අසීමිත සැප බලාපොරොත්තුවන වෘෂභ ලග්න හිමියෝ

2325
වෘෂභ
වෘෂභ

ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේදී “ගොන්රැස්‌” යන නාමයෙන් ද හඳුන්වන සිකුරුට හිමි වෘෂභ රාශියට එකී නම පබැඳී ඇත්තේ වෘෂභ රාශිය තුළ පිහිටා ඇති තාරකා පද්ධතියේ හැඩය ගොනෙකුගේ හැඩයට බොහෝ සේ සමානව පිහිටීම නිසාය.

කේන්ද්‍ර සටහනේදී දෙවැන්නට උරුමකම් කියන වෘෂභය ස්‌ත්‍රී රාශියක්‌ වන අතර ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා හෙවත් ශුක්‍රය. සිකුරු හිමි වෘෂභයේ උපන් අය හැමවිටම කෞතුක දේට බොහෝ ඇළුම් කරයි. තරමක්‌ ආත්මාර්ථකාමී සිතුවිලිවලින් යුතුවන මොවුන් දීමට එතරම් කැමැත්තක්‌ නොදක්‌වයි. නගරයට වඩා ගැමි පරිසරයේ දිවි ගෙවීමට කැමැත්තක්‌ දක්‌වන්නේ සොබාදහමට සොඳුරු පරිසරයට ඇති කැමැත්ත නිසාමය.

ස්‌ථිරසාර වූ නොනැමෙන තද සිතක්‌ ඇති තමන් විසින්ම සකස්‌ කරගත් රාමුවක්‌ තුළම කොටුවී සැලසුම් සහගතව කල්පනාකාරීව ජිවිතය ගතකරන වෘෂභ ලග්නයෙන් උපන් අය බොහෝ දේ සිතේ තබා ගැනීමට දක්‌ෂ වේ. තම අභිමතය පරිදි සෑම කටයුත්තක්‌ම කිරීමට පෙළඹෙන මොවුන් විවිධ උපක්‍රම යොදමින් ඒවා සාර්ථකත්වය කරා ගෙන යැමට දැඩි උත්සාහයක යෙදෙන අතර කිසිදු අවස්‌ථාවක තමනට වන කොතරම් විශාල පාඩුවක්‌ වුවද එය පාඩවුක්‌ ලෙස පිළිගැනීමට දැඩි අකමැත්තක්‌ දක්‌වනවා මෙන්ම කිසියම් හේතුවක්‌ ඇතිව හෝ නැතිව මෙකී සියලු දේ අන්‍යයන්ගෙන් සඟවා තබා ගැනීමට ද උත්සාහ දරයි.

කරන කියන බොහෝ දේ අන් අයට පැහැදිලි නොවන ලෙස ගුප්ත ආකාරයෙන් හැසිරෙන අතර දැඩි ආත්ම ශක්‌තියෙන් යුක්‌තවීම නිසා මොනයම් හේතුවක්‌ නිසා හෝ කිසිවෙකුට නැඹුරු කර ගැනීමට අපහසු චරිතයක්‌ වේ.

ඕනෑවට වඩා ලෙහෙසිය, පහසුව ගැන සිතමින් ජීවත්වීමට උත්සාහ දරයි. හැමවිටම අන් අයගේ වැරදි දකිමින් විවේචනය කරමින් දොස්‌ නගමින් ක්‍රියා කිරීම නිසා තමා නොදැනුවත්වම අන් අයගේ පිළිකුලට ලක්‌වුවත් වෘෂභ ලග්න හිමියන්ගේ සිත් ගන්නා සුළු ස්‌වභාවය නිසා අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට හෝ අපහාසයට ලක්‌නොවේ. ස්‌ථිර අධිෂ්ඨානයකින් යුතුව විනෝදමත් ජීවිතයක්‌ ගතකරන මොවුන් නිවාස අලංකාරකරණය මල්වැවීම විසිතුරු ලෙස හැඩගැන්වීමට බෙහෙවින් කැමැත්තක්‌ දක්‌වයි. අලංකාරයට පියකරු දෙයට විසිතුරු බවට ප්‍රියකරයි. කොපමණ බාධක හමුවේ වුවද රස විඳිය හැකි යමක්‌ දුටු විට සියල්ල අමතකකර එය රස විඳීමට පසුබට නොවේ.

සමාජයේ කැපී පෙනෙන සේ විලාසිතා තෝරා ගනී. අලංකාරවත් ලෙස ඇඳුම්, පැළඳුම් ඇඳීමට නිර්ලෝභීව වියදම් කරයි. අනවශ්‍ය වියදම්වලට මැළිකමක්‌ නොදැක්‌වුවත් අන් අය වෙනුවෙන් වියදමක්‌ දරන්නේ හොඳින් සිතා බැලීමෙන් පසුවය. මසුරු ගති එතරම් නොපෙන්නුවද සමහර අවස්‌ථාවල තම වියදම් සතයට ගණන් බැලීSමට පෙළඹීමෙන් සමාජයේ උපහාසයට ලක්‌වන තත්ත්වයක්‌ද උදාවේ.

