අපලවලට සෙත සලසන ශාන්ති කර්ම

3935
අපලවලට
අපලවලට

[ratings]

බටහිර පන්නයේ සංගීත, නර්තන කෙරෙහි වැඩි රුචියක්‌ දක්‌වන අප ජන සමාජයේ යෞවන යෞවනියෝ පාරම්පරික දේශිය නර්තන කලා ශිල්ප ක්‍රමවල වැදගත්කම නොදනිති. ඔවුන්ට එකී කලාවන් ප්‍රගුණ කිරීමට නිසි පිළියම් නොයෙදුවහොත් පාරම්පරික කලාවන්, ශාන්තිකර්ම, බලිතොවිල්, යාග හෝමාදිය ජන නාට්‍ය, නැටුම් ආදී දේ අපෙන් තුරන් වනු ඇත.

ශාන්තිකර්ම, බලිතොවිල් යාගහෝමාදිය මිනිස්‌ ජීවිතය හා බැඳී පවතින්නේ මිනිසාගේ ආරම්භයත් සමගය. ලාංකික ශිෂ්ටාචාරය හා ගුණ වගාව පෝෂණය කිරීමට අතහිතදුන් අය අතර තොටගුමවේ ශ්‍රී රාහුල හිමියන්, බරණ ගණිත ගුරුන්නාන්සේ, පත්තායමේ ලේකම්, කිරි ගණිත ගුරුන්නාන්සේ අලිගම කලාගුරු, සව්රිස්‌ සිල්වා, පබ්ලිස්‌ සිල්වා, පනී භාරත ආදීහු මෙම ගුප්ත ශාස්‌ත්‍රීය කලා ශිල්ප ක්‍රමවලට ඉමහත් සේ දායක වූහ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් යකුන් අල්ලා ගස්‌බැඳ මෙල්ලකර වැඩගත් බව ජනප්‍රවාද තොරතුරුවලින් අනාවරණය වෙයි.

බුදුසමයට ඉහත සිටම ලොව පුරා යාතුකර්ම ඇදහීම් පැවැති බවට වේද සාහිත්‍යයෙන් කියෑවෙයි. අප රටේද රුහුණු, පිහිටි, මායා යන ප්‍රදේශවල මෙම ඇදිහිලි ආවේණිකව පැවැත ආ බව පසක්‌ කළ යුතුවේ. යකුන්, දෙවියන් සහ ග්‍රහයින්ගේ අපල වලට පැවැත්වෙන ශාන්තිකර්ම බොහොමයක්‌ මේ දක්‌වා රුහුණේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. යකුන් උදෙසා පැවැත්වෙන සන්නියකුම, මහසෝන් සමයම, ඉරමුදුන් සමයම රිද්දියාග, ආදී විවිධ ශාන්තිකර්ම අදත් පවතී.

යක්‍ෂ යක්‍ෂණීන්, බිසවුන්, කුමාරවරුන් ආදී වශයෙන් විවිධ අදෘශ්‍යමාන බලවේග ලෙස පෙනී සිටින භූතයෝ ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ නොසලකා මිනිසුන්ට රෝග පීඩා අපල ගෙන දෙති. මේ සඳහා පොදුවේ ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව වූ පොදු ශාන්තිකර්මද ස්‌ත්‍රීන් වෙනුවෙන් ශාන්තිකර්මද භාවිත කෙරේ. රට යකුම හෙවත් රිද්දියාගය, මහකළුකුමාර සමයම ආදී ශාන්තිකර්ම ස්‌ත්‍රීන් වෙනුවෙන් සිදු කෙරේ.

රිද්දි යාගය හෙවත් රට යකුම කරළියට පැමිණ ඇත්තේ දරු දොළ උපතක්‌ මුල්කරගෙනය. මහමේරුව පළාගෙන ගිනි ජාල හතකින් උපන් රිද්දි බිසෝවරු 07 දෙනා නිසි වයසේදි දරු උපත් නොලැබීමෙන් දරු උපත් අපේක්‍ෂාවෙන් සිටියාහ. මේ බිසෝවරු මැදියම් රැයේදී සිහිනයක්‌ දැක බුදුන් වහන්සේට සළුවක්‌ පූජාකර දරු සම්පත් ලබාගනු සඳහා නේරංජනා ගඟට ගොස්‌ හිස නානු ගා ස්‌නානය කළහ. අනතුරුව නොයිඳුල් සළු පිළි අබරණ පැළැඳ නාගවල්ලි (බුලත්) සපා නැව් නැගි උයන්ගොඩට පැමිණ තිබේ. උයන්ගොඩදී මෙම බිසෝවරුන් හත්දෙනා හේනක්‌ කොටා කපුවගාකර කපුවලින් සළුවක්‌ වියා බුදුන්ට පූජා කරනු සඳහා බාරයක්‌ වීය. බිසවුන් සියල්ලටම දරු ගැබ් ඇතිවී නව මාසයක්‌ ගත වූ තැන දරු උපත් ලැබූහ. මේ කථාව රිද්දි යාගයේ ආරම්භය බව සැලකෙයි.

