්යයන්හි නිරත වීම සඳහා මානසික සංවර්ධනය ඇති කර ගැනීමට මතු සඳහන් කරුණු සංයමයෙන් යුතුව කියවා බලන්න.
1. මහා සුදස්‌සන නම් චක්‍රවර්ති රාජ්‍ය පාලකයා ජීවිත කාලය තුළ වැඩිම සතුටක් ලැබුවේ අග බිසව සියලු දේ අනිත්‍ය බව ප්‍රකාශ කළ දිනයේදීය. සියලු සම්පත් රජතුමා සතුව තිබියදීත් රටවැසියාට සියලු පහසුකම් ලබාදීමේදීත් සතුටු වූයේ නැත. අග බිසව ලෝකය පිළිබඳව අවබෝධ කරගත් නිසා සතුටට පත්වූ රජතුමා සුවසේ කාලක්‍රියා කොට බ්‍රහ්ම ලෝකයේ උපත ලැබූහ.
2. එක්‌තරා රාජ්‍ය පාලකයෙක් නිරතුරුවම නින්දෙන් බය වී කෑගසා අවදි වන නිසා ඒ සඳහා ඌරන්, ගවයන් ආදී සතුන් සහ ස්‌ත්‍රීන්, පුරුෂයන්, ළමයින් 1000 බැගින් බිලිදී යාගයක් කිරීමට පුරෝහිතයා උපදෙස් දී තිබිණි. ඒ අතර කල්‍යාණ මිත්‍ර වූ පසේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් දැක ප්‍රසන්න වූත්, සංවර වූත් හැසිරීම් කෙරෙහි විමසා ලැබූ මානසික සැහැල්ලු බව නිසා පැවිදි වී පසේ බුද්ධත්වය ලැබූහ.
3. රාජ්‍ය පාලකයෙක් දරුවෙක් සිටි කාන්තාවක් ආවාහ කරගෙන ආදරයෙන් දරුවා ඇති දැඩි කොට ආරක්‌ෂා කළහ. මේ කුමාරයාගේ නෑදෑයන් පැමිණ රජතුමා ඔහුගේ පියා නොවන බව කුමාරයාට රහසින් දැන්වීම නිසා ඔහු මුරණ්‌ඩු වී ඇත. මේ ගැන කලකිරුණු රජතුමා පැවිදි වී පසේබුදු බව ලැබූහ.
4. වන උයන් ක්‍රීඩා පිණිස රජතුමා උයනට යන අතර කොබෝලීල මල් ගසකට ඇළුම් කළහ. වසන්ත සමයේ මල් පිපී තිබුණ මේ ගස ඊළඟ ග්‍රීෂ්ම සෘතුවේදී වියළී ගොස් තිබෙනු දුටු රජතුමා අනිත්‍යය අවබෝධ කොටගෙන පැවිදි වී පසේබුදු බව ලැබූහ.
5. යහපත් ලෙස රාජ්‍ය පාලනය කළ රජතුමාට දැහැමි පුරෝහිතයෙක්‌ද සිටියහ. මේ දෙදෙනාගේ පුතුන් දෙදෙනාද ධාර්මික විය. පුතුන් දෙදෙනා තමන් නොදන්නා ධර්මය සොයා යද්දී පිණ්‌ඩපාතයේ වැඩම කරන පසේ බුදුන් වහන්සේලා හමුවී පැවිදි විය. රජ කුමාරයාට දුක් විඳීම අපහසු වූ බවට නිතරම ඇවිටිලි කරන නිසා පුරෝහිත පුත්‍රයා රහසේම වෙනත් ප්‍රදේශයකට ගොස් පසේබුදු බව ලැබූහ. තම මිත්‍රයාද තමා හැර දමා යැම නිසා අනිත්‍යය මෙනෙහි කොට රජ කුමාරයා භාවනා කොට පසේ බුද්ධත්වයට පත්වූහ.