කළයුත්ත කෙසේ හෝ කිරීම වෘෂභ ලග්න හිමියන්ගේ සුවිශේෂී ගුණයකි. ඇතැම් විට සිතෙහි ඇති දේ ක්‍රියාත්මක කිරීමට පසුබට වේ. එහෙත් නොකඩවා වැඩෙහි යෙදී ඒවායේ අවසානය කරා යැමට සමතුන්ය. සෑම කටයුත්තක්‌ සඳහාම තව කෙනෙකුගේ උදව් උපකාර බලාපොරොත්තු වන මොවුන් ඉතා සුළු දේ පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ප්‍රයෝජනයට ගනිමින් කතා කරයි. තමන්ට උවමනා නැති දේ කතාකිරීමට ගොස්‌ සමච්චලයට ලක්‌වන අතර බොහෝ විට කට හොඳ නැතැයි කියන අවලාදයට ලක්‌වේ. කතාවෙන් බහෙන් ජය ගැනීමට උත්සාහ දරන හෙයින් තමාට පරාජය අත්වන බව දැනුණු විගස නිහඬව සිටීම බව වෘෂභ ලග්න හිමියාගේ සිරිතය.

නිතරම ජයග්‍රහණ ප්‍රාර්ථනා කරමින් ඕනෑම රහසක්‌ රැක ගැනීමට වගබලා ගන්නා අතර නොදන්නා දේ දන්නා පරිදි කිරීමට දක්‌ෂ වේ. අනවශ්‍ය දෙයටද අනුන් පිළිබඳව බලාසිටීමෙන් ජීවිතයේ පාඩු ලබන්නට සිදුවන අවස්‌ථා බොහෝය. කෙනෙකු සමඟ ලෙහෙසියෙන් අමනාප නොවේ. එහෙත් කවරෙකු කෙරේ හෝ අමනාපයක්‌ ඇතිකරගතහොත් එය සිතින් ඉවත්වන්නේ ඉතා මන්දගාමීවය.

තමාට එරෙහි වන්නන්ට වෛර නොකරන වාෂභ ලග්න හිමියා කිසිදු අවස්‌ථාවක ඔවුන් ඉදිරියේ දෙවැනි වන්නේද නැත. උපක්‍රමශීලීව ඔවුන් පරාජය කිරීමට සමත් වේ. නායකත්වයට හැම ආකාරයකින්ම සුදුසු වන බුද්ධිමත් කතා විලාශයක්‌ හිමියි. ස්‌ථිර සාරවූ බුද්ධිමත් කතා විලාශය නිසා විරුද්ධ පාර්ශ්වයේ සිත් දිනා ගනී. හැමවිටම බුද්ධිමත් බව සිතමින් ඇතිකරගන්නා උඩඟු බව නිසා අන් අයගේ අදහස්‌වලට එකඟ නොවේ. සෑම කරුණකදීම තමන් හරි යෑයි යන මතකයේ සිටින බැවින් බොහෝ වැරදි, අඩුපාඩු ඇතිවුවත් කිසි දිනක ඒවා පිළිනොගනී. තේරුම් ගැනීමට පහසු නොවන වෘෂභ ලග්න හිමියන් සමඟ කටයුතු කිරීමේදී විවෘතවීම අත්‍යවශ්‍ය කරුණකි. මොනයම් හේතුවක්‌ නිසා හෝ සිතෙහි කෝපය රඳවා ගැනීමට තරම් තද සිත් ඇත්තන් නොවන නමුදු අනවශ්‍ය සුළු දේවල් සිතෙහි රඳවාගෙන ඉන් පීඩාවට පත්වන අවස්‌ථා සුලබය. අන් අය කලබල වන අවස්‌ථාවල කිසිදු කලබලයක්‌ නොමැතිව ක්‍රියාකරන මෙවැන්නෝ බොහෝ අවස්‌ථාවල කිසිදු හේතුවක්‌ නොමැතිව බොහෝ සුළු දේ සඳහා කලබලයට පත්වේ.

කතාබහට ඉතා දක්‌ෂය, කරුණු කාරණා සහිතව ඉතාමත් පැහැදිලිව කරන කතාබහ නිසා ඇසුරු කරන්නන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වේ. බලාපොරොත්තු සිතේ පුරවාගෙන සිහින ලෝකයේ ජීවත් වුවද ඒවා ක්‍රියාත්මක කර ගැනීමට මන්දගාමී වේ. එහෙත් කරන්නට පටන්ගත් වැඩකටයුතු වේ නම් ඒවා නොනවත්වා 20 ක අරමුණක පිහිටා අවසානය දක්‌වා ගෙන යයි. තම සිතුවිලිවලට එරෙහිව යටිසිත හා නිරතුරුව සටන් කරන අතර සිත හා බුද්ධිය අතර ඇතිකරගන්නා මෙම සම්මතය ජීවිත කාලය පුරාම පැතිර පවතින බැවින් හැමවිටම තර්කානුකූල බවක්‌ දක්‌වයි.

බැංකු ආශ්‍රිත රැකියා හා ලෝහ ආශ්‍රිත රැකියා මෙන්ම බරවැඩ වෘෂභ ලග්න හිමියන් දැඩිලෙස නැඹුරුවන ජීවන වෘත්තීන් වන අතර යම් කේන්ද්‍රයක 10 වන ස්‌ථානයේ සෙනසුරු බලවත් වූයේ නම් නායකත්වයට පැමිණේ.

ශරීරයේ සෙම අධිකවීම නිසා සියලු සෙම් රෝග ඉතා පහසුවෙන් සෑදේ. හිස ආශ්‍රිත රෝග, උගුරේ ආබාධ, මළබද්ධය, ලේවල දෝෂවලට ගොදුරුවීමේ අවදානම වැඩිවේ.

තමන් අතින් සිදුවන සමහර වැරදි පිළිනොගැනීම සෑම දෙයක්‌ම අනුන් ලවා කර ගනිමින් අන්‍යයන්ට චෝදනා කිරීම හා අධික සැප පහසුවට ගිජුවීම වෘෂභ ලග්න හිමියන්ගේ ප්‍රධාන දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.

We found this article from Divaina on 2013/06/30.
Also Sinhala to English Google word to word translation can be found here