රිද්දි යාගය සඳහා zzනවමල්පායZZ (මල්මඩුව) යනුවෙන් හැඳින්වෙන තොරණ හතකින් සමන්විත මහාරිද්දි මණ්‌ඩපයක්‌ ඉදිකරනු ලබයි. තුන්මල් පායකින් යුතුව සරසන ලද කුමාර වීදියක්‌ද කුමාර පිදේනියක්‌ද කත්aතිරික්‌ක හතරක්‌ද සූනියම් වීදියක්‌ කපාල කූඩුවක්‌ ද දැරහැවක්‌ හා නව මාලේ මල් බලියක්‌ද සහිතව කළු කුමාර බලියක්‌ එකතුව සැරසිලි රැසක්‌ මීට ඇතුළත් වෙයි.

මෙම ශාන්තිකර්මය පටන් ගන්නේ ආතුරයා සමාධිකර සූනියම් වීදිය කැප කර කළුයකාගේ පිදේනිය ප්‍රධාන කරගෙනයි. කළුයකාට ප්‍රථමයෙන්ම දොළ කැප කර අනතුරුව රීරියකා, තොටුපළ, යකා බිල්ලෙයකා, සන්නියකා, මහ සෝනා, සූනියම් යකා, ආදීන්ටද පිදීම් කරනු ලබයි. කළුකුමාරයා (යකා) වෙනුවෙන් සාදන ලද කුමාර වීදියේදී ඔහුට පුද පූජා පැවැත්වේ. කුමාර දොළ සකසනු ලබන්නේ නෑඹිලියකය. මෙම කුමාර දොළ පුදකරදී කුමාර සමයම නැටුම කරයි. නැටුමෙන් පසු ආතුරයාගේ හිස මත කුමාර දොළ නෑඹිලිය තබාගෙන ගොස්‌ පූජාසනය මත තබයි. මෙම ශාන්ති කර්මයේදී ප්‍රධාන යකැදුරා යක්‌පද, යකිනිපද රාක්‌ෂ පද, දේවපද, පස්‌ගම යකුන්පද වැනි විශේෂිතවූ නැටුම් කොටස්‌ නටා අවසානයේ කුමාර සමයමින් පසු වත්පිළිවෙත් නිමා කෙරේ. හවස්‌ ජාමයේ කලින් දිෂ්ටි කරන ලද කත්තිරික්‌කවල පුද ලබන යකුන්ට දොළ කැප කරනු ලැබේ. මහ සමයමට අයත් පුද පිළිවෙත් සඳහා ඇතුළු වීදි සහ පිට වීදි වල මල්බුලත් පුදා කලස්‌ පහන් දල්වා වීදි විලක්‌කු ආලෝක කෙරේ. යකැදුරැන් සමයම් ඇඳුමින් සැරසී පන්දම් ගෙන මහසමයම නටති. මහ සමයම් නැටීම අහවරවී හත්පද පෙළපාලිය, නව මාලේ වල්බලිය කොතල නැටවීම නානුමුරය, කපුයක්‌කාරිය, දළුමුරවරම, සහ දළුමුර ඔප්පු කිරීම, දරු නැළවීම්, චාමර සැලීම්, නැටීම ආදිය සිද්ධ කරනු ලැබේ. අලුයම් ජාමේදී දැරූ හැම පිදේනිය කැපකර පාවාදී ගෙවල් නිවීම සහිත මහ කළුකුමාර සමයම නටා පුරා පලට යැම සිදුකරයි. පසුව කළුකුමාර බලිය පාවාදී ආරක්‍ෂා නූල් බැඳ යාගය නිමා කරනු ලබයි.

මෙවැනි යාගයක්‌ සිදුකරන උදවිය සාම්ප්‍රදායික ඇඳුම් කට්‌ටලය ලෙස සුදු සේලය, සුදුහැට්‌ටය, පච්චවඩම, කම්බිලේන්සුව සහිත ගොස්‌ නළල්පට, පිටවරල ආදියෙන් සැරසී ගිගිරි වළලු පා සිලම්බු යනාදියෙන් යුතුව හැඩවෙති.

රිද්දි යාගය ඉතා පැරණි වැදිජන ඇදහීමක්‌ වු කිරි අම්මා පිදීමේ විකාශනයක්‌ බව ශාස්‌ත්‍රපති ජයසේන කෝට්‌ටගොඩ මහතා කියයි. කළු කුමාර විසින් රිද්දි බිසෝවරුන් වඳ භාවයට පමුණුවා තිබේ. වඳභාවයෙන් බේරීමට නැකැත්කරුවන්ගේ උපදෙස්‌ මත කලින් සඳහන් කළ පරිදි හේනක්‌ කොටා කපු වපුරා ඒ කපු නූල් වලින් නොඉඳුල් සළුවක්‌ වසා දීපංකර බුදුන්ට කඨ§න චීවරයක්‌ සේ පූජා කළ යුතු විය. එම පූජාව ඔප්පු කිරීමටයි. මිල්ලෝසි දේශයේ සිට නැව් නැගී දකුණු සිරිලක රුහුණු ප්‍රදේශයේ උයන්ගොඩට පැමිණියේ.

We found this article from Divaina on 2012/03/30.
Also Sinhala to English Google word to word translation can be found here