6. රාජ්‍ය පාලකයෙක් පසේබුදුන් වහන්සේ හතර නමකට කීප දවසක් දානය දී එක් දිනක් ප්‍රමාණවත් නොවන ලෙස දන් පිරිනැමුවා. ඉන්පසු දින පෙර සේ රාජ භෝජන පූජා කළා. අවස්‌ථා තුනේදීම කිසිදු වෙනසක් නැතිව රජතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ. උන්වහන්සේ කෙරෙහි පැහැදීමට පත් රජතුමා පැවිදි වී පසේබුදු බව ලැබූහ.
7. රාජ්‍ය පාලකයකුගේ අග බිසව අත රන් වළලු රාශියක් පැළඳ තිබුණා. එහි දාසියගේ දෙඅතේ රිදී වළලු දෙකක් තිබුණා. වළලු ගොඩක් නිසා ශබ්දයක් නැඟීමත්, එක් වළල්ල බැගින් දාසියගේ වළලු හඬ නොනැඟුණ බවත් මෙනෙහි කොට රජතුමා පසේබුදුබව ලැබූහ.
8. එක්‌තරා අධිරාජ්‍ය පාලකයෙක් සියලු සම්පතින් ආඪ්‍යව සිටියා. එක් වරක් ශරීරයේ ඇතිවූ ගෙඩියක් ශල්‍ය කර්මයක් සිදුකොට සුවපත් කළහ. දෙවන තුන්වන වරද සුවපත් කළහ. නිතරම ගෙඩි හැදුන නිසා වෛද්‍යවරු රාජ්‍ය පාලකයා මඟහැර ඇත. මේ නිසා කලකිරුණු රජතුමා පැවිදි වී රෝගය ගැන මෙනෙහි කොට පසේ බුදුබව ලැබූහ.
තවත් මෙවන් නිදර්ශන සහිත සිදුවීම් බොහොමයක් තිබුණද ලිපියේ අර්ථයට හානිවන බැවින් සඳහන් නොකරමි. මේ සිද්ධීන් ගෙන් අධිරාජ්‍යයකුට වුවද එහි යථා ස්‌වරූපය අවබෝධ වූ විට උදාවන තත්ත්වය මනාව පැහැදිලි වෙයි. සෙසු සියලු කාර්යයන්ද මේ අනුව අවබෝධ කරගත යුතුය. අජාසත් වැනි රජවරුන් මේ තත්ත්වයෙන් බැහැර වී ඇත. රජකම ලබන්නට ඇතැමුන්ට වාසනා ගුණ තිබුණද නුවණින් හීන වීම නිසා අගතිගාමී වෙයි. නුවණ හීන වන්නේ අපල තත්ත්වයන්ට හේතුවන පරිදි අධාර්මිකව හැසිරෙමින් දස අකුසලයෙහි නිරත වීම නිසාය. මාන්නාධිකව බලයෙන් උඩඟු වී දේවදත්ත හිමියන් වැනි පාප මිත්‍රයන් ඇසුරු කොට බලවත් අපලයන් උදාකර ගන්නේ නුවණින් හීනබල ඇත්තවුන්ය.
ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රීය කරුණු සඳහන් නොකළද මේ කරුණු මා සඳහන් කළේ රාජ්‍ය පාලකයාගේ සිට දුගී මගී යාචකයා දක්‌වාම පිරිහීමටත්, අපල උදාවීමටත් හේතු වන්නේ තමන් විසින්ම සිදු කරන ක්‍රියාවන් බවත්, අභිවෘද්ධියට සහ අපල සඵල කරගැනීමට හේතු වන්නේත් අපලයෙන් අගඵල ලැබීමට හැකි වන්නේත් මනා අවබෝධයෙන් යුක්‌තව ධර්මයෙහි හැසිරීමෙන් බවත් පැහැදිලි කිරීම සඳහාය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here